මළවුන්ගේ අනාවරණ
කැනඩාවේ මොන්ට්‍රියෙල් නගරය මැදින් ගලා බසිනා හම්බර් නදී තොමෝ නගරය අලංකාර කරමින් හම්බර් විල කරා ගමන් කරන්නීය. මොන්ට්‍රියෙල් යනු ඍතු භේදය ඉතා හොඳින් දැකිය හැකි නගරයකි. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ශීත ඍතුව ද මාර්තු සිට මැයි දක්වා සිසිර ඍතුව ද ජුනි සිට අගෝස්තු දක්වා ගිම්හාන ඍතුව ද සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා සරත් ඍතුව ද පැහැදිලි ලෙස දකින්නට ඇත. ශීත ඍතුවේදී සාපේක්ෂව අධික හිමපතනයක් ලැබෙන, උෂ්ණත්වය නිතරම ඍන අගයක පවතින නගරයක් ලෙස මොන්ට්‍රියෙල් ප්‍රසිද්ධ ය.
එක් ශීත ඍතුවක පෙබරවාරි මාසයේ මොන්ට්‍රියෙල් නුවර අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාට පොලිසියෙන් ඇමතුමක් ලැබිණ. ඒ මොන්ට්‍රියෙල් සිට කිලෝමීටර් 13ක් බටහිරට වන්නට වූ ඉටබිකෝ නමැති කුඩා නගරය ආසන්නයේ මහ්බර් නදිය අසබඩ තිබී මිනිස් මළ සිරුරක කොටස් සොයාගෙන තිබෙන බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට පැමිණෙන ලෙසට ය.
ඇමතුම අනුව අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා උදෑසනම එම ස්ථානය බලා පිටත්වූයේය. ඉටබිකෝ නගරයේ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරක් ගමන් කළ පසු පොලිසිය මුණගැසුණ අතර, එතැන් සිට පයින් ගමන් කිරීමට සිදුවන බවට ඔවුන් පැවසූයෙන් වාහනය පසෙක නවතා අධිකරණ වෛද්‍යවරයාට පයින් ගමන් කරන්නට සිදුවිය. එය හමබර් නදියෙන් වට වූ දූපතක් වැනි ගොඩබිමකි. එහි එක පැත්තකින් වූ කුඩා පාලමකින් ප්‍රධාන ගොඩබිමට සම්බන්ධ වී ඇත.
එය ශීත ඍතුව නිසා අධික හිමපතනයක් ඇතිවන මොන්ට්‍රියෙල් ආසන්නයේ පිහිටි හම්බර් නදිය සම්පූර්ණයෙන්ම අයිස් මිදී පැවතිණ. මේ නිසා නදිය හරහා දූපතට පිවිසීමට අයිස් තට්ටුව මතින් පහසුවෙන් ගමන් කළ හැකි ය. දූපතේ අඩි පහක් හයක් පමණ උසට වැඩුණ විවිධ පඳුරු පැවතුන අතර අතරින් පතර රූස්ස ගස් ද තිබිණ.
ගඟ අසබඩ පිහිටි රූස්ස ගස් කීපයක් පාමුල අඩ වශයෙන් හිමෙන් වැසෙමින් තිබූ හිස නැති ඇටසැකිල්ලකි. වියළී ගිය සම සහ මාංශ පේශි නිසා තවමත් එම ඇටසැකිල්ලේ පපුව, උදරය, උකුල සහ පාද එකිනෙකින් වෙන්ව නොගොස් රැඳී තිබිණ. මේවා මත පාදවල අස්ථි අතරේ දිරා යමින් පවතින කොට කලිසමක් රැඳී තිබිණ. අැටසැකිල්ලට මීටර් තුනක් පමණ දුරින් යටි හනුව සහිත මිනිස් හිස් කබලක් විය. ඒ මත ද හිම පතිතව තිබුණ ද එය කොටස් වශයෙන් දක්නට ලැබුණ නිසා ප්‍රවේසමෙන් හිම ඉවත් කරමින් හිස් කබල මතුකර ගත හැකි විය.
මේ හිස් කබල කාගේ ද යන්න පිළිබඳව දැන ගැනීමට තවත් හෝඩුවාවල් අවශ්‍ය ය. ඒ නිසා ඇටසැකිල්ල පතිතව පවතින සාමාන්‍ය පොළොව මතුවන තෙක් ප්‍රවේසමෙන් හිම ඉවත් කරනු ලැබිණ. එවිට පපුව, උදරය, උකුල සහිත ඇටසැකිල්ලත් හිස් කබලත් අතර දකුණු අතේ අස්ථි කොටස් හමුවිය. ඒවා ද සම හා මාංශ පේශීවලින් එකිනෙකට බැඳී පැවතිණ. එසේම හිස් කබල ආසන්නයෙන්ම රතු පැහැති ටී ෂර්ට් එකක් වැටී තිබිණ. තවදුරටත් අවට පරික්ෂාකර බැලීමේ දී හිම පතනයෙන් සම්පූර්ණයෙන්ම වැසී ගිය පිරිමි පාවහන් යුගළක් ගස පාමුලෙහිම ඇටසැකිල්ලට පළමුව දක්නට ලැබිණ.
