ප්‍ර මේ දවස්වල කෙරෙන වැඩ ගැන මුලින් කතා කළොත්?
දිමන්ක වෙල්ලාලගේ ‘අපරාධය’ කියන ගීතය සංගීතය නිර්මාණය කළා. මේ ගීතය රචනා කලේ වසන්ත දුක්ගන්නාරාළ විසිනුයි. ඒ වගේම නන්දා මාලනී මහත්මිය ගයන, චන්දන ලොකුහෙව්ගේ රචනා කළ‘මලේ මලේ’ ගීතය හා අමරසිරි පීරීස් මහතා ගයන ‘මහගම සේකර’ නම් ගීතයට සංගීතය නිර්මාණය කළා. ඒ ගීතය රචනා කළේ චාමින්ද රත්නසූරිය. ඊට අමතරව නවක ගායකයන් කිහිප දෙනෙක් සඳහා ගීත නිර්මාණය කරමින් සිටිනවා.
ප්‍ර ඔබ සංගීත අධ්‍යෂණය සඳහා පිවිසුණේ කොහොමද?
මම මුලින්ම අධ්‍යාපනය හැදෑරුවේ මොනරාගල කුඹුක්කන මහා විද්‍යාලයෙන්. අනතුරුව හය වසර සඳහා මොනරාගල ජාතික පාසලට ආවා. මම එම පාසලේ ඉගෙනුම ලබන කාලේ මොනරාගල ධර්මප්‍රදීප විදුහලේ සංගීත ගුරුවරයා ලෙස කටයුතු කළ කුලරත්න හෙට්ටිආරච්චි ගුරුතුමා මොනරාගල තරුණසේවා සභාවට අනුබද්ධව ඉගැන්නුවා. මමත් ඔහුගෙන් සංගීතය ඉගෙන ගත්තා. මමත්, ගායන ශිල්පී අජන්ත මුහන්දිරම් දෙදෙනා ඇතුළු පිරිසක් තමයි සර් ගාවට ගියේ.
අනතුරුව මම උසස් පෙළ සඳහා වැලියාය සිරිපියරතන පිරිවෙනට ගියා. මොකද ඒ කාලේ ඒ පාසලේ ප්‍රතිඵල හොඳයි. මම උසස් පෙළ සමත්වෙලා ඉන්න සමයේ එකල බෙහෙවින් ජනප්‍රියව පැවති ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් සංගීත ගම්මානයට ගිහින් ඉගෙන ගන්න බෙහෙවින් ආසාවෙන් සිටියා. ඒ සඳහා මම අවස්ථා 4කදී සම්මුඛ පරීක්ෂණ සඳහා ගියත් මාව තේරුනේ නෑ.
ජාතික තරුණසේවා සභාවේ බෙල්වුඩ් සංගීත ගම්මානය තුළින් මෙරට සංගීත ක්ෂේත්‍රයට දක්ෂ හා ජනප්‍රිය ගායක ගායිකාවන් හා සංගීතඥයන් රැසක් බිහිකරන්නට සමත් වූ බව නොරහසකි. විශාරද සෝමසිරි සොයිසා එලෙස බෙල්වුඩ් ගම්මානය හරහා බිහිවූ සුවිශේෂී සංගීතඥයෙකි. සංගීත ගුරු උපදේශකයෙකු ලෙස කටයුතු කරන ඔහු විසින් මේ වන විට ගීත 2000ක් පමණ සංගීතවත් කර ඇති අතර 2024 සිට මේ දක්වා ගීත 350කට අධික ප්‍රමාණයක් සංගීතවත් කරන්නට සමත්ව තිබේ. මේ ඔහුගේ සංගීත දිවිය පිළිබඳව ඔහු සමග කළ සංවාදයකි.
