නව වරක් පැවිදි වී නව වරක් සිවුරු හළ සද්ධා උත්පල කන්දගේ


ඔහුගේ මුහුණේ සහ ඉරියව්වල ඇති ශාන්ත, සන්සුන් ස්වභාවය නෙත ගැටුණ කල ඕනෑම කෙනෙකුගේ සිතේ ඇඳෙන්නේ සුපේශල ශික්ෂාකාමී භික්ෂුවකගේ පිළිබිඹුවය.  ඔහුගේ නම තුළිනුත් ගම්‍ය වන්නේ ශ්‍රද්ධාවමය. ටෙලි නාට්‍ය නිර්මාණකරුවන් රැසක් ඔහුට භික්ෂු චරිතවලට ආරාධනා කරන්නට ඇත්තේ එම නිසා විය යුතුය.

“මට භික්ෂු චරිත ලැබුණේ මොන හේතුව හින්ද ද කියන්න නම් දන්නෙ නෑ.. හැබැයි සිවුර  ඇඳ ගන්න එක හුඟක් පහසු වුණාට සිවුර දරාගෙන ඉන්න එක පහසු නෑ කියලා මට වැටහුණේ ඒ චරිත රඟ පෑවට පස්සෙ තමයි.. සිවුර දා ගත්තම හිතට මොකක්දෝ අමුතු බරක් දැනෙනවා.. මම මේ දාගෙන ඉන්නෙ බුද්ධ චීවරය නේද කියන හැඟීම දරා ගන්න අමාරුයි.. එහෙම වුණත් මම ටෙලි නාට්‍ය වෙනුවෙන් නව වරක් පැවිදි වුණා.. නව වරක් උපැවිදි වුණා..”

සද්ධා උත්පල කන්දගේ බොහෝ සන්සුන්ව පැවසුවේය. ඔහු භික්ෂු චරිතයකට මුලින්ම පණ පෙව්වේ සරත් ධර්මසිරිගේ සිසිර තරණය ටෙලි නාට්‍යයේය. 1999 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ එය සරත් ධර්මසිරි නිර්මාණය කළ පළමු ටෙලි නාට්‍යය වීමත්, සද්ධා රඟ පෑ පළමු මාලා නාට්‍යය වීමත් විශේෂත්වයකි.

“මම වේදිකා නාට්‍යවල, ඒකාංගික ටෙලි නාට්‍යවල රඟ පාලා තියෙනවා.. ඒත් කොටස් ගණනාවක් විකාශය වෙන එකක රඟ පාලා තිබුණෙ නෑ.. ඒ හින්දයි, භික්ෂු චරිතය හින්දයි මේක අලුත් අත්දැකීමක් වුණා.. මට රඟපාන්න තිබ්බේ කන්දක ගල් ගුහාවක වාසය කරන භික්ෂුවකගෙ චරිතය.. අපේ කලා අධ්‍යක්ෂ හාමුදුරු කෙනෙකුගෙන් අහගෙන ඇවිත් මට සිවුර ඇන්දුවා.. භික්ෂු චරිතය  කළුම කළු හින්දා මගෙ ඇඟේ සිවුරෙන් වැහුණෙ නැති කොටස කළු කළා..  බුලත් විට කාලා කට රතු කර ගත්තා... භික්ෂුව වෙදකම් කරනවා.. මිනිස්සු නොයෙකුත් රෝගවලට ප්‍රතිකාර ගන්න ගල්ගුහාවට එනවා..”

සිසිර තරණය කතාවට පදනම් වුණ තේමාව විස්තර කරමින් සද්ධා පැවසුවේය.  

එය රූගත කළේ පිළිකුත්තුව රජමහා විහාරය අසළ කඳු ගැටයේය. එය ඉතාමත් දුෂ්කර වුවත් සුන්දර අත්දැකීම් රැසක් තිළිණ කළ කාලයක් බැව් ඔහු කියන්නේය. ඔහුගේ විවාහ මංගල්‍යය පැවතියේත් නාට්‍යය රූගත කෙරුණු සමයේදීමය.