මෙය කාන්තාවකගේ සිරුරක් ද? නැත්නම් පිරිමියෙකුගේ සිරුරක් ද? මෘත ශරීර කොටස් මෙම ස්ථානයට පැමිණියේ කෙසේද? එක දෙයක් හොඳින්ම පැහැදිලිය. එනම් මේ මෘත ශරීර කොටස් මෙතනට පැමිණ තිබෙන්නේ ශීත ඍතුව ආරම්භ වන්නට පෙර හෝ ශීත ඍතුව ආරම්භයේදීම බව. එසේ නොවුණේ නම් එය පැවතිය යුත්තේ හිම මත ය. එසේ නම් මෙය හම්බර් නදිය පිටාර ගලා ගිය අවස්ථාවක මෙම දූපතට ගොඩ ගැසුවේ ද? එසේත් නැත්නම් මෙම පුද්ගලයා මෙහි පැමිණ සිටි අවස්ථාවක සිදුවූ යම් ස්වභාවික විපතකින්, හදිසි අනතුරකින්, එසේත් නැත්නම් සිය දිවි නසා ගැනීමකින් මරණයට පත්වූවා ද? නැතහොත් කිසිවෙකු අතින් ඝාතනයට ලක් වූයේ ද? එසේත් නැත්නම් වෙනත් ස්ථානයකදී ඝාතනය කර මෙහි ගෙනවිත් දැමුවේ ද?
මෙම සිරුර හම්බර් නදිය ඔස්සේ ගසාගෙන ආවේ නම් සිරුර සමග සියලු ඇඳුම් හා පාවහන් තිබිය නොහැකිය. ඒනිසා මෙය කිසිවෙකු විසින් මෙහි ගෙනවිත් දැමුවා හෝ මෙහි පැමිණි පසු කිසියම් හේතුවක් මත මියගිය අයෙකුගේ විය යුතු බව නිගමනය විය. සිරුර තිබෙන්නේ වියළි කොළ මත ය. එසේම සිරුර මත කිසිදු වියළි කොළයක් නැත. එසේ නම් සිරුර මෙහි පැමිණ තිබෙන්නේ කොළ හැලීමෙන් පසුවය. කොළ හැලෙන්නේ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා වූ සරත් ඍතුවේ දී ය. ඉන්පසු එළැඹෙන්නේ ශීත ඍතුවය. ඒ අනුව සිරුර මෙහි පැමිණ තිබෙන්නේ සරත් ඍතුවේ දී ය. එහෙත් මෙහි තිබී හමු වූ ඇඳුම් හා පාවහන් අනුව මේ පුද්ගලයා මියගොස් තිබෙන්නේ ගිම්හාන ඍතුවේ දී විය යුතු ය. එසේ නිගමනය කරනු ලැබුවේ ඔහු හැඳ සිටි කොට කලිසම හා ටීෂර්ට් එකත් පාවන් යුගලයත් ගැළපෙන්නේ කැනඩාවේ ගිම්හාන ඍතුවේ දී මිනිසුන් අඳින පලඳින රටාවට බැවිණි.
එසේ නම් ගිම්හාන ඍතුවේ මියගිය පුද්ගලයාගේ සිරුර සරත් ඍතුව අවසානයේ දී නැතහොත් ශීත ඍතුව ආරම්භයේ දී මෙහි පැමිණියේ කෙසේද? ඒ අනුව මෙය ඝාතනයක් වීමට තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩි ය. මෙය තවදුරටත් තීරණය කිරීමට නම් ශරීර කොටස් මෘත ශරීරාගාරය වෙත ගෙන ගොස් සියුම් පරීක්ෂාවකට ලක් කළ යුතු ය.
