නිවසේ බ්‍රහ්ම පාදයට හානිවුණොත් අකල් මරණ


මහා පොළොව මහා බ්‍රහ්මයා විසින් මවන ලද බව හින්දු දේව කථා වලින් පැහැදිලි කර ඇත. එනිසා නිවසක් ඉදිකරන විට. ව්‍යාපාරික ස්ථානයක්, විහාරගෙයක්, දේවාලයක් හෝ කුමන දෙයක් වේවා එම ස්ථානයේ හරි මැද බ්‍රහ්ම පාදය නම් වේ. බ්‍රහ්ම පාදයේ මහපොළොවේ නිදා සිටින වාස්තු පුරුෂයාගේ හෘදය පිහිටා ඇත. බ්‍රහ්ම පාදයට හානි වන සේ නිවසක් ඉදිකළොත් ගෘහාධිපතිට පතිනියට හා දරුවන් සැමදෙනාටම බලගතු දෝෂ සහිත වේ. අපලද ගෙන දේ.   


නිවසක භූමියක බ්‍රහ්ම පාදය සොයාගැනීමේ සරල ක්‍රමය වන්නේ අත්තිවාරමේ කොන් හතරේ ඇති මුළුවල සිට අනිත් මුල්ලට කතිරයක් ලෙස වැටෙන ලෙස නූල් ඇදීමෙන් පසු කතිරය වැටෙන හරි මැද බ්‍රහ්ම පාදයයි, ඉඩමේද බ්‍රහ්ම පාදය සොයාගන්නේ ඒ ලෙසටමයි.   


බ්‍රහ්ම පාදයේ හරහට බිත්ති ඉදිකිරීම, උළුවහු තැබීම වහලයේ කුරුපා බාල්ක වහලයේ ලීවල මුට්ටු යෙදීම. ඉහළ මාලයට නගින තරප්පු ඉදිකිරීම, පොකුණු, ළිං නාන කාමර, වැසිකිළි වළවල්, මුළුතැන්ගේ, නිදන කාමර සාලය මැද පයට පෑගී යන ස්ථාන ආදියෙන් ගෘහාධිපතිට පපුව ආශ්‍රිත හෘදය රෝග සුව නොවන රෝග ඔත්පළවීම් අවයව කපාදැමීමට සිදුවීම් අඹුසැමි ආරවුල් හා දෙදෙනා​ වෙන්වීම් දරුවන්ගේ විවාහ බාධා හරි හම්බ කරගන්නා ධන සම්පත් ගලාහැලෙන දියමෙන් විනාශවීම ආදී අපල හා අකල් මරණයෙන් පවා ජීවිතය විනාශ වේ. නිවසක බ්‍රහ්ම පාදය ප්‍රධාන මර්මස්ථානයයි. මරු සුළිය කියාද කියති. මේ ස්ථානය නිතර පිරිසිදුව තබාගත යුතුයි.   
විශේෂයෙන් බ්‍රහ්ම පාදයට පීඩාවීමෙන් ඇතිවන අශුභ පළවන්නේ නිවැසියන්ට නිතර රෝග වැලඳීම, මුදුන් යටලීය බ්‍රහ්මපාදය හරහා වැටී තිබුණොත් දරුණු මාරාන්තික රෝග වැලඳේ. ඒ හරහා බිත්ති ඉදිකර ඇත්නම් සතුරු කරදර නඩු හබ බන්ධනාගාර ගතවීම් රැකියා අහිමිවීම සාලය හරහා මෙය වැටී නිතරම පෑගී යන්නේ නම් ප්‍රේත හා අමනුෂ්‍ය අවතාර හා දෝෂ ඇති වේ. ශ්‍රියා කාන්තාවගේ බැල්ම නැතිවේ.   


නිදන කාමරයක් ඇතිවුවොත් අඹුසැමි ආරාවුල් ලිංග හා යෝනි අප්‍රාණිකවීම් රාග කාම හීනවීම දූදරුවන්ගේ විවාහ බාධා හා ස්ත්‍රි පුරුෂ පරදාර සේවනයට යොමුකිරීම් ඇති වේ. නාන කාමරයක් නම් ධනය නොලැබීම, තිබෙන ධනය විනාශ වී පහතට වැටීම හා නිවස විකුණා දැමීමට පාළුවට යාම පවා දෝෂ ඇතිකරයි. රැකියා නැති වේ. විවිධ ප්‍රශ්න ගැටලු ඇති වේ. වැසිකිළියක් තිබුණොත් මුළු පවුලටම විනාශය ගෙනදීම පමණක් නොව මරණයට පවා ගොදුරු වේ. විශේෂයෙන්ම සියදිවි හානි කරගැනීම එල්ලී මරුමුවට පත් වීම සතුරන්ගෙන් ජීවිත හානිවීම අනිසි බාල්ක හෝ උළුවහු ඇත්නම් හදිසි මරණ පවා ඇති වේ.   


මෙවැනි දෝෂ ඔබේ නිවසට බලපා ඇත්නම් එය නිසි ලෙස සකසාගන්න. එසේ නොහැකි නම් බ්‍රහ්ම පාදය වෙනස් වන ආකාරයට නිවසට තව කොටසක් එක්කර ගන්න. එය කේන්ද්‍රයන් බලා අය වැය බලා අයවන ලෙස සකසා ගන්න.   


නිවසේ බ්‍රහ්ම පාදය නැතිනම් මරුසුළිය සාලයේ නිතර පෑගී යන්නේ නම් එම ස්ථානයේ පිත්තල පහනක්, මල් පෝච්චියක්, ටීපෝවක් තබන්න. පෑගී නොයන ලෙස විශේෂයෙන් ඔබ නිවාස සැලසුමක් සැලසුම් ශිල්පියෙකුට ලවා ඇඳගන්නට පෙර ජ්‍යොතිෂ්‍ය හා වාස්තු විද්‍යා ගැන පූර්ණ දැනුමක් ඇති අයකුගේ උපදෙස් පතා සැලසුම ඇඳ ගැනීමෙන් ඔබට පසුකළ දුක්කරදර ඇති නොවේ. වෙනස් කිරීම්ද කිරීමට සිදු නොවේ. එනිසා බ්‍රහ්ම පාදය නැතිනම් මරු සුළිය ඉතා පිරිසිදුව නොපෑගෙන ලෙස හා හානි නොවන ලෙස සකසා ගන්න.   

 


ජ්‍යොතිෂ්‍ය විද්‍යාජෝති වාස්තු විද්‍යා උපදේශක   
ජිනදාස එදිරිසිංහ,   
පොලිසිය අසල,   
රඹුක්කන