‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ
නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’
‘‘ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප්‍රාර්ථනා කරමු සංසාරෙ
සෑමදා මේ ලෙසින්.....’’
මෙවැනි අපූර්ව ආමන්ත්‍රණ තුළින් යොවුන් හදවත් නළවා සැනසූ ගී ලොව කෝකිලයෙක් මීට වසර දෙකකට පමණ පෙර අපෙන් සමුගත්තා. බක් මහේ වගේම වෙසක් මහේත් ඒ ස්වරයෙන් තොරව ප්‍රසංග වේදිකාවේ පවතින පාළුව දරාගන්න අමාරුයි. තම පියාගෙන් රසිකයන්ට පිරිනැමුණු දායාදය එලෙසින් රැකගෙන අලුත් රසයක් ඊට එක්කරමින් තම හඬ ලාලිත්‍යය විදහාපාන ඇය සඳැල්ලට ගොඩවුණා.
ගී ලොවින් වියැකී ගිය ඒ රසවතා අතුල ශ්‍රී ගමගේ. තම මව සොයුරිය සහ සොහොයුරා සමග වේදිකාවට පිය මනින අැය සෙවිනි ශ්‍රී ගමගේ. සම්පූර්ණ නම සෙවිනි මෙත්මි ගමගේ.
සෙවිනි මොනවද තාත්තා ගැන මතක ?
මං කලාව ගැන අත්පොත් තැබුවෙ තාත්තගෙ ආභාසයෙන් අපේ මහගෙදර කඩුවෙල අපටම කියලා ගෙදර සර්පිනා එකක් තිබුණා. තාත්තා ගී ගයමින් එය වයද්දී මට හුරුවුණු රිදම් ගිටාරය වැයුවා. ගෙදර සේරමලා එකතු වුණාම ගී ගයනවාම තමයි.
කලා ලොවෙත් ගෙදර ජීවිතයේත් මගෙ වීරයා වුණේ තාත්තා. එයාගෙන් තොර ලෝකයක් හිතා ගන්නත් බෑ. 2023 නොවැම්බරයේ දිනක සිදු වූ තාත්තාගේ වියෝව මගේ හදවතේ සහකම්පනයක් ඇති කළා..
කොහොමද පාසල් කාලේ ?
සාමාන්‍ය පෙළ දක්වාම පාසල් ගියේ මාලබේ රාහුල බාලිකාවට. උසස් පෙළ හැදෑරීමට නුගේගොඩ අනුලා විද්‍යාලයට ගියා. කලා අංශයේ උසස් පෙළ ප්‍රතිඵල ලබලා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලෙ ඉඳන්ම මම මූල්‍යමය අංශයෙන් රැකියාවක නියුතු වෙලා හිටියා නිසා කලාව කළේ විනෝදාංශයක් විදිහට.
පස්සෙ පෞද්ගලික විශ්වවිද්‍යාලයට (SLIIT) ඇතුළත් වුණා. දැනට ව්‍යාපාර විශ්ලේෂණ උපාධිය හදාරනවා. තාත්තාගේ වියෝවෙන් පස්සේ ස්වේච්ඡා සේවයට බැඳුණා. දැන් වික්‍රමසිංහපුර ලියෝ සමාජයට එක්වී ව්‍යාපෘතිවල නියැළෙනවා.
පාසල් වේදිකාවෙත් දස්කම් පෑව ද?
නැත්තේ නෑ. රාහුල බාලිකාවේ පාසල් ගීයත් ජාතික ගීයත් ගැයීමට තෝර ගත්තේ මාව. ප්‍රාථමික අංශයේ තූර්ය වාදක කණ්ඩායමේ මෙලෝඩිකා වාදිකාව වුණේ මමයි. පස්සෙ මුල්පෙළ side dream වාදනයට ගත්තා. ජ්‍යෙෂ්ඨ වාදක කණ්ඩායමෙන් එම වගකීම භාර දුන්නා.
