මාලිනි නොනැසෙන රුජින


මාලිනී ෆොන්සේකා ජනප්‍රියත්වයේ මුදුන් පෙත්තේ වැජඹුණ කාලයේ (1977 දෙසැම්බර් මුල) ඇය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක් හදිසියේ මා නෙත ගැටිණි.

ඒ ඇයට ජනප්‍රිය නිළිය මෙන්ම හොඳම නිළිය ලෙස එතෙර මෙතෙර සම්මාන ගලා එමින් තිබූ යුගයකි. ඇය ඒ දිනවල පදිංචිව සිටියේ නාරාහේන්පිට උද්‍යාන පාරේය.

චිත්‍රපට රඟපෑම දෙස ඇය යථාර්ථවාදීව බලන බව එදා ප්‍රකාශ කළාය.

1965 දී ලුම්බිනියේ වේදිකා ගත වූ අකල්වැස්ස වේදිකා නාට්‍යයේ රඟපෑම් දැක අධ්‍යක්ෂ තිස්ස ලියනසූරියත්, ජෝ අබේවික්‍රමත් නිෂ්පාදක සුගතදාස මාරසිංහත්, සිසිර සේනාරත්නත් නාට්‍යය අවසානයේදී ඇය හමුවී චිත්‍රපටයක රඟපෑමට කැමැතිදැයි ඇසූහ.

‘මම නම් කැමැතියි. ඒත් අම්ම තාත්තගෙන් අහන්න ඕනෑ’ ඇය පැවසූ බව අධ්‍යක්ෂ ලියනසූරිය  කියයි. ඒ පිළිබඳව කතා කරගන්නට ඔවුන් මාලනී සොයා කැලණිය වරාගොඩ පාරේ නිවසට පැමිණියේ ඉන් පසුවය. ඒ දිනය අධ්‍යක්ෂ ලියනසූරියට හරිහැටි මතක නැත. එය නාට්‍යය රඟදැක් වූ දිනය හෝ ඊට කිට්ටු දිනයකි. ‘මගේ දුප්පත් ගෙදර ඉස්තෝප්පුවේ අසුන් ගත් ඔවුන් මගේ රඟපෑම් හොඳ බව කියන විට මට මහත් ලැජ්ජාවක් දැනුණ. ඒ කාලේ සිනමාව සම්බන්ධ කිසිම අවබෝධයක්වත් ක්ෂේත්‍රය හා සම්බන්ධයක්වත් මට තිබුණේ නෑ. ඉතින් ජෝ අබේවික්‍රම සමග මම චිත්‍රපටයක රඟපාන්න ලැබෙනවා කිව්වාම කිසිවක් හිතාගන්න බැරි වුණා.

ඒ සතුට අද (1977) මම  විශාල මුදලකට චිත්‍රපට ගිවිසුමක් අත්සන් කරන කොටවත් නොදැනෙන්නේ ඇයි?

එදින ඔවුන් මගෙන් සමුගන්නට පෙර රඟපෑම සඳහා ගාස්තුව කීයදැයි කියා ඇසූ විට මගේ කම්මුල් රත්පැහැ ගැන්වී කන් අඩි පවා  ලැජ්ජාවෙන් රත්ව ගිය හැටි මතකයි. මට රඟපෑම මිස සල්ලි මොකටද? ‘මම රඟපාන්නෙ ආසාවට මිසක් සල්ලිවලට නෙමෙයි.’ මා කියූ විට ජෝ අයියාගේ මුහුණේ මතු වූ හිනා රැල්ල තාමත් මගේ හිතේ මැවී පෙනෙනවා.

‘අපි ඔයාට එක්දහස් දෙසිය පණහක් දෙන්නම්.’

ඒ වචන මට හීනෙන් ඇහුණා ද නැත්නම් හැබැහින් ඇසුණා ද?

එක් දහස් ගණනක්. එක්දහස් ගණනක්.... මගේ හිතේ දෝංකාර දෙන්න පටන් ගත්තා.

එක්දහස් ගණනක් නොව එදා එක රුපියල් විසිපහකින්වත් උදව්වක් කරන්න නොසිටි මට මේ නම් හීනයක්ම නොවේද? දැන් ඉතින් අපේ දුප්පත්කම මෙතැනින් ඉවර වෙයි කියා එදා මට හිතුණා.

‘වෙන කවුරු හරි නිෂ්පාදකයෙක් ආවොත් සල්ලි එපැයි කියන්න එපා. අම්මා එක්ක කතා කරගන්න කියන්න. ජෝ අයියා කීවෙ අපේ ගෙදරින් පිටවෙන්න මොහොතකට පෙරයි.

මං එදා ඔවුන් ඈතට නොපෙනී යනකම් බලා හිටියා.

ඒත් පුංචි බබා මුල්ම රාත්‍රී රූපගත කිරීම්වලදීම මට ෂූටින් එපා වුණා. දවල් පටන් ගත් ෂූටින් රාත්‍රී දෙගොඩහරිය පහුවෙන තුරුත් ඉවර වෙන බවක් පේන්න තිබුණෙ නෑ. මේ මොන දුකක් ද?’

