භූමි ​දෙ‌ා්ෂ ති​ෙබිදැයි ඔබම බලාගන්න


සියලු මිනිස් වර්ගයාටම වාසය කිරීමට නිවසක් අවශ්‍ය වෙයි. වාසනාවන්ත ගෙයක් දොරක් සාදාගෙන පදිංචි යහපත් දූ පුතුන් ලැබ චිරාත් කාලයක් යෙහෙන් ජීවත්වීමට ලැබීම උතුම් සැපතකි. ඒ අනුව මෙ​ෙළාව එළිය දකින සෑම මනුෂයයෙක්ම වාසනාවන්ත සැපවත් ජීවිතයක් ගත කිරීමට කැමැත්තෝ වෙති. පුද්ගලයන් තුළ පවතින උත්සාහයෙන් හා දෛවයේ පමණම එහි සාර්ථකභාවය පවතී.

කොතරම් ධනය වියදම් කළත් ස්වකීය අභිමතාර්ථ්‍ය අනුව නිවසක් ඉදි කර ගැනීමට අසීරු වන අවස්ථාද නැත්තේ නොවේ. මේ නිසා ජ්‍යෙතිෂයට අනුව වාස්තු විද්‍යාවට එකඟව නිවසක් ඉදිකිරීම යහපත් බව සමාජයේ පිළිගැනීමයි.   


හොඳ පළාතක යහපත් පරිසරයක නිවසක් තනාගෙන සිටීමට කවුරුත් කැමැති වෙති. ගොඩනගන නිවස වාසනාවන්ත කර ගැනීමට නැකත් හා සුබ වේලාවල් අනුව වත් පිළිවෙත් කරති.   


එම නිසා ඔබ පදිංචිවීම සඳහා අලුතින් නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන ඉඩම හෝ භූමිය ඔබට ඵලදායී ස්ථානයක් ද යන්න පළමුව පරීක්ෂාකර බැලිය යුතු වෙයි. සමහර භූමිවල අනාදිමත් කාලයක සිට භූත දෝෂ, ප්‍රේත ආත්ම මුල් බැස ගෙන තිබිය හැක. එම භූමිවල පලදායී තත්ත්වයක් ඇති කර ගැනීම උගහටය. එසේම දුෂ්කර කාර්යයක් ද වෙයි.   


එබැවින් ඔබ නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන භූමිය පදිංචියට යහපත් ස්ථානයක් ද එසේ නැතහොත් දෝෂ සහිත භූමියක් ද යන්න ඔබටම පරීක්ෂා කර බලා ගැනීමේ ක්‍රමයක් සෑම දෙනාගේම යහපත තකා මෙහිලා සඳහන් කරමු. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය මෙසේය.   


තමා උපන් නැකතට සීහෙන සම්පත් නැකතක් උදා වූ ඉරිදා දිනයක මෙය කළ යුතුය. ඊට කලින් දින එනම් සෙනසුරාදා ස්වකීය ඉඩමේ සතර කොණින් කතා නොකර කිසිවෙකුට නොපෙනෙන ලෙස පස් මිට බැගින් ගෙන එය අලුත් නැවුම් කළයකට දමන්න. එයට සමන් පිච්ච මල් ටිකක් ද දමන්න. ඉන් පසු පූජනීය බෝ මැඩක් අභියසදී පහත සඳහන් ගාථාවෙන් 108 වාරයක් පිරිත් පුරවා ගන්න.   


ගාථාව   


සබ්බ පාපස්ස අකරණං   
කුසලස්ස උපසම්පදා   
සචිත්ත පරියෝ දපනං   
එ්තං බුද්ධානු සාසනං   


මස් මාංශ ඇතුළු සියලු කිළිකුණුවලින් වැළකී පංචශීලයෙහි පිහිටා මෙය කළ යුතුයි.   


ඔබේ ඉඩමේ නිවස ඉදිකිරීමට බලාපොරොත්තු වන ස්ථානයේ රවුමට සිටින සේ (කවාකාරව) අඩි දෙකක් ගැඹුරට වළක් හාරා ගත යුතුය. එසේ සකස් කර ගත් වළ රාත්‍රී නවයට පසුව සම්පූර්ණයෙන් ජලයෙන් පුරවන්න. එම ජලය කලින් දා අලුයම පෙරා පිරිසිදුව ලබා ගත් ජලය විය යුතුය. ඉන් පසු වත්තේ පස් හා සමන් පිච්ච මල් සහිත කළය එම වළේ කට වැසෙන සේ වළ උඩින් තබන්න. එය පසු දින පහන් වන තුරු නිවෙන්නට හරින්න.   


එම ස්ථානයේම නොයිදුල් බත් ස්වල්පයක් සහ මී පැණි හා ගිතෙල් ස්වල්ප වශයෙන් ද හත් මාළුවක් ද තටුවක තබා පහත සඳහන් ගාථාව හත් වරක් කියා එම භූමියට අරක් ගත් භූතයින්ට අයිති වේවායි කැප වේවායි සිතා පුදන්න.   


