නුවන් ලියනගේට වත් ආයෙත් ‘පත්තර මල්ලි’ මුණගැසෙන්නේ නෑ


පත්තර මල්ලි හෙවත් නුවන් ලියනගේ පිළිබඳව හඳුන්වාදීමට අටුවා ටීකා ඕනැවටත් වඩා අවශ්‍ය නොවන්නේ බාල. මහලු, තරුණ, වැඩිහිටි හදවත් තුළ අද දවසේද ඒ නාමය සදා රැඳී ඇති බැවිණි. මේ ඔහු ගුවන්‍ විදුලි මාධ්‍යයට නව අරුතක් එක් කරමින් වසර විසිහතක් පුරා ජීවය දුන් පත්තර මල්ලීට සමුදීමට සැරසෙන මොහොතයි.

ප්‍ර පත්තර මල්ලි ආරම්භය සිදුවන්නේ මීට වසර 27කට පමණ පෙර.ඒ අතීතය සිහිපත් කරමින් මේ කතාබහ ආරම්භ කරමු

මම මාධ්‍ය ක්ෂේත්‍රයට මුලින්ම එකතු වෙන්න රේඩියෝ වෙරිටාස් ලංකාවේ කොළඹ වාර්තාකරුවකු ලෙස.ඒ 1994 වසරෙදි. ඊට පසුව හරියටම 1998 ජූලි මාසෙ පළමු දා හිරු එෆ්. එම් නාළිකාව පටන්ගන්නවා. එතැනදි එහි වැඩසටහන් කළමනාකාරිනියක ලෙස කටයුතු කළ තමාලි පීරිස් තමයි මෙහෙම දෙයක් කරමු කියලා අදහසක් දුන්නෙ. මමත් ඒ වෙලාවෙ මෙහෙම කරමු කියලා නිදර්ශන ඉදිරිපත් කළා. ඒක තමයි මේ තරම් දුර ආවෙ. ඇත්තටම මම පත්තර මල්ලි චරිතය ගොඩනඟන්න භාවිත කළේ ඉස්සර අපේ ගම්වල නිතර දෙවෙලේ දැකපු කවි කොළය. මොකද කවි කොළයේ තිබෙන කවිවලින් හොඳම ටිකනෙ මිනිස්සුන්ට ඇහෙන්න කියන්නේ.

ප්‍ර ඒ චරිතය ගොඩනඟන්න ඔබේ ජීවිතය තුළ ලද අත්දැකීම් පවා ඉවහල් වෙන්න ඇති

ඇත්තටම ඔව්. අපිට අපේ ගම්වල උදේට බසිසිකලේ පත්තර මිටිය බැඳගෙන ගම වටේම යන පත්තර බෙදන්නා අමතක කරන්න බැහැනෙ. මට මතකයි ඉස්සර අපේ ගෙදරට පත්තරේ අරන් ආවම අපේ තාත්තා අහනවා අද මොනවද තියෙන්නෙ කියලා. ඒ මනුස්සයත් ඉතින් කියනවා පත්තරේ තියෙන ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තලය. මට මතකයි මතුගම සමන් කුමාර සිද්ධිය වුණු කාලෙ පත්තරවල දිගටම ඒ ගැන ගියානෙ. අපේ තාත්තා අද මොනවද තියෙන්නෙ කියලා ඇහුවාම දවසක් කියනවා අදත්‍් මතුගම සමන් කුමාරම තමයි මහත්තයා කියලා. ඒ දේවල්වල මතකයත් එක්ක තමයි පත්තර මල්ලි කියන චරිතය ගොඩනැගුණෙ.අවුරුදු 27 ක් තරම් දිගු කාලයක් ආවෙ ඒ විදියට.

ගුවන් විදුලිය , රූපවාහිනිය ඔස්සේ පුවත්පත් සිරස්තල පමණක් කියවා ඇරඹූ වැඩසටහන් කාලයක් සමග පුවත්පත් කර්මාන්තයේ යම් කඩාවැටිමකටත් හේතු කාරණාවක් වුණා. මේ කාරණාවට ‌ඔබ ඇතුළු සෙසු පාර්ශ්වයන්ට එල්ලවන චෝදනාව බරපතළයි.

