දොඩම්පෙ මුදලාලි මරා දැමුවේ අසාධාරණයට එරෙහිව කතා කළ නිසාද ?


සීඅයිඩී හතර වැනි තට්ටුවෙන් වැටී මියගිය දොඩම්පෙ මුදලාලිගේ ගම්බ්ම් සොයා ගිය ගමන  

 

 

 

හැටේ දශකයේ මුල් භාගය වන විට රත්නපුර නගරයේ දොඩම්පේ මුදලාලිට ලොකු පිළිගැනීමක් විය. රත්නපුර ඔරලෝසු කණුව ඉදිරිපිට තිබූ “කමලා භවන්” අාපන ශාලාව නගරයේ සෑම දෙනාම රස ආහාර ගැනීමට යන තැනකි. ඊට යාබදව ‘දොඩම්පේ මුදලාලිගේ’ කඩය තිබුණි. සුදු සරමයි කමිසයයි ඇඳ සිටින ඔහු ප‍්‍රතාපවත්ය. මුහුණෙහි නිතර සිනහවක් රැඳී තිබුණි. කරුණාවන්ත පෙනුමක් තිබුණ ද ඒ පෙනුම තුළ ගැඹුරු බවක් ද ඉසිලීය. උවමනා දේට කතා කරන නමුත් හැම දේටම කතා නොකරයි. සාවධානව අසා සිටීම ඔහුගේ පුරුද්දකි. යමක් තේරුම් ගැනීමේ දී ගැටලුවක් ඇත්නම් තේරුම් කර ගැනීමට ප‍්‍රශ්න අසයි. 


මේ මීට වසර පනස් දෙකකට පෙර කොළඹ රහස් පොලිස් මූලස්ථානයේ හතර වෙනි තට්ටුවෙන් පැන හෝ තල්ලුකර ජීවිතක්‍ෂයට පත් රත්නපුරේ “දොඩම්පේ මුදලාලි” ගැන මතකය ඇති අය වැඩි දෙනෙක් පවසන කාරණාවල සාරාංශයයි. 

ඩඩ්ලි සේනානායක මහතාගේ අගමැතිත්වයෙන් 1965 පිහිටවූ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කළ බවට අත්අඩංගුවට ගෙන රහස් පොලීසියෙන් ප‍්‍රශ්න කරන අතරතුරදී “දොඩම්පේ මුදලාලි” මියගියේය. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළීමේ දෙවන කුමන්ත‍්‍රණයේ සැකකරුවෙකු මෙලෙස මිය යාම ගැන රටම එදා කතා කළහ. 


මියයන විට 35 වියේ පසු වූ දොඩම්පේ මුදලාලි නොහොත් ඇල්.වී. පොඩිඅප්පුහාමි අවිවාහකයකු විය. රත්නපුර දොඩම්පේ ‘අධිකාරිය ගමේ’ ඉපදී අවුරුදු දහ අටේදී රත්නපුර නගරයට පැමිණ ආර්ථික ස්ථාවරතාවකට පැමිණීමට ඔහු සමත් විය. 


“ඒ කාලයේ රත්නපුර නගරයේ කඩ සාප්පු කිහිපයයි තිබුණේ. අපි ඉස්කෝලේ යන කොල්ලො. දූරියන් ගස් දෙක ළඟ අපේ ගෙවල් තිබුණේ. ඇලෝසියස් එකට අපි ආවේ. ඉස්සර ඇලෝසියස් එක කිව්වාට දැන් කියන්නේ ඇලෝසියස් ජාතික පාසල කියලා. අපි ඉස්කෝලේ ඇරිලා ඔරලෝසු කණුව ළඟට එනවා. අපේ තාත්තා බ්‍රෝකර් කෙනෙක්, රියැදුරෙක්. තාත්තා නිතරම ඉන්නේ රත්නපුර ඔරලෝසු කණුව ළඟ තැපැල් කන්තෝරුව ආසන්නයේ තිබුණ කුලී රථගාලේ. 


තාත්තා පේන්න හිටියේ නැත්නම් අපි ඉන්නේ ‘දොඩම්පේ මාමාගේ’ කඩේ පැත්තට වෙන්න. දොඩම්පෙ මාමා සමග අපි කතාකරලා තියනවා. අපේ ගෙවල්වල යනවා එනවා.” මේ හෙළිදරව්ව කළේ රත්නපුර කොළඹ පාරෙ දූරියන් ගස් දෙක ප‍්‍රදේශයේ දැනට විශ‍්‍රාම සුවයෙන් දිවි ගෙවන රත්නපුර කච්චේරියේ සේවය කළ රංජිත් ප්‍රේමසිරි (65) මහතාය. 


“මගේ තාත්තා තමයි සිරිල් ඇලෙක්සැන්ඩර්. හතළිස් දෙකේ දෙවන ලෝක යුද්දෙට එංගලන්ත හමුදාවට බැඳිලා ඊජිප්තුවේ තාත්තා වැඩකරලා තියනවා. තාත්තා හමුදාවේ ඩ‍්‍රයිවර් කෙනෙක්. යුද්දේ ඉවර වුණාට පස්සේ ලංකාවට ඇවිල්ලා රත්නපුරේට වෙලා ඩ‍්‍රයිවර් වැඩත් කළා. කාර් බ්‍රෝකර් වැඩත් කළා. රත්නපුරේ කාට හරි ඒ කාලේ කාර් එකක් ගෙනාවානම් තාත්තා තමයි මැදිහත් වුණේ. ගම්පහ ‘නන්ද සේල්’ කියන ආයතනයේ තාත්තාට ලොකු පිළිගැනීමක් තිබුණා කියලා තමයි අහලා තියෙන්නේ. දොඩම්පේ මාමාත් එයාගේ 3 ශ‍්‍රී 3673 ෆෝඩ් ප්‍රිෆෙක්ට් කාර් එක ගෙනාවේ තාත්තත් එක්ක ගිහිං කියලා තාත්තා කියනවා අහලා තියනවා.” රංජිත් ප්‍රේමසිරි මහතා සිහිපත් කළේය. 


“අපේ තාත්තා ඒ කාලේ නගරෙ හිටපු චණ්ඩියා කියලා තමයි අපි අහලා තියෙන්නේ. එයා හරියට බොනවා. වෙරි වුණාම කිසිම කෙනෙක් තාත්තා එක්ක කතා කරන්නවත් යන්නේ නැතිලු. ගෙදර ඇවිල්ලත් ලොකු ලොකු ගෝරි දානවා. රංඩු වුණාම අපේ ඇඳුම් පොත්පත් පවා පුච්චනවා. තාත්තා එක්ක හිටපු යාළුවෝ තමයි ‘දොඩම්පේ මාමා’, මහතුං මාමා, හැන්ඩි මාමා, බව්සර් ගුණදාස මාමා, මනතුංග මාමා කියන අය.” 


“මට මතක ඇති කාලේ රත්නපුරේ නගරේ වීදිවල වැඩිපුර තිබුණේ මැණික් කඩ. සිංහල මැණික් වෙළෙන්දෝ තමයි වැඩිපුර හිටියේ. ඒ හැම මැණික් කඩේකම හණපෝරුවක් තිබුණා. ඒ හණපෝරුවෙන් මැණික් ගල් කපා ඔප දමන්නට කෙනෙකුත් හිටියා. ඒ කාලේ තවත් තරුණ පිරිසක් හිටියා. එයාල කළේ මැණික් නොවන වීදුරු වගේ ගල් ගම්වලින් නගරයට එන මිනිස්සුන්ට රවට්ටලා කීයකට හරි විකුණන එක. ඒකට කිව්වේ “කොට්ටෝරු ගහනවා” කියලා. කොට්ටෝරු ගහන එව්වන්ගෙ වැඩ ගැන තාත්තා, ‘​ෙදාඩම්පේ මාමාලා’ එක්ක කතා වෙනවා මම අහලා තියනවා.” රංජිත් ප්‍රේමසිරි මහතා අතීතාවර්ජනයක් කරයි. 


එවැනි පුද්ගලයන් පොදුවේ හඳුන්වා තිබුණේ “කොට්ටෝරුවන්” ලෙසය. මේ “කොට්ටෝරුවන්” ගැන ගම්වල ද ප‍්‍රසිද්ධියක් තිබුණි. අතට මිටට කීයක් හෝ ලැබුණු පසු බඩුමුට්ටුවක් ගෙදරට ගෙනියන්න නගරයට එන ගමේ අය රව්ට්ටා මැණික් ගල් යැයි කියා වීරුදු ගල් විකුණන සමහර “කොට්ටෝරුවන්ට” විරුද්ධව පොලීසියට යන පිරිස් ද සිටි බව ‘දොඩම්පේ මුදලාලිලා” වැන්නවුන් කතා බස් කර ඇති බව අතීත තොරතුරු සොයා යාමේ දී තහවුරු විය. 


දොඩම්පේ මුදලාලිගේ හිතවතෙකු වූ ‘සුදා’ නොහොත් පසුකාලීනව ‘ගව සුදා’ යන නාමයෙන් හැඳින්වූ මහින්ද අබේසේකර මහතාගේ ක‍්‍රියා කලාපයක් සම්බන්‍ධව ‘දොඩප්පේ මුදලාලිගේ’ මැදිහත්වීමක් ගැන රංජිත් ප්‍රේමසිරි මහතා සිහිපත් කළේය. මේ කියන වකවානුවේ රත්නපුර පොලීසියේ ස්ථානාධිපති ලෙස සේවය කර තිබුණේ සුබ‍්‍රමනියම් නමැති නිලධාරියෙකි. ඔහු රත්නපුර කොන්වන්ට් පාරේ නිවසක නැවතී සිට ඇත. 


පොලීසියෙන් අත්අඩංගුවට ගත් මහින්ද අබේසේකරගේ හිසට හිස් මිරිස් ගෝනියක් (මේ කියන කාලයේ වෙ​ෙළඳපොළට මිරිස් එවන ලද්දේ ගෝනි වලිනි) බස්සවා පහර දී පසුව නිදහස් කර තිබුණි. මිරිස් ගෝනියකින් මුහුණ වසා කළ පහර දී නිදහස් කළ වෙලේම මහින්ද අබේසේකර ඔරලෝසු කණුවට නැග තිබුණේ ඔහුට කළ පහර දීම ගැන සාධාරණ පරීක්‍ෂණයක් ඉල්ලමිනි. 


“ඒ කාලේ මහින්ද අබේසේකර මහත්තයාට කිව්වේ ‘සුදා’ කියලා. මම මේ කියන්නේ හැට දෙකත් හැට පහත් අතර කාලයේ වූ සිදුවීමක්. කාල වකවානු මට හරියටම මතක නෑ. මේ සිද්ධිය මම ඇහින් දැක්කා. ඒ වගේම තාත්තා ගෙදර ඇවිත් කතා කරනවත් අහලා තිබුණා.” 


“දවසක් අපි ඉස්කෝලේ යනකොට රත්නපුරේ ඔරලෝසු කණුව උඩට කෙනෙක් නැගලා රතු පාට කමිසයක් වන වනා ඉන්නවා දැක්කා. ඔරලෝසු කණුව පහළ සෙනඟ රැස්වෙලා හිටියා. පොලීසියෙනුත් කිහිප දෙනෙක් පහළ හිටියා වගේ මතකයි. ඒ කාලේ අද වගේ පොලීසියේ අය හිටියේ නෑ. ඒ කාලේ පොලීසියේ රාළහාමිලා කොට කලිසම් ඇඳලා සපත්තු දාලා තොප්පිය දාලා හිටියේ. ඒ තොප්පිය අද වගේ නෙවෙයි. කාකි පාට තොප්පියක්. තැපැල් දෙපාර්තමේන්තුවේ ලියුම් බෙදන පියුම් මහත්තුරුන්ටත් තිබුණේ ඒ වගේම තොප්පියක්. ඒක දෙපැත්තේ කළු පාට නූලක් තිබුණා. ඒ නූලෙන් තමයි තොප්පිය හුළඟට නොයා රැඳිලා තියෙන්නේ. අතේ බැටන් පොල්ලක් තිබුණා. ඔරලෝසු කණුව ළඟ පාතකට අපිට යන්න දුන්නේ නෑ.” 


රංජිත් ප්‍රේමසිරි මහතා කළ මේ හෙළිදරව්ව ගැන ඔහු පසුව අසා තිබූ විස්තරයත් පැහැදිලි කළේය. 


“පස්සේ දැනගත්තා ඒ ඔරලෝසු කණුව උඩ නැගලා හිටියේ මහින්ද අබේසේකර කියන කෙනා කියලා. එයා පොලීසියට විරුද්ධව නැගලා අගමැතිනිය එනකම් බහින්නේ නෑ කියලා හිටියා කියලා තමයි තාත්තා කියනවා අහලා තිබුණේ. එතකොට අගමැති වෙලා හිටියේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය. ලොකු ලොකු කෙළි කාරයෝ මිනිහව ඔරලෝසු කණුවෙන් බස්සවන්න කතා කළාට බැරිවෙලා තියනවා. පස්සෙ දොඩම්පේ මාමා මැදිහත් වෙලා සරත් අප්පෝ (සරත් මුත්තෙට්ටුවේගම) ගෙන්නවලා තමයි බස්සවලා තිබුණේ කියලා තාත්තා දොඩම්පේ මාමා ගැන මහ ආඩම්බරෙන් කියනවා අහලා තියනවා.” 


“රත්නපුරේ ඔරලෝසු කණුවට නගින දොරටුවේ යතුර තියෙන්නේ නගර සභාවේ. මේ මනුස්සයා උඩට නැගලා තියෙන්නේ අකුණු සන්නායකයට දාලා තියන තඹ තහඩුව දිගේ කියලා තාත්තා දොඩම්පේ මාමා එක්ක කතා වෙනවා අහලා තිබුණා. දොඩම්පේ මාමා රත්නපුර මහ නගර සභා මැතිවරණයේදී පුලුඟුපිටිය කොට්ඨාසයට කොමිනිස්ට් පක්‍ෂයෙන් ඉල්ලපු සරත් අප්පෝට උදව් කරපු නිසා සරත් අප්පෝ ගෙන්වලා මහින්ද අබේසේකර ඔරලෝසු කණුවෙන් බැස්සුවා කියලා තමයි තාත්තා එහෙම කතා වුණේ. ඒ වෙලාවේ පොලීසියටවත්, වෙන කාටවත් කරන්න බැරි දෙයක් ‘දොඩම්පේ මාමාට’ කරන්න පුළුවන්වීම ගැන දොඩම්පේ මාමාගේ යාළුවන්ටත් ලොකු ආඩම්බරයක් තිබුණා කියලා තාත්තලා කතා වුණා.” 


රංජිත් ප්‍රේමසිරි පැහැදිලි කළේය. 


දොඩම්පේ මුදලාලිගේ ගම දොඩම්පේ “අධිකාරිය” වුණත් අවුරුදු දහ අටේදී ගමෙන් පිටවී රත්නපුරයේ ගෙවූ ජීවිතය ගැන ගමේ ඥාතීහු වැඩිපුර නොදනිති. 