“මගෙ විවාහය හින්දා ටෙලි නාට්‍යයේ කටයුතුත් අතරමඟ නවත්තන්න සිද්ද වුණා.. දෙසතියකට විතර පස්සෙ මම ෂූටින් යන්න ලෑස්ති වුණාම මගේ නෝනටත් බලන්න යන්න ඕන වුණා.. එයා ටෙලි නාට්‍යයක ෂූටින් දැකලා තිබුණෙම නෑ.. ඉතින් මමත් එක්කරගෙන ගියා.. මුලින්ම කිව්වා හොඳ ඇඳුම් අඳින්න එපා.. කැලේක ෂූටින් තියෙන්නෙ කියලා.. ඒ හින්දා එයා කලිසමක්, කමිසයක් තමයි ඇන්දෙ..  උදේ ඉතින් මේකප් කරගෙන එහෙම අපි කන්ද නැංගා.. මුළු දවසම ෂූටින්.. නෝනට ඉඳ ගන්න තැනක් නෑ.. ශරීර අවශ්‍යතාවක් පිරිමහ ගන්න තැනක් නෑ.. ඒත් ඉතින් මොනවා කරන්න ද, මට බලන්න යන්න විදියකුත් නෑනෙ.. හොඳ වෙලාවට ඇඳුම් අංශයේ කාන්තාවක් හිටියා.. ඇයත් එක්ක ගිහින් කොහොම හරි අවශ්‍යතා ඉටු කර ගන්න ඇති.. හවස හය වෙනකොට ඩේ ෂූටින් ඉවරයි.. ඒත් ්ඉතින් පහළට බහින්න විදියක් තිබුණෙ නෑ.. ඒ එක්කම නයිට් ෂූටින් පටන් ගත්තා.. ඉවර වෙනකොට පාන්දර හතරයි.. මහන්සියටයි, නිදමතටයි නෝනගෙ මූණ ඉදිමිලා.. ආපහු එනකොට වාහනේදීම කිව්වා  අපි ටී වී එක ඉස්සරහ ඉඳගෙන සැහැල්ලුවෙන් ටෙලි නාට්‍ය බැලුවට ඒවා රඟ පාන්න නළුනිළියො කොච්චර දුක් විඳිනව ද කියලා මට තේරුණා.. ආයෙනම් මම කවදාවත් එන්නෙ නෑ ෂූටින් බලන්න කියලා.. ඒ කිව්වා වගේම ආයෙ ගියෙම නෑ..”
ඔහු කීවේ සිනාසෙමිනි.

තවත් එක් ටෙලි නාට්‍යයක රූගත කිරීම් තිබුණේ හොරණ වරකාගොඩ ප්‍රදේශයේ පන්සලකය. ඔහු ඉගෙනගත්තේ හොරණ ශ්‍රීපාලියේ බැවින් ඒ ප්‍රදේශය මනාව දැන සිටි අතර ඒ පන්සලේ හාමුදුරුවන් සමඟ ද ඔහු හිතවත්ව සිටියේය. එම නිසාම ඔහු රූගත කිරීම්වලට ගියේ බොහෝ කැමැත්තෙනි.

ටෙලි නාට්‍ය කණ්ඩායම පන්සලට ගියේ පාන්දර පහ හමාරට පමණය. ඒ වන විට සද්ධා උත්පල කොණ්ඩය බූගා සිටියේ භික්ෂු වෙස්ගන්නට සූදානමිනි. එහෙත් තනිව සිවුර හැඳගන්නට හැකි බැව් හාමුදුරුවන් දැනසිටියේ නැත. සද්ධා කීවේත් නැත. සිවුර තිබුණේ හාමුදුරුවන් අසළ ටීපෝවක් මතය.

“මහත්තය ද මේ හාමුදුරු චරිතෙ කරන්නෙ..?”

සද්ධා හැඳින ගත් උන් වහන්සේ විචාළහ.

“එහෙමයි හාමුදුරුවනේ.. ඒත් ඉතින් ඔබ වහන්සේගෙ උදව් උපකාර ඕන වෙනවා..” සද්ධා පිළිතුරු දුන්නේය.
“හොඳයි එහෙනම්.. නාලා මේක ඇඳගෙන එමුකො..”

කියමින් උන්වහන්සේ සුදු රෙද්දක් ඔහු අතට දුන්හ. සද්ධා එකී විදියටම කළේය. ඔහු ආපසු එද්දී හාමුදුරුවන් ගේ ආසනය ඉදිරිපිට පැදුරක් එළා තිබිණි.

“උන් වහන්සෙ මට පන්සිල් දීලා කිව්වා හරියට පැවිදි කරනවා නම් කොණ්ඩෙ කපන්නෙත් ඒ වෙලාවෙමයි.. මුල්ම කෙස් රොද කපලා අතට දීලා අනිත්‍යය මෙනෙහි කරන්න කියනවා.. හැබැයි ඉතින් මේක නියම පැවිද්දක් නෙමෙයිනෙ කියලා අඳනකඩේ අන්දවලා සිවුර ඇන්දුවා.. ඇත්තටම මට ඒ වෙලාවේ දැනුණේ මුළු සිරුරම ගිනි ගන්නවා වගේ මොකක්දෝ අපහසුවක්.. හාමුදුරුවෝ කියපු දේවල් හිත පුරාම රැව් දුන්නා.. ඒ වගේම උන්නාන්සෙ කිව්වා නීති කීපයක් තියෙනවා ෂූටින් ඉවර වෙනකම් ඒවා පිළිපදින්න ඕන කියලා..  මට එළියෙ ඉඳගෙන වතුර කෝප්පයක්වත් බොන්න එපා කිව්වා.. අනිත් කට්ටිය කොහේ ඉඳන් කෑම කෑවත් මට දාන ශාලාවටම යන්න කිව්වා.. එතන පොඩි පුටුවක් තියලා තිබ්බා මං වෙනුවෙන්..  අපිට තේ ගේන ළමයා මගේ තේ එක තියලා ආවෙත් දාන ශාලාවේ.. ඇත්තටම භික්ෂුත්වය ගැන හුඟක් දේවල් මම ඒ දවස් කීපයේ ඉගෙන ගත්තා.. මම හාමුදුරුවන්ට පසඟ පිහිටුවලා වැඳලා ඒ බව කියලා තමයි ෂූටින් ඉවර වෙලා පන්සලෙන් පිට වුණේ..” ඔහු කීවේය.

ශ්‍රියානි අමරසේනගේ නිර්මාණයක් වූ ජයතුරා ශංඛය ටෙලි නාට්‍යයේ ද ඔහු රඟ පෑවේ භික්ෂු චරිතයකි. එහිදී ද ඔහුට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු විණි. එහි රූගත කිරීම් තිබුණේ ගිරිඋල්ල ප්‍රදේශයේ පන්සලකය. එහි විහාරාධිපති හිමියන් මහලුය. උන් වහන්සේ සද්ධාට විශේෂ හිතවත්කමක් දැක්වූහ. හැමදාම දාන ශාලාවේ ඔහු වෙනුවෙන් කැවිලි පිඟානක් තිබිණි. සද්ධා එය කා හමාර වන තුරුම හාමුදුරුවෝ එතැන සිටියහ.

දින දහයක් එක දිගටම රූගත කිරීම් පැවතිණි. අවසන් දිනයේ සද්ධා කණ්ඩායමේ අනෙක් අයට පෙර හාමුදුරුවන් වෙතට ගොස් දෙපා අල්ලා වැඳ ටෙලි නාට්‍යය අවසන් නිසා පන්සලෙන් පිට වී යන බැව් දැනුම් දුන්නේය. හාමුදුරුවන් වචනයක්වත් කතා කළේ නැත. උන් වහන්සේගේ ඇස් කඳුළින් බරව තිබිණි.

“මහත්තයා දැක්ක දවසේ ඉඳලම මම දෙයක් අහන්න හිතාගෙන හිටියෙ.. ඇත්තටම මම කැමතියි මහත්තයා මහණ වෙලා මේ පන්සලේම ඉන්නවා නම්..” උන් වහන්සේ කීහ.

“ඒක කරන්න බැරි වෙයි හාමුදුරුවනේ..”

සද්ධා කීවේ හාමුදුරුවන් කෙරෙහි උපන් ශෝකයෙනි.

“මහත්තයා රස්සාවක් කරනවද..?”

“එහෙමයි.. මම විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය කෙනෙක්..”

“ආ.. ඒකත් බොහෝම අගෙයි නොවැ.. මහණකමට බාධාවක් නෑ..” උන් වහන්සේ කීහ.

ශ්‍රියානි ඇතුළු අනෙක් කණ්ඩායම එතැනට පැමිණි බැවින් ඒ අසීරු අවස්ථාවෙන් ගැලවෙන්නට ඔහුට හැකි විණි. එහෙත් අදටත් ඔහුට ඒ හාමුදුරුවන්ගේ කඳුළු පිරි නෙත් සිහිපත් වෙන අවස්ථා තිබේ.

මේ වන විට ටෙලි නාට්‍ය තිහක පමණත් බව දුක, බව කර්ම චිත්‍රපටි දෙකේත් සද්ධා රඟ පා තිබේ. කූඹියෝ ටෙලි නාට්‍යයෙන් පසුව ඔහුගේ රංගනය නොදුටු බවට මැසිවිලි නඟන රසිකයන් වෙනුවෙන් ඔහු කියන්නේ තමා වෘත්තීය නළුවෙකු නොවන බැවින් නිතරදෙවේලේ දකින්නට නොලැබෙන බවය.

චන්දි කොඩිකාර