මට අද වනතුරු කිසිම පුවත්පත් කතුවරයෙකුගෙන් එවැනි චෝදනාවක් ඇවිත් නැහැ. හැබැයි මේ කාරණාවෙ අඳුරු සේයා මම මුලින්ම දැක්කා. විශේෂයෙන් ටෙලිවිෂන් මාධ්‍යයේ පුවත්පත් කියවන්න ගන්නකොට. ලෝකයේ බොහෝ රටවල පත්තර සිරස්තල වැඩසටහන් තියෙනවා. ජාත්‍යන්තර නාළිකාවල පවා තිබෙනවා. ඒ මොනවා වුණත් සදාචාරාත්මක භාවිතය කියලා එකක් තියෙනවානෙ. මම එ්කට අනුගත වෙලා තමයි හැම වෙලාවෙම කටයුතු කළේ. මොනම වෙලාවකවත් සම්පූර්ණ ප්‍රවෘත්තිය කියෙව්වෙ නැහැ. ප්‍රවෘත්තිය අයිති ආයතනයේ කර්තෘ අයිතිය හැමවෙලාව ම තැබුවා. මංකොල්ල කෑවෙ නැහැ. ප්‍රවෘත්තිය වාර්තා කරන්න මාධ්‍යවේදියා කරන කැපවීම මම උදුරාගත්තෙ නැහැ. සිරස්තලය පමණයි කියෙව්වෙ. ඊට පස්සෙ පටන්ගත්ත අයියලා මල්ලිලා තමයි සම්පූර්ණ ප්‍රවෘත්තියම කියන්න ගත්තෙ. මම චෝදනාව එන්න කලින්ම පුවත්පත් කතුවරුන්ට කියුවා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා.

ප්‍ර මිනිසුන්ගෙන් ඈත්වන්නට ගිය රේඩියෝ මාධ්‍යය ට අලුත් කලාවක්‍් හඳුන්වාදී ලැබුණු ප්‍රතිචාර අප්‍රමාණයි. ඒ මතක නැවතත් මතක් කරමු.

මිනිස්සු වැලඳගත්තා පුදුම විදියට. ඒ තරම් සතුටක් තවත් නෑ. සමහර මිනිස්සු උදේ වැඩට යන්න පරක්කු වෙලා රතු ඉර වැදුණු එක පොටෝකොපි ගහලා මට එව්වා ‘මල්ලි අපේ රස්සාව නැතිකරන්න එපා කියලා’. මොකද අපිටත් සමහර වෙලාවට වැඩසටහන පටන්ගන්න පරක්කු වෙන අවස්ථා තියෙනවානෙ.

සමහර වෙලාවට මම වැඩසටහන පටිගත කරලා පිටකොටුවෙ බෝ ගහ යටට ගිහින් බලන් හිටිය වෙලාවල් තියෙනවා. මොකද එතැන තියෙන ලොතරැයි කුඩුවල පත්තර මල්ලි දාලා තියෙනවානෙ. රේඩියෝ එකේ බයිසිකල් සීනුවෙ සද්දෙ එක ඇහුණු හැටියේ මිනිස්සු එතැනට එකතු වෙන හැටි මම ඇස් දෙකෙන්ම දැකලා විඳලා තියෙනවා.ඒක හරි ආශ්වාදජනක මතකයක්. මොකද මිනිස්සු මාව අඳුරන්නෙ නැහැනෙ. මම ඉස්සර මේක විඳින්න ඕන වුණාම වැඩසටහන රෙකෝඩින් කරලා පිටකොටුවට ගිහින් බලන් ඉන්නවා. සමහර මිනිස්සු කහ ඉර පැනලා රේඩියෝ එක ඇහෙන පැත්තට එනවා දැකලා තියෙනවා. ඇත්තටම ඒවා තමයි ජිවිතයට ලැබුණු අමතක කරන්නම බැරි ආශීර්වාද.