මං ගායනය පැත්තෙන් බැලුවොත් පාසල් භක්ති ගීත කණ්ඩායම නියෝජනය කළා. ඒ වගේම පාඨශාලාන්තර ඒකල සහ සමූහ හින්දි ගීත තරග ජයගන්තා. 2019දී අනුලා විද්‍යාලයීය ‘‘අනුලසර’’ ප්‍රසංගයේ යුගල ගායනාවලින් හැකියාව පෙන්නුවා. සමාජයේ කොතැන හිටියත් තාත්තගෙ ආශීර්වාදය මට ලැබෙනවාමයි.
ගිටාරයත් එක්ක බොහොම සමීපයි වගේ
නැතුව. ප්‍රධාන වශයෙන්ම රිදම් ගිටාරය. ඒ එක්කම සර්පිනාව වැනි ස්වර භාණ්ඩ වැයීම කළා. දාර්බාත් වැනි තාල තරංග වාද්‍ය භාණ්ඩ වැයීමත් මගේ කුසලතා අතර තියෙනවා. තාත්තා මට ගිටාර් 05ක් පමණ පරිත්‍යාග කර තියෙනවා.
ඒවා සියල්ල එකිනෙකට වෙනස් වර්ග. මාර්තු මාසෙ දී ලියෝ සමාජයෙන් කළ සුන්දර ව්‍යාපෘතිය තාත්තා අරන් දී තිබූ පළමු ගිටාරය ඉතා දක්ෂ පොඩිත්තන් ඉන්න දුෂ්කර ඇල්ල යහලවෙල පාසලකට පරිත්‍යාග කරන්න ලැබීම ලොකු සතුටක්. ඒ කුසලයන් තාත්තට ලැබේවි.
ඔයාගේ මුල්ම නිර්මාණ දායකත්වය ලැබුණෙ ?
මම තාත්තගෙම ගීතයත් ප්‍රති නිර්මාණය කළා ගිය අවුරුද්දෙ. නවීන් කටුගම්පොළ සොහොයුරාගෙ ආරාධනය අනුවයි ඒ. දිනුෂ තාරක අයියාගෙ Voice Studio නම් යූ ටියුබ් නාළිකාව වෙනුවෙන්.
‘‘නිල්නුවන් පියවිලා’’ කියන එම ගීතය ප්‍රති නිර්මාණය කර විකාශය වුණහම තාත්තගෙ රසිකයො හරිම සතුටුදායක ප්‍රතිචාර දැක්වූවා. එම ගීයේ මුල් පද රචක සංගීත අධ්‍යක්ෂක සංගීත් නිපුන් නිහාල් ගම්හේවා සූරීන්ට මගේ ප්‍රණාමය හිමි වෙනවා.
තාත්තා 90 දශකයේ ජනප්‍රිය තලයේ මුල්පෙළේ හිටි ගායන ශිල්පියෙක්. එදා යොවුන් පරපුර එම ගීත වැලඳගත්තා සේම නව පරපුර ද එහි රසභාවය තේරුම් ගන්නවාට සැකයක් නැහැ. ඒ බව වේදිකාවට නගිනකොටම ලැබෙන ප්‍රතිචාරවලින් දැනෙනවා.
ගෙදරිනුත් ඔයාට අනුග්‍රහය ලැබෙනවා ඇති
ඇත්තෙන්ම. මගේ මවගෙන් ලැබෙන ආශීර්වාදය සිහි කළ යුතුමයි. ඇය නිශාදිකා අමරසිංහ. තාත්තගේ රසිකාවිය මෙන්ම ශක්තිය වූයේ ද ඇයයි. අක්කා විසුද්ධි නිසර්ගා ගමගේ අක්කා එක් දරු මවක්. මල්ලිට තවම අවුරුදු 18යි. එයත් පාසලේ කුසලතා පෙන්වනවා.
