පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ උක්කුවා - අනුර බණ්ඩාර රාජගුරු


කේලම් කියා එකිනෙකා බිඳවීම, පවුල් කඩාකප්පල් කිරීම විනෝදාංශය කර ගත් මිනිස්සු ගම්වල සුලබය. උක්කුවා ද එවැන්නෙකි. නිතරම බීඩියක් කටේ ගසාගෙන, කෝටුවක් අතැතිව, බෝක්කු මත හෝ කඩපිලේ හිඳගෙන ගමේ ඕපාදූප සෙවීමට හා ඒවා බෙදා හැරීමට නිර්ලෝභීව කාලය කැප කරන්නෙකි. ඇතැම් අවස්ථාවල ජීවිතේටම අමතක නොවන පාඩම් ඉගෙන ගන්නට සිදු වන්නේත් ඔහුගේ මේ කමකට නැති හැසිරීම නිසාය.

“උක්කුවා කියන්නෙ මම ටෙලි නාට්‍යයක රඟපෑව පළවෙනි චරිතය.. ඒ හින්දා ඒකෙන් ඉගෙන ගත්ත දේවල් නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ..”

එසේ කියන්නේ පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ උක්කුවාගේ චරිතයට පණ දුන් අනුර බණ්ඩාර රාජගුරුය. ශ්‍රී ලාංකික ටෙලිනාට්‍ය වංශ කතාවේ හතර වෙනියට ලියැවී ඇති පළිඟු මැණිකේ රූගත කෙරුණේ 1984 වසරේදීය.  සෝමවීර සේනානායක තිර රචනා කළ, ධම්ම ජාගොඩ අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි නාට්‍යයේ ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, රෝහණ බැද්දගේ, මැණිකේ අත්තනායක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, දයා තෙන්නකෝන්, රම්‍යා වනිගසේකර  ඇතුළු නළිනිළියෝ රැසක් රඟපෑහ. එය 1985 වසරේදී තිරගත වූයේය.  සම්ප්‍රදායික සංස්කෘතික රාමුව තුළ කොටු වූ ලොකු හාමුදුරුවෝ, ඉස්කෝලේ මහත්තයා, වෙද මහත්තයා, ගුරුන්නාන්සේ මෙහි අපූරුවට පිළිබිඹු කර තිබේ. ඔවුන් සංස්කෘතික උරුමය රැකගන්නට වැරවෑයම් කරද්දී පට් පට් ගා සම්තින් සෙවීම එකම අරමුණ කර ගත් සූරසේන වැනි තරුණ පරපුර හරහා අලුත්ම සංස්කෘතියක් ගම ආක්‍රමණය කරන්නේය. නිර්මාණකරුවන්ගේ අරමුණ වූයේ ඒ සංස්කෘතික සෝදාපාළුව ගමට බලපාන අන්දම පෙන්වා දීමය.  

“මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙලා හිටියෙ ලූෂන් බුලත්සිංහල මහත්මයා.. ඒත් වැඩමුළුවකට සහභාගි වෙන්න ජර්මනියට යන්න සිද්ද වුණ හින්දා ධම්ම ජාගොඩ මහත්මයාට  අධ්‍යක්ෂණය භාර ගන්න සිද්ද වුණා..”

අතීතය සිහිපත් කරමින් අනුර බණ්ඩාර රාජගුරු පැවසුවේය.   ඒ කාලයේ ඔහු රැකියාව කළේ ලේක්හවුස් ආයතනයේය. ඔහු පාර වසා ඇත, අනේ අබ්ලික් වේදිකා නාට්‍යවල රඟ පා තිබුණි. ධර්මසිරි ගමගේ විසින් තිර රචනා කරන ලද  එක මවකගේ දරුවෝ ටෙලි නාට්‍යයේ වැඩ පණිවිඩ සඳහා හොරණට ගිය විට එහි රූගත කිරීම් ද නැරඹුවේය. ලූෂන් බුලත්සිංහල විසින් නිර්මාණය කරන ලද, මැදිරියක් තුළ පටිගත කළ ලංකාවේ පළමු ඒකාංගික ටෙලි නාට්‍යය වූයේ යතුරු ලේඛිකාවය. එහි යතුරු ලේඛිකාව ලෙස සමන්තා ඈපාසිංහ රඟ පෑ අතර අනුර කාර්යාල කාර්ය සහායකයාට රඟ පෑවේය. ඒ හැරෙන්නට ක්ෂේත්‍රය පිළිබඳව කිසිදු දැනුමක් ඔහුට තිබුණේ නැත. එහෙත් ලූෂන් බුලත්සිංහල විසින් උක්කුවා චරිතයට ඔහුගේ නම යෝජනාකරනු ලැබ තිබිණි. ඒ බැව් ඔහු මුලින් දැන සිටියේ නැත. එය දැන ගත්තේ ධම්ම ජාගොඩ ඔහු කැඳවූ කල්හිය.  ඔහුගේ රූප ස්වභාවය හා රංගන හැකියාවන් පිළිබඳව සෑහීමකට පත් වූ ඉනික්බිති උක්කුවා චරිතයට සුදුසු ඔහුම බැව් ධම්ම ජාගොඩ තීරණය කළේය.

“මේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තිබුණේ හික්කඩුව, තෙල්වත්ත අවට ප්‍රදේශවල.. හික්කඩුවේ සී සයිඩ් ඉන් හෝටලේ තමයි අපිට නවාතැන් ලැබුණේ... ඒ ඉස්සරහ ගෙවල් පේළිය ටෙලි නාට්‍යයේ ගෙවල්වලට අරන් තිබුණා.. ධම්ම ජාගොඩ මහත්තයා ෂුටින් පටන් ගන්න ඉස්සර අපි හැමෝම කැඳවලා  පොල් ගෙඩියක් උඩ කපුරු පෙත්තක් පත්තු කරලා ඒක අපේ අතින් අතට යවලා ඊට පස්සෙ ගලක ගහලා බින්ද විදිය මට හොඳටම මතකයි..   පළවෙනි දර්ශනය විදියට ගත්තෙ උක්කුවා වුණ මම බෝක්කුවක් උඩට වෙලා ඉන්නකොට පළිඟු මැණිකේ විදියට රඟ පෑව මැණිකේ අත්තනායක එතැනින් යනවා.. අපි දෙන්නා කතා කරකර ඉඳිද්දි මම කිව්ව දේකට කේන්ති ගිහින් ගස්සලා උකුළෙන්ම මට පාරක් ගහලා යනවා.. හොඳට පද්දලා ගහන්න ඕන.. එදා අධ්‍යක්ෂවරයා උපදෙස් දුන්න විදියත් මට මතකයි..” අනුර කීවේය.

ඔහුගේ ගුටි කෑම එතැනින් නතර වූයේ නැත.

මැණික්හාමි ලෙස රඟ පෑ රෝහණ බැද්දගේ සහ අනුර නැවතී සිටියේ හෝටලයේ එකම කාමරයේය. උක්කුවා විසින් කියන ලද කේලමකට කිපුණ මැණික්හාමි ඔහුට කම්මුල් පහරක් ගසන දර්ශනයක් තිබිණි. ඔවුන් සිටියේ තෙල්වත්ත තොටුපලේ ඔරුවකය. ඔරුව පදින ලද්දේ දයා තෙන්නකෝන් විසිනි.

“උක්කුවා කැරකිලා වැටෙන විදියෙ සැර පාරක් ගහන්න ඕන..” දර්ශනය අරඹන්නට පෙර ධම්ම ජාගොඩ උපදෙස් දුන්නේය.

“හරි..”

එසේ කීවත් රෝහණ බැද්දගේ ගැසුවේ නොරිදෙන පහරවල්ය. කම්මුල් පහරවල් හතරක්ම කන්නට උක්කුවාට සිදු වූයේය. එහෙත් අධ්‍යක්ෂවරයා සෑහීමකට පත් වුණේ නැත.  

“මාත් එක්ක එක කාමරේ ඉන්න එකාට කොහොමද රිදෙන්න ගහන්නෙ..?”

අධ්‍යක්ෂවරයා බැණ වැදුණ විට රෝහණ බැද්දගේ කීවේය.  ධම්ම රූගත කිරීම මඳ වේලාවකට නැවැත්වූයේය. ඉන්පසුව රෝහණ ළඟට ගොස් ඔහු පැලඳගෙන සිටින මුද්ද ඉල්ලා සිය ඇඟිල්ලේ පැලඳ ගත්තේය. කැමරා ශිල්පියා වූ සුදත් විජේසේකර ළඟට ගොස් රහසින් යමක් කතා කළ ඔහු ආපසු එන විට අනුර සිටියේ ඔරු කඳ මත වාඩි වීගෙනය. කුමක් සිදු වීදැයි සිතන්නටත් පෙරම ඔහුගේ මුහුණට ධම්මගේ අතින් හෙණ සැරයක් බඳු පහරක් වැදිණි. ඔහු කැරකී ගොස් වතුරට වැටුණේය. අතේත් මුහුණේත් සමීප දර්ශනයක් ලෙස එය ටෙලි නාට්‍යයේ පිළිබිඹු වුණත් ඒ පහරින් ලද කම්පනය  ඒ දර්ශනය සිහිපත් වෙන වාරයක් පාසා අදටත් දැනෙන බැව් අනුර කියන්නේය.

“ඒ කාලේ අද වගේ පහසුකම් තිබුණෙ නෑ.. එකම කැමරාවෙන් විවිධ කෝණවලින් තමයි දර්ශනයක් රූගත කෙරුණේ.. කෙසෙල් ගෙඩියක්  කන දර්ශනයක් වෙනුවෙන් මට කෙසෙල් ගෙඩි විස්සක් විතර කන්න සිද්ද වුණා.. සමහර දර්ශන වෙනුවෙන් බීඩි මිටියක් විතර බිව්වා.. දවසකට දර්ශන පහ හයකට වැඩිය කෙරෙන්නෙ නෑ.. ඒත් ඒක හරිම ආස්වාදජනක කාලයක්.. මේ නාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරු විදියට කටයුතු කළේ දයාරත්න රටගෙදරයි, සුදත් සේනාරත්නයි.. නළුනිළියන් භාර වුණේ රට ගෙදරට.. සැපයීම් අංශය භාර වෙලා හිටියෙ සුදත්.. එයා හැමදාම උදේ ලෙල්ලමට ගිහින් තලපත් මාළු ගේනවා කණ්ඩායමේ කෑම වෙනුවෙන්.. අන්තිමට තලපතා කියලා නමකුත් හැදුණා..” ඔහු කීවේ සිනාසෙමිනි.

නාට්‍යයේ කොටස් දහසයක් තිබිණි. කොටස් දහයක් රූගත කිරීමෙන් පසුව ඔවුහු කොළඹ පැමිණියහ. ඒ වන විට එහි විකාශය ඇරඹී තිබු අතර නළුනිළියන්ට හිමි වූයේ ඉහළ ජනප්‍රසාදයකි.

“දවසක් මම ලේක්හවුස් එක ළඟ ඉඳලා නුගේගොඩ යන්න 138 බස් එකක නැංගා.. බස් එකේ එච්චර සෙනඟ හිටියෙ නෑ.. මගෙ ළඟ මැදි වියේ පිරිමි කෙනෙක් වාඩි වුණා.. මගෙ දිහා හොඳට බලලා ඇහැව්වා ආ.. තමුසෙ නේද අර කේළම් කියලා පවුල් කඩාකප්පල් කරන කාලකණ්ණියා කියලා.. බස් එකේ හැමෝම මගෙ දිහා බැලුවා.. ලැජ්ජාවට මම ජනේලෙන් එළිය බලා ගත්තා.. ඒත් අර මනුස්සයා නැවැත්තුවේ නෑ.. ඊටපස්සෙ මම කිව්වා ඒක ටෙලි නාට්‍යයක කරන රඟ පෑමක්නෙ අන්කල් කියලා.. රඟ පෑමට වුණත් වැරදි දේ වැරදිම තමයි අයිසෙ.. කියකියා බනින්න පටන් ගත්තම මම කිරුළපනෙන් බැහැලා වෙන බස් එකක ගියා..”

එවන් සුන්දර අකරතැබ්බවලට ද මුහුණ දෙන්නට ඔහුට සිදු වූයේ ඒ ජනප්‍රියත්වය නිසාය.

පුවත්පත් කලාවේදියෙකු ලෙස කාර්යබහුල රැකියාවක නිරත වුවත් අනුර බණ්ඩාර රාජගුරු සිය රංගන ජීවිතයත් වෘත්තීය ජීවිතයත් සමබරව පවත්වා ගන්නට වගබලා ගත්තේය. මේ දිනවල රාග සහ සිත නිදි නෑ ටෙලි නාට්‍ය තුළින් ඔහු දකින්නට රසිකයන්ට හැකියාව ඇත.

චන්දි කොඩිකාර