ප්‍ර දවසින් දවස බිහිවන අද දවසේ නිවේදක පරපුර පිළිබඳව අපේ රටේ බොහෝදෙනකු අතර පවතින මතය සුබවාදී නෑ.ප්‍රවීණ නිවේදකයකු ලෙස ඔබ මේ කාරණාව දකින්නේ කොහොමද?

ඇත්තටම රේඩියෝ සංනිවේදක පරපුර ගත්තම අපේ කාලෙ තමයි පට්ට, දැන් අවුල් කියන තැන මම නැහැ. මොකද එහෙම වුණානම් අපිත් බිහිවෙන්නෙ නැහැනෙ. හැබැයි මොකක්හරි සන්තෑසියක් නම් වෙලා තියෙනවා කියලා පේනවා.

එදා අපට මතක නිවේදකයො අතරේ කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත්‍රිපාල යුගය අවසන් වෙනකොට ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංගලා වැනි ප්‍රවිණයො අපේ මතකයට එනවා. ඊට පසු දශකයක්වත් ගෙවෙන්න කලින් සමන් අතාවුදහෙට්ටිලා, චන්දන තිලකරක්න, වසන්ත රෝහණ, ජයන්ත රෝහණ, කුසුම් පීරිස්ලා එනවා. ඒ කාලය ඉවර වෙනවත් එක්ක විපුල ධර්මප්‍රිය ජයසේකරලා වැනි අය ආවා. ඊට පසුව අවුරුදු දෙක තුනක් යනකොට අපේ පරම්පරාව එනවා.

කිංස්ලි, අරවින්ද, සුදේව, නිහාල්, තමාලි , මම වගේ අය තමයි ඒ. නමුත් අපි අද කතා කරනවා අපෙන් පස්සෙ කවුද බැට්න් එක ගන්නේ කියලා.

නිවේදකයො බිහිවුණා. හැබැයි නම් විතරයි. බොහෝදෙනා රේඩියෝ මාධ්‍යය ගැන අහන්නෙ තාමත් අපෙන්. අපි ඇවිල්ලත් දැන් අවුරුදු තිහත් පැනලා. අපිත් මේ කාරණාවට වගකිවයුතු ද කියන තැන මම ඉන්නවා. ඇත්තටම අපෙන් බැට්න් එක අරන් යන්න ඉන්න පිරිස අඩුයි.ඉන්න අය නම්වලින් දන්නවා. නම විතරයි. සන්නාමයක් නැහැ. ඒක ලොකු බරපතළ කාරණාවක්. මේක අපේ රටේ බොහෝ ක්ෂේත්‍රයක් ඇතුළෙම දකින්න ලැබෙනවා.

ගුවන් විදුලියත් එක්ක ම මතුවූ ගීත රචකයා අද කොහේද?

තාම ඉන්නවා. තාමත් ගීත ලියනවා. මේ දවස්වල සාරංග මෙන්ඩිස්ගෙ අලුත්ම චිත්‍රපටයට ගීතයක් ලියමින් ඉන්නෙ.

ඇත්තටම සන්තාන සුසුම් ගීතය ජනප්‍රිය වුණම ලංකාවෙ සියලුම විශ්වවිද්‍යාලවලින් කතාකරලා සිංදුවක් ලියලා ඉල්ලුවා. යාපනෙන් විතරයි ඉල්ලුවෙ නැත්තෙ. හැබැයි මම එ් එකක්වත් බාරගත්තෙ නෑ. ඒ වුණත් ඌව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පටන්ගත්ත වෙලාවෙ ඒ පීඨය වෙනුවෙන් තේමා ගීතයත් ලියා දෙන්න කියා පීඨාධිපතිවරයා සහ ශිෂ්‍යයන් පිරිසක් ඉල්ලීමක් කළා. ඒක බාරගත්තෙ පීඨයේ ගීතය නිසා. මොකද අපි මැරුණත් එතැනින් එළියට එන දොස්තරලා ඒක ගයනවනෙ. ඒ පරමාර්ථයෙන් තමයි ඒක බාරගත්තෙ. ඒ වගේම තමයි එහෙම ගීතයක් ලියන එකත් භාග්‍යයක්නෙ. ඒ ගීතය සංගීතවත් කළේ තිළිණ රුහුණගේ.