ගාථාව   


තස්මානි භූතා නිසාමේථ සබ්බේ   
මෙත්තං කරෝථි මානුෂියා පජාය   
දිවාච රන්තෝඡ හරන්නියේ බලිං   
තස්මානි නෙ රක්ඛථ අප්පමත්තා   


මෙය මහානුභාව සම්පන්න රතන සූත්‍ර​ෙය් දෙවන ශාථාවයි.   


එහි භාවය මෙසේය.   


‘අමනුෂ්‍යයිනි, යම් කරුණක් සඳහා තෙපි මෙහි රැස්ව සිටිනහුද, එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙ​ෙරහි මෛත්‍රීය කරමු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල් හි තොපට පූජා ගෙනෙත් ද පින් දෙත් ද එහෙයින් ඔවුන් අප්‍රමාදව රකිවු’  


පසුදා උදෑසනින්ම එම ස්ථානයට ​ගොස් කළය ඉවත් කර වළේ වතුර පරීක්ෂා කර බලන්න. ජලය තිබූ ප්‍රමාණ්‍ය අනුව සුබාසුබ මෙසේය. 

 
කලින් දින රාත්‍රී වතුර පිරවූ අයුරින්ම වළේ ජලය පිරි තිබේ නම් එහි නිවස ඉදි කර පදිංචි වී​ෙමන් නිවැසියන්ට සම්පත් යස ඉසුරු දීර්ඝායුෂ ලැබේ. එය නිවසක් සෑදීමට ඉතාම සුබ භූමියකි.   
වළේ ජලය අඟල් 18 ක් වී තිබිණි නම් එයද නිවසක් තැනීමට සුදුසු ස්ථානයකි. ජයග්‍රාහී භූමියකි. සම්පත් ගෙන දෙයි. ජලය වළේ අඩියක් අඩු වී තිබිණි නම් එයද සම්පත් ළඟා කරන භූමියක් බව පෙන්නුම් කෙරේ.   


වලේ ජලය අඟල් 11 ක් වී නම් එම භූමියද නිවසක් තැනීමට සුදුසු බව ශාස්ත්‍රයේ දැක්වේ. ජයග්‍රාහී බිමක් බව කියති. අඟල් 10 ක් වළේ වතුර තිබුණේ නම් එම භූමියේ සම්පත් ලැබීම කඩින් කඩ සිදුවන බව පෙන්වා දෙයි.   


වළේ ජලය අඟල් 10 ට වඩා අඩු නම් එම භූමිය නිවසක් ඉදිකිරීමට සුදුසු නොවන බව ශාස්ත්‍රීය නියමයයි.   


ජලය අඟල් 9 ක් උසට ඉතිරි වී තිබිණි නම් එයි නිවසක් තනා පදිංචිවීමෙන් නිවැසියන් රෝග පීඩාවලට ගොදුරු වෙයි. අඟල් 8 ක් නම් එය නිවාස ඉදිකිරීමට නුසුදුසු නපුරු භූමියකි. අඟල් 7 ක් නම් ධන හානි සහිතයි. අඟල් 6 ක් නම් සතුරු විපත්වලට ලක් වන ස්ථානයකි. අඟල් 5 ක් නම් ගෘහ මූලිකයාට විපත්තිදායකය. අඟල් 4, 3, 2, 1 වුවහොත් පදිංචියට සුදුසු තැනක් නොවේ. විපත්ති ගෙන දෙයි.   


දැනට පදිංචිව සිටින නිවස ගැන ද මෙම ක්‍රමය යටතේ පරීක්ෂා කර බැලිය හැකිය.   


ලෝකයේ සියල්ලම අාපෝ තේජෝ පඨවි ආකාශ යන පංච මහා භූතයන්ගෙන් නිර්මිතව තිබේ. මන්ත්‍ර අක්ෂර ශබ්ද පදනම් කොට පවතී. අක්ෂර පංච මහා භූතයන් ආත්ම කොට පවතී. ඒ නිසා මන්ත්‍රවලින් භූතයින්ගේවෙනස්කම් කළ හැකි වෙයි. නිවසක් තැනීමේදී මහා භූත දෝෂ දුරුවීමට මන්ත්‍ර විද්‍යාවේ පිහිට උපයෝගී කර ගැනුමට අපේ පැරැන්ණෝ උනන්දු වූහ. මෙසේ සැලකීමේදී නිවසක් සෑදීමට පළමු භූමි දෝෂ මන්ත්‍ර විද්‍යාවේ බලයෙන් දුරු කර ගැනීමට වාස්තු විද්‍යාව දන්නෝ උනන්දු වෙති. 

 

 

 

 

 

 

 

 

 

 

 

 
ගම්පහ අබේසේන හේරත්