ඔය කාලෙදි මහරගම ජාතික තරුණ සේවා සභාවේ තිබුණු වැඩමුළුවක් සඳහා මම සහභාගි වුණා. ඒකෙදි අපට රාත්‍රියේ පැවති ගිනිමැල සංදර්ශනයේදී මම සින්දු කිව්වා. එතනට ඇවිත් හිටිය එවක තරුණ සේවා සභා අධ්‍යෂ ජනරාල් බෙනඩික් කුමාරගේ මහතා මම ගීත ගයනවා අහගෙන ඉඳලා මගෙන් ඇහැව්වා “මේ ළමයා කැමති නැද්ද, අපිත් එක්ක එකතුවෙන්න" කියලා. මම එවිට කිව්වා “සර්, මම අවුරුචු 4ක් ඉන්ටවිව් ගියත් මාව තේරුණේ නෑ" කියලා. බෙනඩික් කුමාරගේ සර්ගේ උපදෙස් මත ඒ අවස්ථාවේදීම ගම්මානය සඳහා ලියාපදිංචි කර ගත්තා. සතියකට විතර පස්සෙ මට 1991 පෙරවාරි 07මට බෙල්වුඩ් සංගීත විද්‍යාලය සඳහා අවස්ථාව ලැබුණා. ඒ කාලේ මගේ සමකාලීනයෝ වුණේ ජයසිරි අමරසේකර, චන්දන ලියනආරච්චි, ප්‍රින්ස් උදයප්‍රියන්ත ආදිනුයි. නිහාල් ගම්හේවා මහතා තමයි අපේ ආදරණීය ගුරු පියාණන් වුණේ.
1993 දෙසැම්බර් 22 ගැසට්ටුවක් තිබුණා ඌව පළාත් සංගීත ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන්. 1996 මම සංගීත ගුරුවරයෙක් ලෙස සේවයට එකතු වුණා. මේ වනවිට මම බිබිල අධ්‍යාපන කලාපයේ සංගීත ගුරුවරයෙක් ලෙස කටයුතු කරනවා. ඒ අතරතුර ගායකයෙක් හා සංගීත අධ්‍යෂකවරයෙක් ලෙස කටයුතු කරනවා.
ප්‍ර ඔබේ පළමු සංගීත අධ්‍යෂණය කළේ කාටද?
ජාතික තරුණ සේවා සභා තුරුණ ශක්ති තරගයේ අවසන් මහ තරගය සඳහා මම 1999දී ඉදිරිපත් වෙලා අවසන් වටයට සුදුසුකම් ලැබුවා. ශෂිකා නිසංසලා, කාන්චනා, ඉන්දික ප්‍රසාද්, අනුරාධ අබේසිංහ, දර්ශන වික්‍රමතුංග, විමල් දයානන්ද, සහ මම ආදි පිරිසක් තමයි අවසන් වටයේ තරග වැදුනේ. අවසන් තරගයට පෙර නිහාල් ගම්හේවා සර් සහ සුනිල් ආර් ගමගේ සර් අපට දවස් 14ක පුහුණුවක් ලබාදුන්නා. ඔතනදී ගුවන් විදුලි වැඩසටහන් කළා. ඒකෙදි අපට ලබාදෙන ගීපද රචනා සඳහා මෙලඩි හදන්න හා ගායනා කරන්න තමයි තිබුනේ. ඒ අනුව මම, විමල් දයානන්ද, දර්ශන වික්‍රමතුංග ආදීන් මෙලඩි හැදුවා. ශෂිකා, සුභානි, ඉන්දික ආදීන් ඒ ගීත ගායනා කළා. අපට එතනදි හදන එක මෙලඩියකට රු.2500ක් ගෙව්වා. ඒක අපට ලොකු ගානක්. ‘නෙළුම් පතකි ඔබ සිත’, ‘සොවින් සෝ සුසුම් උහුලන’ ආදි ගීත කිහිපයක් මම තනු නිර්මාණය කළා.
මෙතනදි මට සුනිල් ආර් ගමගේ සහ නිහාල් ගමහේවා මහත්වරු මට කිව්වා ගායන පැත්තත් තියාගෙන තනු නිර්මාණ පැත්තට යොමුවෙන්න කියලා. ඉන් පස්සේ සමන් ලෙනින් වෙනුවෙන් මොනරාගල හිටපු උපදිසාපති වූ චන්දන ලොකුහේවගේ මහතා රචනා කළ ‘දරුවනේ’ ගිතය මට සංගීතවත් කරන්න අවස්ථාව ලැබුණා. ඒකෙන් පස්සෙ මට ගීත රැසක සංගීත නිර්මාණය කරන්න අවස්ථාව උදාවුණා. ඉන්පසුව චන්දන ලොකුහේවගේ මහතාම රචනා කළ නන්දා මාලනී මහත්මිය ගායනා කළ ‘පූජා කරන මල් තරමට’, චන්දන ලියනආරච්චි හා ඉනෝකා අහංගම ගයන ‘ඔය දෑස’ කියන ගීතයත් සුනෙත් රූපසිංහ විසින් චන්දන ලියනආරච්චිට ලියූ ‘වට කැරකි කැරකි’, දයාන් විතාරන ගයන නයෝමි භාග්‍යා රචනා කළ ‘කදුළු සිත්තම්’ ශෂිකා නිංසලා ගයන ‘තෙවැනි ඇස’, චන්දන ලොකුහේවගේ මහතා විසින් හර්ෂ ධනුෂ්ට ලියූ ‘නිල්ගල දියණියේ’, සුනෙත් රූපසිංහ විසින් කිත්සිරි ජයසේකරට ලියූ ‘සඳ ඔහොමමයි’ හා ඉන්දික ලියනගේ සඳහා රචනා ‘බෝදිලිමෝ’, චාමින්ද රත්නසූරිය විසින් රචනා කළ අජන්ත මුහන්දිරම් ගයන ‘සීතල හැඟුමක්ද’, ‘සදාදරයෙන් අමතමි ඔබට’,‘ඇතුන් දැමුවාව ඉහත්තාවේ’ ගීතත් මුදිතා දිසානායක විසින් අජන්ත මුහන්දිරම් සඳහා රචනා කළ ‘දෑස්මත හංගාලා’ ආදි ගීතත් ළමා ගායකයෙකු වන චන්දුල් ඒකනායක සඳහා ‘සෙනසුරු මහ දසාව’ආදි ගීත සංගීතවත් කරන්න අවස්ථාව මට හිමුවුණා.
මොනරාගලින් බිහිවූ සුවිශේෂීම සංගීතඥයා වන්නේ එච්.එම්. ජයවර්ධන මහතායි. එතුමාගෙන් පසුව මෙතරම් ගායක ගායිකාවන් පිරිසකට සංගීතය නිර්මාණය කරන්න ලැබුණෙ මට. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.
ප්‍ර මේ වන විට ගීත කොපමණ සංඛ්‍යාවක් සඳහා සංගීතය නිර්මාණය කර තිබෙනවද?
ගීත 2000ක් පමණ සංඛ්‍යාවක් මම සංගීතවත් කර තිබෙනවා. 2024 සිට 2025 ජුනි මාසය දක්වා ගීත 350කට අධික සංඛ්‍යාවක් සංගීතවත් කරන්න මට අවස්ථාව ලැබුණා. මේ ගීත වල සංගීතය එකකට එකක් වෙනස්. මේ වෙනස මට සිදුකරන්න ප්‍රළුවන් වෙලා තියෙන්නෙ එක පැත්තකින් මමත් ගායකයෙක් නිසා. ඒවගේම රාගධාරී සංගීතය ඔළුවෙ තියෙන නිසා. ඒවගේම හින්දි, දෙමළ, ඉංග්‍රීසි හා වෙනත් භාෂාවල ගීත අහනවා. ඒ තුළිනුත් මට විවිධ නාදමාලා පිළිබඳ අවබෝධයක් ලබාගන්න අවස්ථාව සැලසෙනවා. මම විඳින මෙලඩිය එනකල් මම සති ගණනක් හෝ මම සංගීතවත් කරන ගීතය එක්ක ජීවත්වෙනවා.
නිරෝෂන් ප්‍රේමරත්න