තවත් කාරණාවක් තමයි මම ‘සන්තාන සුසුම්’ ලියුවම ගොඩක් අය හිතුවා මගේ ප්‍රේමයක විරහ වේදනාවක් තමයි මේ කියලා. ඇත්තටම මම ඒක ලියුවෙ මට පේරාදෙණි සරසවියට යන්න බැරිවුණු හිතේ අමාරුවට. මොකද මම පේරාදෙණියට යන්න බොහොම කැමැත්තෙන් හිටියෙ. ඒත් මම තේරෙන්නෙ වෙනත් සරසවියකට. අන්තිමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා මම අඩාල කරගන්නවා. ඒ මට අහිමි වූ විශ්වවිද්‍යාලය ගැන තමයි ගීතයෙන් එළියට ආවෙ.

ප්‍ර ඇත්තටම ඇයි පත්තර මල්ලිට සමුදෙන්නෙ

පත්තර මල්ලි වැඩසටහන පටන් ගත්තට පස්සෙ ඉපදුණු අයත් මේ වෙද්දි අපිත් එක්ක වැඩ කරනවා. . මේ පරම්පරාව ඇත්තම කිව්වොත් වෙනස්. ඒ අය ස්පර්ශ කරන මානයන් වෙනස්. එ් දේවල් එක්ක හිතුණා නතර කරන්න. නවත්වනවා කිව්වමත් ලොකු කතාබහක් ආවා ඇයි නවත්වන්නේ කියලා. ඇතැම් අය එපා කිව්වා. දැන් ඇති කියලත් කිව්වා.මම හිතන්නේ අපි හැම දේම නතර කරන්න ඕන කන්ද මුදුනෙදී කියලා. බැහැගෙන යන කාලෙ නෙමෙයි. පත්තර මල්ලි අවුරුදු විසිපහ සංවත්සරයත් සියලු මාධ්‍ය මිතුරන් එක්ක සැමරුවනෙ. එදා ලංකාව ඉන්න සියලුම කාර්ටූන් ශිල්පීන් මාව ඇන්දා. ඒක මට සදානුස්මරණිය මතකයක්. එකත් එදත් කිව්වා මහන්සියි කියලා. මම මාධ්‍ය කලාවට ආවේ නමක් හදාගන්නවත්, සල්ලි උපයන්නවත් නෙමෙයි. එහෙමනම් වෙන රස්සාවක් කරනවානෙ. මට ඕනවුණේ මාධ්‍යය තුළින් රටට වැඩක් කරන්න. අපේ පාසල් සමය තුළ විරවරයො වූ විශිෂ්ට මාධ්‍යවේදීන් හිටියා.මට ඕන වුණේ ඒ වගේ මාධ්‍යවේදියෙක් වෙලා මිනිසුන්ට සේවය කරන්න. ඒ නිසයි මේ ක්ෂේත්‍රයට එන්නේ.

පත්තර මල්ලි හරහා කරන්නත් උත්සාහ කරේ එ්ක මේක නතර කළා කියලා මගේ කාර්යභාරය නවතින්නේ නැහැ.

ප්‍ර අනාගතය මොන විදියට සැලසුම් වෙනවාද?

පත්තර මල්ලි නතරවුණාම අලුත් වැඩසටහනක් එනවා. මමත් අලුත්‍ වැඩසටහනට දායකත්වය දෙනවා. පත්තර මල්ලි පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. නුවන් ලියනගේටවත් කවදාවත් ආයෙ පත්තර මල්ලි මුණගැහෙන්නෙ නෑ.

ප්‍ර ඇත්තටම හිතට දුකක් නැද්ද?

අනේ මන්දා. නතරකරනවා කියලා තීරණය කරද්දි මොනවත් හිතුණෙ නෑ. දැන්නම් අමු වෙරළු කැවා වගේ. මොකද බොහෝ අය වරින්වර කතා කරනවනෙ.

සුජිත් ප්‍රසංග