අද ශ්‍රී ලංකාවේ ද නිවාස ඉදිකිරීමේ දී තනි මහල් නිවාස ඉදිකිරීමට වඩා දෙමහල්, තෙමහල් නිවාස ඉදිකිරීම වැඩි වී ඇත. අතීතයේ මෙන් නොව වර්තමානයේ සීමිත ඉඩකඩ තුළින් උපරිම ප්‍රයෝජන ගැනීමට මහල් නිවෙසක් ඉදිකිරීම සුදුසු වේ. නමුත් එසේ ඉදිකරන නිවෙසේ තරප්පු පෙළ පිළිබඳව ද සැලකිල්ල දැක් විය යුතුය. ඒ සඳහා වාස්තු විද්‍යානුකූලව කටයුතු කිරීමෙන් ඔබගේ නිවෙස සිරි නිවෙසක් කළ හැකිය.
ගොඩනැගිල්ලක තරප්පුව (Staircase) ඉදිකිරීමේ දී නිවසේ බ්‍රහ්ම පාදය හෝ ඊසාන දිශාව පීඩාවට පත් නොවිය යුතුමය. මෙම කොටස් දෙක හැර අනෙක් ඕනෑම කොටසක් භාවිතයට ගත හැකිය. යම් නිවෙසක ඊසාන හෝ බ්‍රහ්ම හෝ පාදය පීඩා වන ආකාරයට පඩිපෙළ තැනීමෙන් ධන හානි මෙන්ම අධික ණය බර ඇති වීමට ඉඩ ඇත.
යම් නිවෙසක පිටගැටපෙළ උතුර හෝ නැගෙනහිර දිශාවෙන් ආරම්භ කිරීම වඩාත් සුදුසුය. එම පඩිපෙළෙහි අවසන් පඩිය දකුණු දෙසට හෝ බටහිර දෙසට පිහිටීම ඉතා සුබය. නමුත් පඩිපෙළ උතුර, නැගෙනහිර බිත්තිවලට සම්බන්ධව සකස් කිරීම නොකළ යුත්තකි. පඩිපෙළ හා බිත්ති අතර අඩු තරමින් අඟල් 3ක පරතරයක් පිහිටීම අවශ්‍යයි.

යම් ගොඩනැගිල්ලක නිවෙසක උතුර හෝ නැගෙනහිර හෝ දිශාවට මුහුණලා බැසීමට හැකි ආකාරයට තරප්පුව නිර්මාණය කරගත හැකි නම් එම නිවෙසේ නිවැසියන්ගේ සියලු කටයුතු සාර්ථකව වනු ඇත. තරප්පුවක් නිර්මාණය කිරීමේ දී සැලකිය යුතු තවත් කරුණක් නම් තරප්පුව දෙපස කෙළවර වැසීමට හැකි ආකාරයට දොරටු දෙකක් තැබීමයි. මෙම දොරටු දෙක උතුරට, නැගෙනහිරට මුහුණලා සිටින ලෙස සකස් විය යුතුය. එම දොරටු තුළින් ද ඉහළ කෙළවරෙහි දොරටුව පහළ පිහිටි දොරටුවට වඩා අඟල් කිහිපයක් කුඩා වීම සුදුසුය.
යම් නිවෙසක පඩිපෙල කවාකාරව යොදන අවස්ථා දක්නට ලැබේ. කෙසේ පඩි පෙළ නිර්මාණය කළ ද එය දක්ෂිණාවර්තව සකස් කළ යුතුය. එනම් නැගෙනහිර සිට දකුණු දෙසට හෝ දකුණ සිට බටහිරට හෝ බටහිර සිට උතුරට හෝ උතුර සිට නැගෙනහිරට වන ලෙසය.
ගොඩනැගිල්ලක ඉහළට සහ පොළොවෙන් පහළට පිවිසීමට තරප්පු පේළි 2ක් ඇත්නම් ඒවා වෙන් වෙන්ව ඉදිකළ යුතුය. මෙය පොළොව යට බිම් මහළක් ඇති ගොඩනැගිලි සඳහා අදාළ වේ.
තරප්පු පෙළ නිවෙසක ගොඩනැගිල්ලක ඉදිරිපස මැද කොටසේ නොවිය යුතුය. එසේම පඩිපෙළ ප්‍රධාන දොරටුව ඉදිරිපිට හෝ ප්‍රධාන දොරටුව හරහා යන ලෙස නොවිය යුතුය.
බොහෝ නිවාස තුළ පඩිපෙළ යට ඉඩ ප්‍රමාණය තුළ ආගමික කටයුතු සඳහා හෝ මුදල් සේප්පු, ඔරලෝසු, මංගල ඡායාරූප හෝ පොත් රාක්ක ආදියට භාවිත කරයි. එය නොකළ යුතු වේ. එය කිසිදු දෙයකට ප්‍රයෝජනයට නොගත යුතුය. තරප්පු පෙළක පඩිපෙල ඉරට්ටේ සංඛ්‍යාවක් වීම වඩාත්ම සුදුසුය.
නිවෙසක පියගැටපෙළ පරිහරණය කරන විට දී එතැනින් හඬක් නැගේ නම් එය අශූභ බව දත යුතුය. මෙම තත්ත්වය බොහෝ විට යකඩ හෝ ලී ආශ්‍රිත තරප්පු තුළ දක්නට ලැබේ. එය වළක්වා ගැනීමට අදාළ පිළියම් කළ යුතුය.
නිවෙසක පියගැටපෙළ නැග එක්වරම නිවෙස තුළට ෙහා් කාමර තුළට හෝ ඇතුල්වන ලෙස පිහිටීම නිවැසියන්ට අභාග්‍ය ගෙන දේ. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට අසුබ පල දේ. යම් ලෙසකින් නිෙවසේ තරප්පුව තුළ දෝෂයක් ඇත්නම් එය වාස්තු විද්‍යාව දන්නා අයෙකු ලවා නිවැරැදි කර ගත හැකිය. අප දැක ඇති ආකාරයට නිවාස තුළ ඇති මෙම සුළු සුළු ගැටලු නිරාකරණය කිරීමට ගොස් ගේ දොර කඩා බිඳ දමා විශාල ලෙස හානි සිදු කර ඇති අවස්ථා බොහෝය. නිවෙසක යම් ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කිරීමට වාස්තු විද්‍යානුකූල ක්‍රම අනුගමනය කළ යුතුය. යමෙකුට නිවෙස තුළ යම් දෝෂයක් ඇත්නම් එහි ඵලවිපාක තමාට අශු කාල සීමාව තුළ බලපානු ලබන අතර, සමහර විට තම නිවෙස, ජීවිතය, දූ දරුවන් පවා අහිමිවී යාමට ඉඩ ඇත. බොහෝ නිවාස තුළ ආාර්ථික ගැටලු, අඹු සැමි ගැටලු, දරුවන්ගේ ගැටලුවලට මෙම තත්ත්වය මතු වී ඇත.
ජ්‍යොතිෂවේදී ග්‍රන්ථ කර්තෘ
ඩී.එම්. නිලන්ත කුමාර ධනසේකර
අංක 381, ගාලු පාර, වාද්දුව. (පල්ලිය ඉදිරිපිට)