තාත්තාට සමකාලීනව විශිෂ්ට සංගීතවේ දී යහළුවන් රැසක් හිටියා. ෂෙල්ටන් මුතුනමගේ, මර්වින් මිහිඳුකුල වැනි කාලයේ ඉක්මයාමත් පෙරම ඔවුන් එකිනෙක්කෙනා ජීවිතයෙන් සමුගන්නවා දැකීම කනගාටුවට කරුණක්. ඉතින් පුළු පුළුවන් හැටියට අපි එම නිර්මාණ රැකගත යුතුයි.
කොහොමද ඔයාලගෙ නම්වල ‘ශ්‍රී’ කෑල්ලක් එක් වෙන්නේ
මං හිතන්නෙ ඒකත් කලාවෙන්ම ආව ආභාසයක් වෙන්න ඇති. තාත්තට නිකම්ම අතුල කියනවට වඩා අතුල ශ්‍රී ගමගේ කිව්වාම ඒකෙ යම් දේවාශීර්වාදමය ගතියක් පේනවා නේද? ‘‘ශ්‍රී දේවි සරස්වතී’’ කියන්නෙ ශ්‍රියාව, ආශීර්වාදය, යසස, ස්වරඥානය වගේ දේ එහි ගැබ්ව තියෙනවා කියලා මට හිතෙනවා.
මගේ නම සෙව්නි මෙත්මි ගමගේ. ඒත් ක්ෂේත්‍රයේ කියන්නේ සෙව්නි ශ්‍රී ගමගේ කියලා. නිවේදක ශිල්පීන් නම් ඒ නමට හුරුවෙලා. අපේ බාහිර පෙනුම හා ආධ්‍යාත්මික සංවරකමට ප්‍රතිචාරත් ඒ වගේ සුන්දරයි.
අලුත් අවුරුද්දෙ මොනවද රසිකයන්ට දෙන්නෙ ?
ආරාධනා සහ යෝජනා නම් ගොඩක් තියෙනවා. නොබෝදා අපේ ප්‍රවීණ ගායන ශිල්පී දිවංගත ෂෙල්ටන් මුතුනගමගේ සූරීන්ගේ දියණිය වයංගා සොයුරියගෙන් ඇරයුමක් ලැබුණා නිර්මාණයකට. එම ඇරයුමට මුල් තැන දෙමින් ඇගේ මාර්ගයෙන් සනිධප සංගීත කණ්ඩායමේ අජිත් ගමගේගේ AG Studio හි යූටියුබ් නාළිකාවෙන් තාත්තගේ ගී පෙළක් මගේ හඬින් ගායනා කරන්න අවස්ථාව සැලසුණා.
ඒ වගේම තව ගී නිර්මාණ කිහිපයක් ප්‍රති නිර්මාණය කරමින් පවතිනවා.
මව නිශාදිකා සහ පියා අතුල සමග
ඔයාගෙ ලොකුම හීනය?
තාත්තගෙ වගේම අම්මාගෙත් එකම පැතුම සහ මගේත් මුල්ම පැතුම උපාධිය සම්පූර්ණ කිරීමයි. ඒ වගේම ගායන අංශයෙන් විශාරද විභාගය කළා. තාත්තා තමයි ඒ සඳහා මට ශක්තිය දුන්නේ. එහි ප්‍රතිඵල එනතුරු මඟ බලාගෙන ඉන්නවා. තාත්තට යන්න බැරිවුණු ඉසව්වකට යෑමට ඉන් ශක්තිය ලැබේවි. ඒ විශාරද නාමය ලැබුණම තමයි.
‘‘දිවියම මාගේ දියකර ප්‍රාණේ
දුක සේ දිවි ගෙවන්නෙ කොහොමැයි
මේ මනුලෝකේ සුරිඳුනි මාගේ
දෙවියෝ මගෙ ආදර තාත්තයි’’
මේ තාත්තා ගැන මගේ හිතේ මැවී ලියැවුණු පද මාලාවක්. පිය සෙනෙහස ගැන ගී කවි ලියවිලා මදියි කියලයි මට හිතෙන්නෙ.
