මාරක අනතුරුවලට බලපාන ග්‍රහයෝ


ශාස්ත්‍රීය සේවාවන් අතරින් ජ්‍යොතිෂ්‍ය උත්තරීතර උතුම්ම ශාස්ත්‍රයකි. ඊට ඉපැරණි ඉතිහාසයක් ඇති අතර පෙරට වඩා වර්තමානයෙහි එහි අගය හා අවශ්‍යතාව දැනේ. උගත් වියත් බුද්ධිමත් විද්‍යාඥවරු, ගිහි පැවිදි හැම දෙනාම ශ්‍රේෂ්ඨත්වයේහි ලා සලකන උසස්ම විද්‍යාවකි.   


ලෝකයේ ජන්මය ලද ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ සුගතිය මෙන්ම අගතිය ගැනත්, දියුණුව මෙන්ම පරිහානිය පිළිබඳවත් ගැඹුරින් සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කිරීමෙන් මනා අව​බෝධයක් ලබා ගත හැකියි. ජ්‍යොතිෂ්‍ය අනුව යමෙකුට මාරක අනතුරු සිදුවෙන අන්දම කෙරෙහි අපි විමර්ශනයක යෙදෙමු.   


මාරක අනතුරු සිදුවෙන ආකාරය පිළිබිඹු කරනුයේ කේන්ද්‍රයේ අටවැන්නෙනි. එම ස්ථානය අසුභස්ථානය, බාධක ස්ථානය හා මාරකස්ථානය යනුවෙන් හඳුන්වයි. එම අට වැනි භාවය පාප ග්‍රහයින්ගේ දැඩි පාප පීඩාවකට හා ග්‍රහණයකට ලක්වන්නේ නම් එබඳු අයෙකු මාරක අනතුරකට ගොදුරු වීම නොවැළැක්විය හැකි කරුණකි.   


කුජ / රාහු / ශනි ආදී පාප ග්‍රහයින් මේ සම්බන්ධයෙන් නියෝජනය කරයි. කුජ ග්‍රහයා ලේ වලට කාරකයා වන අතරම තැළීම්, වැටීම්, වණ, තුවාලවලට හා විනාශයට මූලිකත්වය ගනී. රාහු ගැටුම් තැලීම් පොඩි කිරීම් බිඳීම් වැනි අනතුරු ඇති කර වන ග්‍රහයෙකි. සෙනසුරු කරදර බාධා දුක් කම් කටොලු සමග අපිරිසිදුකම ඇති වන්නෙකි. මෙම අසුබ ග්‍රහයින් සංයෝගව අට වැන්නේ ස්ථාන ගත වුව හොත් ඔවුන්ගේ නෛසර්ගික ගුණාංග වඩාත් වේගයෙන් ක්‍රියාත්මක කරයි.   


යමෙකුගේ කේන්ද්‍රයක අටවැන්නේ කුජ හෝ රාහු ඇතැයි සිතමු. එම ග්‍රහයින් සෙනසුරුගේ දෘෂ්ඨියෙන් ග්‍රහණයට ලක් වී ඇත්නම් සුබ ග්‍රහ දෘෂ්ඨි නැත්නම් හදිසි අනතුරක් ඇති වීමේ සංඥාවකි.   


​එසේම ඉහත සඳහන් අසුබ ග්‍රහයින් තිදෙනාම සංයෝගව අට වැන්නේ පිහිටියේ නම් නියත වශයෙන්ම හදිසි අනතුරකට මුහුණ දීමට සිදු වේ. එකී ග්‍රහයින්ගේ දශානු දශා කාල වකවානුවකදී අනිවාර්යයෙන්ම හදිසි අනතුරක් සිදුවන්නේය.   


එසේ සිදු නොවුනහොත් පුදුමයකි. එය ජීවිත හානියකින් තොරව වළක්වා ගත හැක්කේ පූර්ව කුසල් බලයෙන් ධර්මානුකූල ජීවන ප්‍රතිපදා අනුහසිනි. ඒ සඳහා බාහිර වශයෙන් සිදු කෙරෙන ශාස්ත්‍රානුකූල ශාන්ති සේවා කටයුතු හා ශබ්ද තරංග මාලා ඔස්සේ කියැවෙන සෙත් කවි ද උපයෝගී කර ගැනීමෙනි. උදාහරණයක් වශයෙන් පහත සඳහන් සටහනින් මනාව තේරුම් ගත හැක.  ●●● 


කන්‍යා ලග්නයෙන් උපන් අයෙකුගේ කේන්ද්‍රයකි. මාරකස්ථානය වශයෙන් අට වැනි රාශිය මේෂයයි. එම මේෂ රාශියේ පාප ග්‍රහයින් වන රාහු හා සෙනසුරු සුසංයෝගයෙන් මාරකස්ථානය පීඩා කර ඇත. මාරකස්ථානාධිපති කුජ ලග්නයේ ස්ව ක්ෂේත්‍ර බලයෙන් සිටියත් රවිගේ පීඩනයට ලක් වී තිබේ.   


කන්‍යා ලග්නයට කුජ සුබ පළ නොදෙන මාරක ග්‍රහයෙකි. ඔහුත් අට වැන්නට අහිත කර ලෙස දෘෂ්ටි හෙළයි. ලග්නයෙන් මෙන්ම සඳුගෙන් ද අටවැන්න වී මාරකස්ථානය වීම විශේෂත්වයකි.   


ආයු භාවය හෙවත් මාරක නියෝජනය කරන ස්ථානය වන අට වැන්නේ අතිශයෙන්ම පීඩාවට පත් වී තිබීම අවාසනාවන්ත පිහිටීමකි. මෙම අහිතකර අසුබ ග්‍රහ තත්ත්වය මත හදිසි අනතුරක් මාරක අනතුරක් සිදුවෙන බව පැවසීය හැක. සෙනසුරු, රාහු, කුජ ආදී ග්‍රහයින්ගේ මහ දශා අතුරු දශා, යෝගිනි දශා පවතින සමයකදි ස්ථිර වශ​ෙයන්ම මාරක අනතුරකට ගොදුරු විය හැකි බව තවදුරටත් පැවසීය හැක.   


විශ්‍රාමලත් රාජ්‍ය පරිපාලන නිලධාරී හා ​ජ්‍යෙතිර්වේදී විජයපාල වීරසිංහ,
නො. 206/2, පරණ ගාලු පාර, ගොරකන
කෙසෙල්වත්ත