ගිම්හාන ඍතුවේ දී මියගිය පුද්ගලයෙකුගේ ශරීරය වෙත පැමිණෙන සතුන් එය කා දැමීමට ඉඩ තිබේ. එසේම කෘමීන් නරක් වන සිරුර කා දැමිය යුතු ය. එහෙත් මේ සිරුරේ කෘමීන් බරපතළ ලෙස ක්‍රියාකාරී වූ බවක් පෙනෙන්නට නැත. කෘමීන් කා දැමුවේ නම් සිරුරේ පටක කා විනාශ කරනු ඇත. එහෙත් එවැනි ගැටලුවක් මේ සිරුරේ නැත. එසේම වෙනත් සතුන් විසින් කා විනාශ කළ බවට සිතිය හැකි ලකුණු ද කිසිවක් දක්නට නැත. ඒ අනුව මේ සිරුර මෙහි පැමිණීමට පෙර සතුන්ට ළඟා විය නොහැකි තැනක තිබුණා විය යුතු ය. එනම් සිරුර නරක්වීමට ලක්වන අවස්ථාවේ මෙහි තිබී නැත. එය මෙම ස්ථානයට පැමිණ තිබෙන්නේ අස්ථි හා පටක අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් ම වියළී ගිය පසුව ය. ඒ අනුව එක් වරම ඇතිවන සිතුවිල්ල නම් මෙය නිවසක කාමරයක තිබී පසුව ගෙනත් දමා ඇති බව ය.
අස්ථි සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂාවේ දී කිසිම අස්ථියක භග්නයක් සිදුව නැති බව පෙනී ගියේය. හිස් කබලේ ද එවැනි අස්ථි භග්නයක් දක්නට නැත. මෙය ඝාතනයක් නම් පිහියා ඇනුමක්, වෙඩි තැබීමක් හෝ මොට ආයුධයකින් කළ පහරදීමක් වැනි දෙයක් සිදුකළ යුතුව ඇත. එසේත් නැත්නම් ගෙල සිර කර ඝාතනය කළ යුතු ය. අස්ථි භග්න නැති නිසා මොට ආයුධයකින් පහරදීම ගැන තිබූ සැක දුරු විය. පිහි ඇනුමකින් සිදුවන තුවාලයක් උදරයේ හෝ ඉළඇටවල හෝ දක්නට තිබුණේ නැත. පටක හා අස්ථි සියල්ල එක්ස් කිරණ ඡායාරූප ගත කළ ද වෙඩි තැබීමක දී නිකුත් වන උණ්ඩයෙන් උණ්ඩ කැබලි හෝ කිසිවක් හඳුනාගත නොහැකි විය. එසේම ගෙල සිර කර සිදුකළ ඝාතනයක දී ගෙලෙහි වූ අස්ථි හා කාටිලේජ බිඳීමකට ලක් වේ. එහෙත් මේ සිරුරේ එවැනි ගැටලුවක් ද දක්නට තිබුණේ නැත. එසේ නම් මෙය ඝාතනයක් යැයි සැක කිරීමට තිබෙන ඉඩකඩ දුරස්ථ ය.
මෙම ස්ථානයේ අස්ථි පැවති ආකාරය සලකා බලන විට සිරුරේ අස්ථිවලින් හිස් කබලේ අස්ථි වෙන්ව තිබීම විශේෂත්වයකි. සිරුරක් පොළොව මත දිරාපත් වන කොඳුඇට පෙළ හිස්කබල සමග සම්බන්ධ කෙරෙන ග්‍රෛවී කශේරුකාවෙන් බිඳී වෙන්වීම සාමාන්‍ය දෙයකි. එසේ වී නම් හිස් කබල තිබිය යුත්තේ ග්‍රෛවී කශේරුකාවට ආසන්නයෙන්මය. එහෙත් මේ සිරුරේ හිස් කබල තිබුණේ ඇටසැකිල්ලට මීටර් තුනක් පමණ දුරිනි. එසේම දකුණු අතේ අස්ථි කොටස් ද තිබුණේ තරමක් නුදුරෙනි.
මෙය ඝාතනයක් නොවන්නේ නම් හිස්කබල සිරුරේ අනෙකුත් අස්ථිවලින් මේ ආකාරයට වෙන්ව මේ ස්ථානයට පැමිණියේ කෙසේද? එය සිදුවිය හැකි එක් ක්‍රමයක් තිබේ. එනම් මොහු සිරුර තිබූ ස්ථානයේ උස් ස්ථානයක ගෙල වැළලාගෙන මිය ගියේ නම් සිරුර වියළී දිරාපත් වෙද්දී මේ ආකාරයට හිස වෙනම ද අනෙක් සිරුරු කොටස් වෙනම ද බිම පතිත විය හැකිය. උස් ස්ථානයක සිරුර තිබූ නිසා ද සතුන් කා දැමීමට තිබෙන ඉඩ කඩ අඩු ය. ඒනිසා සිරුර ඉබේම වියළීමට ලක්වන්නට ඇත.