සමාජ සත්කාර ව්‍යාපෘතිවල තත්වය කොහොමද?
ඉතාම ළයාන්විත ලෙස කරනවා. මං හිතනවා සෑම කලාකරුවෙක්ම තමන්ගේ කුසලතා ලෝකෙට ප්‍රදර්ශනය කර ප්‍රතිචාර හා පරිත්‍යාග ලබනවා වගේම ඔවුන්ගෙන් රසිකයාට ද නැගී එන පරපුරට ද ඔවුන් බිහිවන පාසල් වෙනුවෙන් ද යම් දිරිගැන්වීමක් කළ යුතුයි කියලා.
පසුගියදා මොරටුව විශ්ව විද්‍යාලය හා වික්‍රමසිංහ ලියෝ සමාජය එක්වූ මා ‘නැණකැළ’ කියල ව්‍යාපෘතියක් කළ කුසලතා පූර්ණ දරු දැරියන් සඳහා පුස්තකාල පතපොත හා සංගීත භාණ්ඩ පරිත්‍යාග කළා.
මුලින් කීවා වගේ තාත්තා මට දුන් වටිනාම ත්‍යාගය වූ ගිටාරයත් ඔවුන්ට පරිත්‍යාග කිරීමට මා පෙළඹුණා. එම පිනත් එතුමාට ලැබෙනවා ඇති.
වික්‍රමසිංහපුර ලියෝ සමාජයේ සභාපති ඩිල්ෂාන් විජේසුන්දර, සංගීත භාණ්ඩ ලබාදුන් සරෝජි රණසිංහ නැන්දා, සංගීත ආචාරිනී නිරාශා කටුගම්පොළ, ඉරානි සමරතුංග නැන්දා සහ පරිත්‍යාගය ලැබූ ඇල්ල යහලවෙල විදුහලේ සංගීත ආචාර්ය චානක ඉන්ද්‍රජිත් රාජමුණි යන සැමට මගේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා.
බක්මාසේ ප්‍රසංගවලට එක්වුණා ද?
කලකට පස්සෙ මෙවර බක්මහ උළෙලවල් රැසකට ගැයුමෙන් එක් වෙන්න මටත් සහෝදර ශිල්පීන්ට වාසනාව ලැබුණා. බොහෝ දෙනාගේ ඉල්ලීම වූයේ තාත්තගේ ගී ගැයීමයි. ඔවුන් ඒවා නිසොල්මනේ අසා සිටියා.
විශේෂයෙන් හොරණ පැවති සහස්‍ර Colour Night ප්‍රසංගය, මීරිගම Blue Shadows ප්‍රසංගය, කොරතොට, මැදගම්පිටිය, හොරවල සීදේවි ප්‍රසංගය, පොල්ගහවෙල එකමුතුව, ඇඹිලිපිටිය ආදි ප්‍රසංග සඳහා සාර්ථකව සහභාගී වුණා.
මෑතදී ජාතික රූපවාහිනියේ, යූ ටියුබ් නාළිකා, රියැලිටි වැඩසටහන්, ප්‍රසංග වේදිකාවේ තාත්තාගේ ගී නද නිතර ඇහෙනවා. නව යොවුන් පරපුරත් එම ගීත තුළ ජීවත්වෙන බව මට වැටහෙනවා. අර්ථ සොයා, සංගීත සොයා, ගායන රසය මෙන්ම සංවරව ඉදිරිපත් කිරීමේ රසය එම නිර්මාණ තුළ කැපී පෙනෙනවා. එය නවපරපුර ද ආදර්ශයට ගැනීම කාලෝචිත බව මම පවසන්න කැමතියි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි