ලෝචනා ඉසුරින්දි යනු පසුගිය සතිය පුරාම බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වූ චරිතයක්. ඒ තමන් ඉගැන්වූ පුංචි පැටව් පස්දෙනාම ශිෂ්‍යත්ව විභාගයෙන් සියයට වැඩි ලකුණු ගන්නට උදව්කල පුංචි පාසල් ගුරුවරියක වීම නිසයි. ඇය ගුරුවරියක් වගේම රංගන ශිල්පිනියක්. බොහෝ දෙනා ඇය හඳුනන්නේ "චූටි" ලෙසයි. ඉතින් චූටි ගුරුතුමිය සමගයි අපේ මේ කතාබහ.
ලෝචනා... මේ දවස්වල මොකද කරන්නේ...?
මේ දවස්වල බොහෝ කාර්යබහුලව තමයි පසුවෙන්නේ.මම රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍ය දෙකක් මේ දවස් වල විකාශනය වෙනවා. ඒ විශ්ව ලංකා අයියා අධ්‍යක්ෂණය කළ "මහරාණි" සහ තරුෂි පෙරේරා අක්කා ගෙ "24 Love Story". ඒ නිර්මාණ දෙකම එකිනෙකට වෙනස්. ඒවාට සම්බන්ධ වෙන ගමන් මම කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ පනහැටගල විදුහලේ ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. ඒක අතිසුන්දර පැත්තක පිහිටි පොඩි පාසලක්. හැබැයි ඒ හැම දේම අසීරු වුණත් මේ ගත කරන ජීවිතේට මම හරි ආසයි.
ලෝචනා.... පදිංචි වෙලා ඉන්න කලවාන සිට පාසලට යන ගමන දුෂ්කරද...?
මගේ ගෙදර කලවාන ටවුමෙමයි තියෙන්නේ. හැමදාම මං පාසලට එන්නේ මගේ බයිසිකලෙන්. පාසලට යන පැත්තට තවම බස් රථයක් යන්නේ නැහැ. ඒ නිසා ඒක ටිකක් දුෂ්කරයි. හැබැයි පාසලට එන දරුවන් ඒ දුෂ්කර ගමනේ ඇවිත් අධ්‍යාපනය ලබනවා. සමහර දවස්වල රූගත කිරීම අවසාන කරලා මහ රෑට, පාන්දරට, ගෙදර ආවත් හැමදාමත් මං පාසලේ දරුවන් වෙනුවෙන් පහුවදාට පාසලට ගියා. මේ යන එන ගමන ටිකක් අසීරුයි. ඒ වෙනුවෙන් මම හරියට මහන්සි වෙනවා. සමහරු "ඇයි ලෝචනා ඔච්චර කෙට්ටු" කියලා අනන්තවත් අහලා තියෙනවා. හැබැයි ඒ මහන්සියේ ප්‍රතිඵලය හරි අපූරුයි කියලා මම දන්නවා. ඒ නිසා මේ පුංචි පැටව් එක්ක ගත කරන ජීවිතේ හරි සුන්දරයි.
ලෝචනා දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන්නේ ගහකොළ ස්වභාව දහමත් එක්කයි. ඒකට විශේෂත්වයක් තියෙනවද....?
මම පාසල් අධ්‍යාපනයෙන් පසු මහරගම විද්‍යා පීඨයේ ඉගෙන ගත්තා. එහිදීත් අපිට නිරන්තරයෙන්ම ළමුන්ට ප්‍රායෝගික අධ්‍යාපනය ලබලා දෙන්න කියලයි කිව්වේ. එම විද්‍යා පීඨයෙන් හොඳ ගුරුවරුන් සමාජයට එකතු කරනවා. ඒ හැම ගුරුවරයෙක්ම මම උගන්වන විදියට උගන්නන්න කැමතියි. හැබැයි ඔවුන්ට පරිසරය, සමාජය විසින් හැඩගැහෙන්නට වෙනවා. මම පුංචි කාලේ ඉඳන් ගහකොළට හරි ආදරෙයි. පුංචි කාලේ ඉඳන් මම ටොෆි කොළයක්වත් බිම දාන්න කැමති වුණේ නැහැ. එනිසා මට ලැබුණු පරිසරයෙන් මම උපරිම ප්‍රයෝජන ගත්තා. පාසලේදී අපි වැස්ස වෙලාවට ජනේලයෙන් එළිය බලාගෙන ඉන්නවා.ඒ කාලයට ඒ පැත්තට හරිම සීතලයි. ඒ පරිසරය හරි සුන්දරයි. ඒක විඳින්නම ඕනේ. ඒ පරිසරයත් එක්ක ඉඳගෙන තමයි අපි ඉගෙන ගත්තේ. අපේ පන්තියෙත් අපි ඉගැන්වීම් කටයුතු කළා. ඊට අමතරව එළියේ,පඩි පෙළ උඩ, ගස් යට, පේමන්ට් එකේ, එළිමහනේ,අපි ඉගෙන ගත්තා. පාසලේ අන්දර ගස් තියෙනවා. නාරං ගස්, වෙරළු ගස්, රඹුටන් ගස්, මැංගුස්, හැම පලතුරක්ම මේ පාසලේ තියෙනවා. ඒවත් කකා අපි අපේ ඉගෙනීම් කටයුතු කළා.
පාසලේ දරුවන් එක්ක ලෝචනා කොස් තැම්බුවේ පළමු වතාවටද...?
ගෙදරදී මම හොඳට කෑම හදනවා. එකපාර තිහකට වුණත් මට උයන්න පුළුවන්. හැබැයි ගෙදරදි අම්මා තමයි කොස් ඉව්වේ. මම අම්මාට උදව් වුණා විතරයි. හැබැයි එදා මුල්ම වතාවට දරුවන් එකතු කරගෙන මම කොස් තැම්බුවා. එදා පාසලේ විදුහල්පති තුමා මට ගොඩක් උදව් කළා. සර් ගෙන් තමයි මම කොස් උයන්න ඉගෙන ගත්තේ. එදා හරි රස කෑම වේලක් දරුවන් එක්ක එකතුවෙලා හැදුවා.
පුංචි කාලේ හීනය වුණේ ගුරුවරියක් වෙන්නද...? රංගන ශිල්පිනියක් වෙන්නද...?
රංගන ශිල්පිනියක් වීම හීනයක් වුණේ නැහැ. ගුරුවරියක් වෙන්න ලොකු හීනයක් තිබුණෙ නැතත් යම් ආසාවක් තිබුණා. 2015 වසරේදී අවුරුදු කුමරි තරගයකින් ජයග්‍රහණය කළාට පසුව වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වෙද්දී මම ගුරුවරියක් නෙවෙයි. හැබැයි මගේ මූලික ඉලක්කය වුණේ අධ්‍යාපනයයි.
ලෝචනා ඉගෙන ගත්ත පාසලෙදී මොන වගේ චරිතයක්ද...?
මම ඉගෙන ගත්තේ කලවාන ජාතික පාසලේදියි. පාසල් කාලේදී මං පුදුම දඟකාර දරුවෙක්. පාසල් ගුරුවරියන් අදටත් මට කියන්නේ මම ගුරුවරියක් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ කියලයි. අදටත් මට ඉගැන්නූ පාසල් ගුරුවරියන්ට කතා කරනවා. පාසලේදි බාහිර ක්‍රියාකාරකම් ඇති තරම් කළා. නැටුම් කළා. ක්‍රීඩා කළා. වැඩි හරියක්ම පිට්ටනියේ හිටියේ. හැබැයි මේ හැම දේම කළත් මම හොඳට ඉගෙන ගත්තා. අම්මා අදටත් "ඉස්කෝලෙ යන කාලෙත් විසේ, අදටත් විසේ" කියලයි කියන්නේ.
පොලිසියේ නීති රීති තාත්තා ගෙදරත් දැම්මාද...?
අනේ නැහැ. මගේ තාත්තා සේවය කරන්නේ පොලිසියේ.අපේ පවුලේ ඉන්නේ මායි අම්මයි තාත්තයි අක්කයි. මගේ අක්කා විවාහකයි. පුංචි කාලේ ඉඳන් අදටත් තාත්තා කිසිම දේකට අපි කාටවත් නීතිරීති දැම්මේ නැහැ. අපිට අපේ නිදහස විඳින්න ඉඩකඩ ලබලා දුන්නා. අම්මයි තාත්තයි කියන්නේ ඒ දෙන්නට මම පුතෙක් කියලයි. අදටත් එහෙමමයි. අදටත් ගෙදරට අවශ්‍ය දේවල් ටවුමට ගිහින් අරගෙන එන්නේ මමයි. ඉනිමග තියලා ගෙදර බල්බ් එකක් අලුතින් දාන්නෙත් මමයි. ඒ හැම දේම කරන මම අම්මගේ තාත්තගෙ පුතාම තමයි.
ලෝචනාට චූටි කියන්නේ ඇයි...?
අද මට බොහෝ දෙනා "චූටි" කියලයි කියන්නේ. ඒ ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ "ඉරගිරි මද්දහන" ටෙලි නාට්‍යය නිසයි. ඊට පෙරත් මම ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. හැබැයි ලලිත් අයියාගේ "ඉරගිරි මද්දහන "ටෙලිනාට්‍යයෙ චූටිගේ චරිතයෙන් මාව බොහෝ දෙනෙක් හඳුනා ගත්තා. බොහෝ දෙනාගේ ආදරය ලැබුණා. මට සහාය රංගන ශිල්පිනියගේ සම්මානය ලැබුණා. කලාවේ මගේ හැරවුම ඉරගිනි මද්දහන කිව්වොත් වරදක් නැහැ. චූටි කියන්නේ මම වගේම චරිතයක්. ලලිත් රෝහිත අයියා කියන්නේ කලා ක්ෂේත්‍රයෙන් මට මුණගැහුණු උතුම් මනුස්සයෙක්. ඔහු මා තුළ ඉන්න කෙනා "චූටි" චරිතයෙන් තිරයට ගෙන එන්නට නිදහස දුන්නා.
වර්තමානයේ පාසලේදී ලෝචනා ගුරුවරියක්. පුංචි තිරය ඉදිරියේදී රංගන ශිල්පිනියක්.පාසල් දරුවන්ට ලෝචනාව දැනෙන්නේ කොහොමද...?
එයාලට ඒක ගානක් නැහැ. ඒක විශේෂත්වයක් නැහැ. මම රංගනයෙන් දායක වෙන නිර්මාණ හැම දේම ඒ පැටව් බලනවා. හැබැයි එයාල මාව නිළියක් විදිහට දකින්නේ නැහැ. ඒකට මම කැමතියි.
මේ ලෝචනාගේ පළමු ගුරු පත්වීමයි. ඒ පත්වීම ලබා ගත්තු මුල්ම දවස ආයෙමත් මතක් කළොත්...?
මේක දුෂ්කර පාසලක්. පාසල් දරුවන් විසිදෙකයි ඉන්නේ. විදුහල්පතිතුමත් සමඟ ගුරුවරුන් හය දෙනෙක් සේවය කරනවා. පාසලට පත්වීම ගන්න ගියපු මුල්ම දවස මට අද වගේ මතකයි. එදා උදේ පාන්දර ඉදන් රත්නපුර දිස්ත්‍රික්කයටම අනෝරා වැසි වැටුණා. එළියට යන්න විදියක් නැහැ. ඒක පුදුමාකාර වැස්සක්.යන්නම ඕන උනත් යන්න බැහැ. ඊට පස්සේ මගේ අම්මා පඬුරක් ගැට ගැහුවා. ටික වෙලාවකින් වැස්ස අඩු වුණා. මම පත්වීම ගන්න ගියා. පාසල දැක්ක මට මාව කරකවල අත්හැරියා වගේ දැනුණා.ඒක හරි දුෂ්කරයි කියලා මට තේරුණා. හැබැයි එතන සිට ඒ පුංචි පැටව් එක්ක මේ ලෝකය එළිය කරන්න මම සිහින දැක්කා. ඒ සිහිනය සැබෑ කරන්න එදා සිට මම ලස්සනට හැඩගැහුණා. ඒ වෙනුවෙන් පාසලේ විදුහල්පති රෝහණ තිලකරත්න මහතා වගේම පාසලේ ගුරු මණ්ඩලයත් ආදරයෙන් මතක් කරනවා.
ලෝචනා.. වැඩියෙන්ම කැමති ඔයා තුළ ඉන්න ගුරුවරියටද...? රංගන ශිල්පිනියටද...?
ඒ චරිත දෙකේම ඉන්නේ මමයි. ඒක චරිත දෙකක්. හැබැයි මම වැඩිපුරම ඉන්න කැමති පාසල තුළයි. මගේ දරුවන් එක්කයි. ඒක වචනෙන් කියන්න බැරි සතුටක්. ඒ තරමටම අපි එතැනදී සතුටු වෙනවා. නමුත් රංගනය මම අතාරින්නේ නෑ. ඒකටත් මම හරි ආදරෙයි.
බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත ලෝචනාගේ හිත ආදරවන්තියක් විදියට නතර වුණු තැනක් නැද්ද...?
අනේ නැහැ... මම තාත්තා, අම්මා,එක්ක මේ ඉන්න විදිය හොඳයි. මේ නිදහස මට හොඳයි. එනිසා තාම ඒ ගැන හිතලාවත් නැහැ.
දිශානි ජයමාලි කරුණාරත්න