“අපේ තාත්තා “සිරිල් ඇලෙක්සැන්ඩර්” එක්ක හිටපු කල්ලියේ වැඩි දෙනෙක් ඩ‍්‍රැයිවර්ලා. ඒ කාලේ නගරය හොල්ලගෙන හිටියේ මේ ඩ‍්‍රැයිවර්ලා කියලා තමයි අපි අහලා තියෙන්නේ. දොඩම්පේ මාමා ඩ‍්‍රැයිවර් කෙනෙක් නූනට එයාටත් කාර් එකක් තිබුණ නිසා එයත් තාත්තලාගේ කල්ලියෙ කෙනක් විදියට තමයි ගණන් ගත්තේ. පනස් අටේ ජනවාරි පළවෙනිදා ඉඳලා ‘ශ‍්‍රී’ අකුර අනිවාර්ය කිරීමට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුව තීරණය කරලා තිබුණ වෙලාවෙ රට පුරාම හර්තාල් ඇති වුණා. රටේ දකුණු පළාතේ තිබුණ දෙමළ කඩවලට ගහලා, ගිනි තියලා කලබල ඇතිවුණා.” 


“රත්නපුර ටවුමේ තිබුණ දෙමළ කඩවලට ගිනි තිබ්බා කියලා තාත්තටයි, දොඩම්පේ මාමාටයි විරුද්ධව නඩු දාලා කියලා අම්මා කියනවා අහලා තිබුණා. තාත්තා පොලීසියෙන් අල්ලලා තිබුණාට දොඩම්පේ මාමා හැංගිලා කියලා තමයි ආරංචි වුණේ. පස්සේ නැදුන් විහාරේ හැංගිලා ඉඳලා දොඩම්පේ මාමා ඇල්ලුවා කියලා අම්මා එක්ක තාත්තාගේ යාළුවෝ ඇවිත් කතා වෙනවා අහලා තියනවා. ඊට පස්සේ අම්මා කොළඹ යනවා තාත්තයි දොඩම්පේ මාමයි බලලා එන්න කියලා. පනස් අටේ හර්තාලේ වෙලාවේ රත්නපුරේ කඩ ගිනිතිබ්බා කියලා තාත්තාටයි දොඩම්පේ මාමාටයි උසාවියෙන් හය මාසයක හිර දඬුවම් නියම වුණා කියලා තමයි මම අහලා තියෙන්නේ. තාත්තා ගෙදර ආවෙත් ඒ වගේ කාලයකට පස්සේ.” 


“ඒ කාලේ උසාවිය තිබුණේ දැන් මැණික් කොටුව කියන්නේ එතන. දොඩම්පේ මාමාගේ කඩේට උසාවිය තියන කොටුව පෙනෙනවා. ඒක පරණ ඕලන්ද බළකොටුව. අපේ තාත්තා නිතර ඉන්න ටැක්සි නැවතුමත් පේනවා. තාත්තායි දොඩම්පේ මාමයි හිරේ ඉන්න කාලේ ලොකු මතකයක් මට තිබුණේ නෑ.” 


රංජිත් ප්‍රේමසිරි මහතාගේ මේ අනාවරණය ගැන විමසුවත් දොඩම්පේ මුදලාලි සිරබත් කෑ බවට තොරතුරක් ඔහුගේ ඥාතීන්ගෙන් දැනගත හැකි නොවිණි. දොඩම්පේ මුදලාලිට රත්නපුර පල්ලිය පාරේ රෙදි වෙළෙඳසලක් තිබුණ බවට ඥාතීන් පැවසුව ද ඔහුගේ මිතුරකු වූ සිරිල් ඇලෙක්සැන්ඩර්ගේ පුතකු වූ රංජිත් ප්‍රේමසිරි පවසන්නේ ඒ ගැන තමන්ට වැඩි මතකයක් නැති බවයි. නමුත් ඔරලෝසු කණුව ඉදිරිපිට වර්තමාන බී.ඇම්. විජයසිංහ පොත් හලට යාබදව පිහිටා ඇති අදටත් ගොඩනැගිල්ලක් ඉදිනොකර ඇති හිස් බිමේ ‘දොඩම්පේ මුදලාලිගේ’ වෙ​ෙළඳසල පිහිටා තිබූ බව මතකයැයි ඔහු කියයි. ඔහු අසා ඇති ආකාරයට ‘දොඩම්පේ මුදලාලි’ මුල් කාලයේ කර ඇත්තේ රෙදි වෙ​ෙළඳාම බව තාත්තා සහ යහළුවන් කතාකරනු අසා ඇති බව රංජිත් ප්‍රේමසිරි මහතා කියයි. 


“අපේ තාත්තාගේ මහ ගෙවල් තිබුණේ රෙස්ට් හවුස් පාරේ. එතකොට රත්නපුරේට කෝච්චිය එන කාලේ. බඩු ගෙන්නේ කෝච්චියේ. ස්ටේෂන් මාස්ටර් හිටියේ ‘බන්දුල චිකේරා’ කියලා මහත්තයෙක්. දොඩම්පේ මාමා ගැන දවසක් තාත්තායි අම්මයි කතා වුණා. ඒ අපේ නැන්දා කෙනෙක් ගැන කැමැත්ත අහලා තිබුණ කතාවක්. දොඩම්පේ මාමා අපේ ගෙදර වගේම ස්ටේෂම පිටි පස්සේ තිබුණ ආතාගේ ගෙදරටත් (තාත්තාගේ තාත්තා හිටිය ගෙදර) තාත්තා එක්ක යනවා එනවලු. දොඩම්පේ මාමා, තාත්තා යන අයගේ යළුවෙක් වුණ හැන්ඩි මාමාගේ ගෙදරත් තිබුණේ ඒ ළඟ. හැන්ඩි මාමා කියන්නේ රත්නපුරේ හිටපු නගරාධිපති නිමල් දයාවංශ මහත්තයාගේ තාත්තා.” 
“තාත්තාගේ නංගි කෙනෙක්, ඒ කියන්නේ අපේ නැන්දා කෙනෙක් ආතලාගේ ගෙදර ඉඳලා තියනවා. දොඩම්පේ මාමාගේ හිත මේ නැන්දට ඇදිලා ගිහිං. තාත්තාට කාරණාව කියලා. තාත්තා නැන්දගෙන් අහලා. මොන හේතුවකට ද දන්නේ නෑ නැන්දා කැමති වෙලා නෑ. ඉතිං ඒ අකමැතිවීම ගැන තාත්තා, අම්මා එක්ක කතා වෙනවා අහලා තියනවා. නැන්දා අකැමැති වුණා කියලා දොඩම්පේ මාමා තාත්තා එක්ක තිබුණ හිතවත්කම අඩු වුණේ නෑ.” 


“බවුසර් ගුණදාස මාමා, හැන්ඩි මාමා, දොඩම්පේ මාමා, මනතුංග මාමා, අපේ තාත්තා හරිම යාළුවෝ. මනතුංග මාමා කියන්නේ අපි අර මුලින් කතා කළ මහින්ද අබේසේකර (ගව සුදා)ගේ අයියා. එයත් ඩ‍්‍රැයිවිං කළේ. වර්තමාන සුසන්ත පුංචිනිළමේ මන්ත‍්‍රීතුමාගේ තාත්තා වූ ජී.වී. පුංචිනිළමේ ඇමැතිතුමාගේ නිල වාහනයේ රියැදුරු විදියටත් මනතුංග මාමා හැත්තෑ හතෙන් පස්සේ වැඩ කළා මතකයි. මහින්ද අබේසේකර ඔරලෝසු කණුවෙන් බස්සවන්න දොඩම්පේ මාමා මූලිකත්වය අරගෙන තිබුණේ මනතුංග මාමාගේ ඉල්ලීමට කියලා පස්සේ ආරංචි වුණා.” 