‘ඔහොම බෑ කෙල්ලෙ පුරුදු වෙන්න ඕනැ දුක් විඳින්න.’ ජෝ අයියා මගේ මුහුණ ඉරියව් දැක කියූ හැටි.

එදා පටන් ගත් රඟපෑම් පසු කල මගේ ජීවිතේම කොටසක් වූ හැටි මා ලද ජනප්‍රියත්වය මුදල් හදල් එතෙර මෙතෙර සම්මාන’ ඇය එදින පැවසූවේ මහත් සතුටෙනි.

ඒ වන විටත් ඇය එයා දැන් ලොකු ළමයෙක් සහ සිරිපාල හා රන්මැණිකා චිත්‍රපට සඳහා  ජාත්‍යන්තර සම්මාන ලබා තිබිණ.

මාලනී සිනමාවට එන්නේ ජීවරාණි කුරුකුලසූරිය හා සන්ධ්‍යා කුමාරි යන රංගන ශිල්පිනියන් විවාහයෙන් පසු සිනමාවෙන් ඈත් වූ අඩුව පුරවන්නටය. ජීවා, සන්ධ්‍යා සිනමාවෙන් සමු ගත්තේ ජනප්‍රියත්වයේ ඉහළම තලයේ සිටියදීය.

එදා සිනමා තිරයේ වීරයා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී, ජීවා ගාමිණී, සන්ධ්‍යා යන්න වෙනුවට ගාමිණී - මාලිනී යුගය බිහි වූයේ මාලිනීගේ සිනමා ආගමනයත් සමඟය.

එහෙත් ගාමිණී - මාලිනී යුගය අවසන් වූයේ ජනප්‍රියත්වය බිඳ වැටීමක් නිසා නොව පෞද්ගලික ආරෝවක් නිසාය. කිසියම් පිරිසක් එහෙට මෙහෙට ගතු කීම නිසා ඔවුහු අමනාප වූහ. ඔවුහු එක්ව රඟපෑමෙන්  ඉවත් වූහ. ඔවුන් යළි තිරයට එක් කරන්නට බොහෝ දෙනා උත්සාහ කළ ද එය සිදු නොවිණ. මේ සඳහා මහත් උත්සාහයක් දැරුවේ ටෝනි රණසිංහයි.

විජය – මාලිනී යුගය එන්නේ ඒ සමඟය. ඔවුහු පුරා වෘත්තයක් බවට පත්වන තරමට තිරයේ ජය කෙහෙළි නැංවූහ.

තිරයේ මෙන්ම සැබෑ ජීවිතයේ ද පෙම්වතුන් වූ විජය – මාලිනී යුගය මාලිනීගේ ජීවිතයේ ද වඩාත්ම සොඳුරු යුගය යයි සිතමි. විජය – මාලිනී ආදර සම්බන්ධය බිඳී යාමත් සමඟ විජය මාලිනී යුගය ද ඉක්මනින් අවසන් විය.

කලින් අත්සන් කර තිබූ චිත්‍රපටවල පමණක් ඔවුහු එක්ව රඟපෑමට එකඟ වූහ.

ඒ අතරින් ‘වැල්ලේ තැනූ මාලිගා එවැනි චිත්‍රපටයකි. සුමතිපාල-ජෝතිපාලගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් ෂර්ලි පී. විජේරත්න අධ්‍යක්ෂණය කළ වැල්ලෙ තැනූ මාලිගා චිත්‍රපටයේ ඇය විජයගේ පෙම්වතිය ලෙස රඟපෑවේ විජය අහිමි වීමේ වේදනාව හිතේ දරාගෙනය. එහෙත් ඇය සිනමා චරිතයට අසාධාරණයක් වන්නට ඉඩ නොදුන්නාය.
බොහෝ විට දෙදෙනා දෙපසට වී සිටියත් ඇතැම් ජවනිකාවල දී එකට එක්වී සුහදතාවෙන් සිටින්නට සිදුවිය. ඒ විජය – මාලිනී එම චිත්‍රපටයේ පෙම්වතුන් ලෙස චරිත නිරූපණය කළ බැවිනි.

පසුව සංගීත අධ්‍යක්ෂ සරත් දසනායකගේ මැදිහත් වීමෙන් මිහිඳුම් සිහින චිත්‍රපටයට විජය – මාලිනී එක්ව යළි රඟපෑහ. 

වැල්ලේ තැනුණ මාලිගා චිත්‍රපටයේ නළු නිළියන් ඇතුළු පිරිස සැතපුම් කිහිපයක් එහායින් තිබුණු වෙරළේ දර්ශන තලය කරා ගමන් ගත්තේ විශාල ට්‍රැක්ටරයක ට්‍රේලරයේය.

මාලිනී, රූබි, කලං, කොස්තා, ඩී.ආර්. නානායක්කාර කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න, අධ්‍යක්ෂ ෂර්ලි පී. විජේරත්න ඇතුළු විශාල පිරිසක් මේ ට්‍රෑක්ටර් ගමනට එක් වූහ. මේ ට්‍රැක්ටර් ට්‍රේලරයේ පානීය ජලය පිර වූ කළගෙඩි, සීනි සම්බල්, පාන්, බිස්කට් ආදී කෙටි ආහාර, ඇඳුම් පැලඳුම් පිර වූ විශාල බෑග් පමණක් නොව ට්‍රැක්ටරය සඳහා අවශ්‍ය ඩීසල් කෑන් ද පුරවා තිබිණ.

මාලිනී මේ අසීරු ට්‍රැක්ටර් ගමනට ප්‍රිය කළාය. එය ඇයට විනෝදයක් විය. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම, දක්ෂතම නිළිය සැප පහසු වාහන මේ ගමනට ඉල්ලා සිටියේ නැත. දර්ශන තලවල දී ආහාර ගැනීමට සිදු වූයේ මාළු වාඩිවල බිම ඉඳගෙනය. කල්දේරම්වල පිසින ලද ආහාර, මාළු පිණි තම තමන්ම බෙදා ගත යුතු විය. මාලිනී ඇතැම් විටෙක තම සහෝදර ශීල්පීන්ට ‘තව බත් හැන්දක් දෙන්න දැයි කියා පිඟානට බත් බෙදුවාය. ඇයත් විජයත් දැක ගැනීමට කන්දකුලියේ වෙරළ අවට පිරිස පමණක් නොව ඊට නොදුරු ප්‍රදේශවලින් ද රසිකයෝ දිනපතා පැමිණියහ.

මාලිනී සිනමා තිරයේ රැජිනක වූයේ ජනප්‍රියත්වය මුදල් හදල් නිසා නොව ආදරණීය බව නිසාය. නවක අධ්‍යක්ෂවරයකුට පවා මාලිනී මෙහෙයවීමට පහසු වූවේ මේ නිසාය. සිහින කුමාරියක ලෙස දිදුලන කාලයේ ඇය අනුපමා චිත්‍රපටයේ රඟපෑවේ විජය කුමාරතුංගගේ මව ලෙසය. සොල්දාදු උන්නැහැ චිත්‍රපටයේ ඇය කොළඹ වීදි සරණ ගැහැනියක වූවාය. සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ ඇය රන් මැණිකා වූවාය.

සිරිපාල හා රන්මැණිකා මාධ්‍ය දර්ශනය පැවැත් වූයේ නාරාහේන්පිට රජයේ චිත්‍රපට අංශයේය. ශාලාව පිරී ඉතිරී ගොස් තිබිණ. චිත්‍රපටය ඇරඹිණ.

තිරයේ  දිස් වූවේ සැවොම බලාපොරොත්තු වූ මාලිනී නම් සුරූපී සිහින කුමාරිය නොව නැති බැරි කමෙන් පීඩා විඳි රන් මැණිකාය. මෙය ප්‍රේක්ෂකාගාරයට අදහා ගන්නට නොහැකි විය. ඔවුන් අතරින් නැගී ආවේ විමතිය දනවන‘ෂ්’ ශබ්දයකි. අපරිමිත දුෂ්කරතා අපහාස උපහාස මැද ඇය සිනමාවට එළිය දුන්නාය. ඇය අසල සිටි බොහෝ තාරකාවලට එළිය දී ඉදිරියට ගෙනාවේ ද ඇයයි. ජනප්‍රියත්වයෙන් ඇතැම් දේශපාලකයෝ ද එළිය ලැබූහ.

1978 වර්ෂයේ ඩී. කීරගල ආරච්චි සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක දී ඇය මෙසේ පිළිතුරු දී තිබිණ.

මනමේ බිසව හා කුවේනිය අතරින් ඔබ වැඩියෙන් කැමැති කාට ද? මේ දෙන්නා ඔබගෙන් උපදෙස් පතාගෙන ආවොත් මොනවද කියන්නේ?

ඒ වාර්තාකරුගේ ප්‍රශ්නයයි මේ මාලිනියගේ පිළිතුරයි.

‘කුවේනිත් මෝඩ ගැහැනියක්. මනමේ බිසව අනුගමනය කළ යුතු ගැහැනියක්. මං කුවේනිට කියනවා ‘එම්බා කුවේනි, තී නම් මෝඩ ගැහැනියෙකි. නොපමාව මනමේ බිසව අනුගමනය කරව කියලා.’

එහෙත් මාලිනී කී දෙය ක්‍රියාවට නඟන්නට සිතුවේ නැත. ඇය පුරාවෘත්තයකි. පුරා වෘත්ත නොමැරෙන්නේ යැයි කියමනකි. බොහෝ දෙනා කියන්නාක් මෙන් ඇය සිනමාවේ ද රැජිනකි. ඒ නිසා ඇය නොනැසෙන රැජිනකි.

රොඩ්නි විදානපතිරණ