නුවරඑළියේ සුද්දන් ගොඩනැගිලි හැදූ ඉංජිනේරු කාර්යාලය


ඉතිහාසයෙන් පිටුවක්

ඉංග්‍රීසි ඉංජිනේරුවරයාගේ කාර්යාලය 

 

ඇන්ග්ලිකන් පල්ලිය 

 

ඉංජිනේරු කාර්යාල ගොඩනැගිලිවල උලුවහු තුළ සටහන් කළ නාම පුවරු 

 

 

 

ඉංග්‍රීසින් විසින් මෙරට පුංචි එංගලන්තය ලෙස නම් කර ඉදිකළ නුවරඑළිය නගරයට අවුරුදු 190 ක් සපිරුණු බව අපි අභිමානයෙන් යුතුව ඉකුත්දා සටහනක් තබා රටට කියා සිටියෙමු. 


බ්‍රිතාන්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව ඉතා ක්‍රමානුකූලව විධිමත් අයුරින් තමන්ට අවශ්‍ය වූ ගොඩනැගිලි ඉදිකිරීමට එදවස ඉංග්‍රීසීහු වගබලා ගත් බව මීට වසර 30– 40 කට පෙර නුවඑළිය පිළිබඳ මතකයක් ඇති අයගේ මනස් තුළ ඒ සොඳුරු පුංචි නුවරඑළියේ හැඩරුව නිරූපණය වනු නොඅනුමානය. 

 

නගරයේ මැද විද්‍යමානවූ ලීයෙන් තැනූ දෙමහල් පුරහල ඊට කදිම නිදර්ශනයකි. අද දවසේ නුවරඑළිය නගරයට සේන්දුවන ඕනෑම කෙනෙකුගේ ​ෙනත සිත වසඟ කරන දර්ශනීය තැපැල්හල නුවරඑළිය සලකුණ බඳුය. 
1828 වසරේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා නිවාඩු නිකේතනයක් ලෙස ඇරඹු නුවඑළිය තුළ මුල් කාලයේ ඔවුන්ගේ නිවාස වරිච්චි බිත්තිවලින් ගොඩනගා ටකරන්වලින් වහළවල් සකසා ඊට ඉහළින් මානකොළ අතුරා සීතල වළකා ගත් බව තොරතුරු කියැවේ. එසේ සෑදූ නිවෙස් ඇතුළත සීතලගතිය පහව යාමට කණු උඩ සවිකළ ලෑලි යොදාගෙන තිබුණද එදා නුවරඑළියේ ඉදිකළ ප්‍රාථමික ගොඩනැගිලිවලට මානාකොළ කැපූ ප්‍රදේශය අද සදතැන්න නොහොත් මුන්ප්ලේන්ස් ලෙස භාවිතා කරන ගම්මානයයි. 

 

ඉංජිනේරු කාර්යාලයේ ඉපැරණි යකඩ සේප්පුව 

 


කෙසේ වුවත් 1848 වසරේදී නුවඑළිය ගොවිපළක් ආරම්භ කළ සර් සැමුවෙල් බේකර්ගේ ආගමනයෙන් පසු වරිච්චි බිත්තිවලින් සැකසූ ගොඩනැගිලි යම් තරමක් දියුණු තත්ත්වයකට පත්කරමින් ඉංග්‍රීසින් තම නිවාස ඉදිකිරීමට කටයුතු කර ඇත. ඒ අතර ඩබ්ලිව්. ඩෙල්ප් ජෝන්මොරිස්, සිහොව්, ටීලෝසන්, ටී. මැන්කොර්මින්, යන අය තම නිවාසවලට වැඩි අගයක් දී ක්‍රියාකළ පුද්ගලයන් වුණි. ඔහු නුවරඑළිය ස්ථීර පදිංචිකරුවන් නිසාය. 
ක්‍රමාණුකූලව නුවරඑළිය නිවාස නිකේතනයකින් බැහැරව කුඩා නගරයකට අවශ්‍ය පොදු ගොඩනැගිලි ඉදිකිරීමට ඉංග්‍රීසි පාලකයින් කටයුතු කර ඇත. ඒ සමඟ නුවරඑළිය නගරයට අවශ්‍ය උපාංග නිර්මාණය කිරීමට ඔවුහු කටයුතු කළහ. ඉතිහාස තොරතුරු මත 1873 වසරේදී තුරග තරග පිටිය නිර්මාණය කිරීම 1874 වසරේදී ග්‍රෙගරි වැව නිර්මාණය කිරීම එදවස බාන්ස් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස ලෙස භාවිතා කළ නිවාස 1883 දී ග්‍රෑන්ඞ් හෝටලය නම් සුවිශේෂී ගොඩනැගිල්ල නිර්මාණය කිරීමද සුවිශේෂී සිද්ධියකි. 1883 දී මධ්‍යම වෙළෙඳපොළ ඉදිකිරීම, 1885 දී බැරක් ප්ලෙන් වැව නිර්මාණය කිරීම 1889 නුවරඑළිය ගෝල්ෆ් ක්‍රීඩාංගනය නිර්මාණය කිරීම 1893 දී නුවරඑළිය රැජින නිවාසය (ජනපති මන්දිරය) අද 1894 ලෝක ප්‍රසිද්ධ නුවරඑළිය තැපැල්හල ඉදිකිරීම් 1885 බේකර් වාට්ටුව ඉදිකිරීම 1897 වික්ටෝරියා උද්‍යානය ඉදිකිරීම සුවිශේෂී නිර්මාණයන් වේ. ඒ හැර ඉංග්‍රීසි ජාතිකයින් ඉදිකළ සුවිශේෂ වූ බ්‍රිතාන්‍ය ගෘහනිර්මාණ ශිල්පය ක්‍රමයට ගොඩනැගිලි සමූහයක් අද නුවරඑළිය තැන තැන දැකගත හැක. 