දොඩම්පේ මුදලාලි සහ සිරිල් ඇලෙක්සැන්ඩර් ඇතුළු හිතවත් රියැදුරු කල්ලියට ඔවුනොවුන්ගේ දේශපාලන මතවාදයන් මිත‍්‍රත්වයට කිසිදු බාධාවක් වී නොතිබුණි. රංජිත් ප්‍රේමසිරි පවසන ආකාරයට ඔහුගේ පියා වූ සිරිල් අලෙක්සැන්ඩර් එක්සත් ජාතික පාක්‍ෂිකයෙකි. මනතුංග මහතා ද එක්සත් ජාතික පාක්‍ෂිකයෙකි. නමුත් මේ කිසි කෙනෙක් දේශපාලන වශයෙන් ගැටුම් ඇතිකර නොගත්හ. වර්තමානයේ දේශපාලන වශයෙන් ගැටුම් ඇති කරගන්නා අයට පාඩම් ඉගෙන ගන්නට මේ පිරිසගේ ක‍්‍රියා කලාපයන් ඉතා වැදගත්ය. එහෙත් වර්තමාන පරම්පරාව ඉතිහාසය අමතක කර ඇති අන්දම “දොඩම්පේ මුදලාලි” ගැන කරුණු සොයා යද්දී පැහැදිලි විය. 
‘ශ‍්‍රී කෝලාහලවලට අහුවුණ “දොඩම්පේ මාමා” හිරේ ඉන්නැද්දි ගත්ත ඡායාරූපයකුත් තිබිලා තියනවා කමිසය නැතුව. දැන් පත්තරවල යන ඡායාරූපයත් ඒක වගේමයි. දොඩම්පේ මාමාගේ මරණය ආරංචි වුණාට පස්සේ තාත්තා ඇතුළු යාළුවෝ කොළඹ ගියා මට මතකයි. ඒ අයට වුවමනා වුණා දොඩමපේ මාමාගේ සිරුර ටවුන් හෝල් එකට ගේන්න. 

 

 

ඒ දවස්වල මුද්දුව පිට්ටනියෙ සියරට කියලා ප‍්‍රදර්ශනයක් තිබිලා තියනවා. නමුත් ඒකට පොලීසිය ඉඩ දීලා තිබුණේ නෑ. ඒක සංවිධානය කළාට තාත්තා අත්අඩංගුවටත් අරගෙන පස්සේ නිදහස් කරලා තිබුණා. ඊට පස්සේ රියැදුරු සංගමයේ අය අවමඟුල් අවස්ථාවට දොඩම්පේ යන්න තීරණය කරලා තිබුණා. අපේ තාත්තා “සිරිල් අලෙක්සැන්ඩර්” දිනපොත් පාවිච්චි කළා. මේ සමහර සිදුවීම් තාත්තා දිනපොත්වල ලියලා තිබුණා මට මතකයි. තාත්තා අන්ත‍්‍රාවෙලා දැන් අවුරුදු තිස් හයක් වෙනවා. ඒ දිනපොත් කොහේද කියලා හොයා ගන්න නෑ.” 


“දොඩම්පේ මාමාගේ අවසන් කටයුතු බලන්න තාත්තා අපිත් එක්ක ගියා. මගේ අම්මා ඉස්පිරිතාලේ වැඩ කළේ. අම්මයි තාත්තායි මමයි, අපි ගියේ 1 ශ‍්‍රී 512 අංකය තියන කහංගම කේමානිස් මාමාගේ කාර් එකේ. ගොඩාක් සෙනග හිටියා. යට කළා ද පිච්චුවද කියලා මතක නෑ. තාත්තයි යාළුවොයි නිතරම කිව්වේ දොඩම්පේ මාමා ගහලා මැරුවා කියලා. සීඅයිඩී එකේ රාහුල ද සිල්වා කියලා මහත්තයෙක් තමයි දොඩම්පේ මාමාට ගැහුවේ කියලා ඒ අය කතාවෙනවා මට හොඳට මතකයි.” රංජිත් ප්‍රේමසිරි දොඩම්පේ මුදලාලිගේ ජීවිතයේ අප‍්‍රකට සිදුවීම් මාලාවක් විස්තර කළේය. 

 

 


තවත් කොටසක් ලබන සතියට .... 

 

 


සටහන - ඡායාරූප 
අජිත්ලාල් ශාන්තඋදය