ඔහුගේ ඇඳුම් පැළඳුම් අනුව ගිම්හාන ඍතුවේ දී ඔහු මෙහි පැමිණ ගෙල වැල ලාගන්නට ඇත. දිරාපත් වූ සිරුරේ හිස් කබලෙන් පහළ කොටස පමණක් මුලින් බිම පතිත වන්නට ඇත. පසුව ග්‍රෛවී කශේරුකාව සමග හිස් කබල බිම පතිත වන්නට ඇත. ඔහු ගෙල වැල ලාගත්තේ නම් ඒ ලණුව කෝ? අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා පොලිසියට නියෝගයක් දෙමින් සිරුර තිබූ ස්ථානය ආසන්නයේ තොණ්ඩුවක් සහිත ලණුවක් තිබේ දැයි සොයා බලන ලෙස දැනුම් දුන්නේය.
මෙම ස්ථානයේ තිබූ ගස් හා අතු බොහොමයක් බීවර්ස් නමැති සතුන් විසින් කපා දැමීම නිසා බිම පතිත වී තිබිණ. සිරුර තිබූ ස්ථානයේ ගසෙහි ද අතු කීපයක් කපා දමා තිබිණ. ඒනිසා සිරුර තිබූ ස්ථානය අවට ප්‍රදේශයේ හිම වැටී තිබූ ස්ථානවල හිම ඉවත් කරමින් පොලිසිය විසින් පරීක්ෂා කරනු ලැබිණ. එහිදී බිම වැටුණ අත්තක තවමත් රැඳී තිබෙන තොණ්ඩුවක් සහිත තංගුස් ලණුවක් හමුවිය. ඒ අනුව මෙය ගෙල වැල ලාගැනීමෙන් සිදුවූ මරණයක් බව විද්‍යාත්මක සාක්ෂි මත තහවුරු කළ හැකි විය.
දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ මේ සිරුර කාගේ ද යන්නය. සිරුරේ උකුළු අස්ථි පරීක්ෂා කිරීමේ දී ශ්‍රෝණි මේඛලාව පළලින් හා ගැඹුරින් වැඩි බව දැකිය හැකි විය. එවැනි ශ්‍රෝණි මේඛලාවක් පිහිටන්නේ කාන්තාවන්ටය. ඒ ගර්භණී සමයේ දී දරුවන්ගේ බර දරා සිටීමට හැකි වන පරිදි හා ප්‍රසූතියට පහසු වන පරිදි ය. උඩු සහ යටි හනුවල දත් පරීක්ෂා කිරීමේ දී මෙය අවුරුදු විස්සත් විසිපහත් අතර අයෙකුගේ බව තීරණය කළ හැකි විය.
දැන් මෙය කාගේ ද යන්න පැහැදිලි කර ගැනීම ඊළඟ අභියෝගය විය. එයට ද උපකාරී වූයේ දත්මය. හිස්කබලේ උඩු හා යටිහනුවල පිහිටි දත් අතර දිරායාමක් නිසා පිරවූ දත් දෙකක් දැකිය හැකි විය. එහි හිස්කබල සමග දත්වන එක්ස්-රේ ඡායාරූපයක් ලබාගෙන දන්ත තොරතුරු බැංකුවේ දත්ත සමග සංසන්දනය කළ විට මියගිය පුද්ගලයාගේ යැයි සැක කළ හැකි ජීව දත්ත තොරතුරු ලැබිණ.
ඒ තොරතුරු අනුව මොන්ට්‍රියෙල් නගරයේ වික්ටෝරියා පාක් ඇවනියු හි පිහිට අංක 112 නිවස වෙත ගිය පොලිසිය එය පිටතින් පරීක්ෂා කරද්දී කලකින් කිසිවෙක් පදිංචිව සිට නැති බව තහවුරු විය. දොර කඩා ඇතුළු වූ පොලිසියේ නිලධාරින්ට මියගිය පුද්ගලයාගේ යැයි සැක කළ හැකි තොරතුරු කිසිවක් සොයාගත නොහැකි විය. එහෙත් එහි තිබූ පරිගණකය පරීක්ෂා කිරීමේ දී පොලිසියට සාක්ෂි ලැබිණ. එම පරිගණකයේ මියගිය පුද්ගලයාගේ යැයි සැක කළ හැකි ඡායාරූප රැසක් විය. එහි එක් ඡායාරූපයක දකුණු අතේ උඩ බාහුවේ පච්චයක් දැකිය හැකි විය. එම පච්චය මළසිරුරේ දකුණු අතේ උඩ බාහුවේ තිබී හමුවූ පච්චයේ සලකුණට සමාන වූ අතර තවදුරටත් කරන ලද පරීක්ෂාවේ දී සිය දිවි නසාගැනීම සඳහන් කර ලියන ලද ලිපියක් ද පරිගණකයේ තිබී සොයාගැනීමට හැකි විය.
(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න)
මුදිතා දයානන්ද