ඒත් සමගම ඉංග්‍රීසි ජාතිකයින් ආගමික කටයුතු සඳහා 1833 ඉදිකිරීම අරඹා 1852 පෙබරවාරි මස විවෘත කළ එංගලන්ත සභාවට අයත් දේවස්ථානය ඉංග්‍රීසිහු ඉදිකළ ප්‍රධාන ගොඩනැගිල්ලක් වේ. 


අවුරුදු 190 ක් සපිරෙන නුවරඑළිය නගරයේ අද දිස්වන සුවිශේෂ ගොඩනැගිලි අති බහුතරය 1880 – 1900 දක්වා කාලයේ නිර්මාණය කළ ඒවා වේ. ඒ ගොඩනැගිලි වැව් මාර්ග ඇතුළු අනෙකුත් අංග නිර්මාණය කිරීමට ඉංජිනේරු සහාය ලබාගැනීම සඳහා ඉංග්‍රීසිහු පැරණි හමුදා කදවුරකට ආසන්න කාර්යාලයක් ගොඩනගා ගත්හ. ඒ ඉංජිනේරු කාර්යයන් සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් ආරක්ෂා කර ගැනුමට 1887 දී ඉංග්‍රීසිහු ආරක්ෂිත ගොඩනැගිල්ලක් ඒ කාර්යාල අංගනයේම ඉදි කළහ. අද ද එය අප කාටත් දැකගත හැකි ගොඩනැගිල්ලකි. 

 

නුවරඑළිය ප්‍රසිද්ධ තැපැල්හල 

 


මෙම ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරුතැනගේ කාර්යාලය ඉතා කුඩා ගොඩනැගිල්ලක තිබුණු අතර එහි බිත්ති වරිච්චි බිත්තිවලින් සැකසූ එකකි. ඒ මත බදාම ගසා සකස්කර තිබෙන එකක් වේ. ඉංජිනේරු කාර්යාලය නමින් දොරේ උලුවස්ස තුළ ලී කැටයමින් ඉංග්‍රීසීන් සටහන් කර ඇති අකුරුවැල අද දකින්න පිළිවන. ඒත් සමගම ලේකම්වරයාගේ කාර්යාලය මෝටර් රථ ගරාජය අශ්වගාල හා දැව ගබඩාවද ලීයෙන් අකුරු කර තිබීමද විශේෂ සිද්ධියකි. එදවස භාවිත කළ මෙම ඉංජිනේරු කාර්යාලයේ මුදල් සේප්පුවද අද දකින්න පිළිවන. සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ඇරඹූ නුවරඑළිය (පුංචි එංගලන්තය) නිර්මාණය කිරීමට දායක වූවන් අතර සර් හෙන්ඩ්රි ග්‍රෙගරි, සර් හැමිල්ටන් ගෝල්ඩන්, සර් ආතර් හැව්ලොක්, සර් වෙස්ට් රිජ්වේ, සර් විලියම් නොර්ටන්, ටොරින්ටන් සාමි යන ආණ්ඩුකාරවරුන් මහත්සේ දායකවී ඇත. එයින් සර් හැමිල්ටන් ගෝල්ඩන්, සර් ආතර් හැව්ලොක් යන ආණ්ඩුකාරවරු විශේෂ තැනක් ගනිති. ඔවුන් මෙම ඉංජිනේරු කාර්යාලය මැනවින් ප්‍රයෝජනයට ගත්බව නුවරඑළිය දෙස බලන කල මනාව දිස්වන කරුණකි. 


එදා ඉංග්‍රීසින්ගේ රජයේ ඉංජිනේරු කාර්යාලය පසු කාලයේදී රජයේ වැඩ දෙපාර්තමේන්තුව කාර්යාලය බවට පත්විය. ඉන්පසු එය මහාමාර්ග කාර්යාලය ලෙස ද කාලයක් භාවිත කරන ලදී. අද එම කාර්යාලය ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයට මහත් මෙහෙවරක් කරන රජයේ කාර්යාලයකි. 

 

 


ඡායාරූප හා සටහන 


නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි