දේව හාස්කමින් දෙවියන් පිදීම, දෙවියන්ට වූ භාරහාර ඔප්පු කිරීම පමණක්ම නොව, මුහුණ හා සිරුර හරහා කටු ගැසීම, කටුවලින් එල්ලීම යනාදිය අදටත් අප ජන සමාජයේ සිදුවේ. කටුවක් ඇනීම කොතරම් වේදනාවක්ද කියා ඔබ අප හොඳින්ම දන්නවා. නමුත් මෙවන් කටු ගැසීම හෝ කටුවලින් එල්ලීම සත්‍ය වශයෙන්ම වේදනාකාරී ක්‍රියාවක් ද? නැතහොත් එය භූතයෙකු විසින් කරන ලද්දක් ද ?
අනවින කොඩිවිනවල දී නම් කටු ගැසීම කියන්නෙ තවත් එක දුෂ්ට පළිගැනීමේ ක්‍රමයක්. මේ ක්‍රමය ක්‍රියාවට නගන්නේ තමන්ගෙ විරුද්ධවාදියාගේ අඳින ලද රූපයකට හෝ පිළිමයකට කටු ඇනීම මගිනුයි. විවිධ අල වර්ග මේ රූප ඇඳීමට බහුල වශයෙන් යොදාගනු ලබනවා. මේවාට කටු ගසන්නට යොදාගන්නේ පැඟිරි ගස්වල කටු, පස්ලෝ කටු සහ සර්පයින්ගේ දළ. කටු ගැසීමෙන් විරුද්ධවාදියාව සදාකාලික ලෙඩෙකු, අසනීපකාරයකු බවට, පත්කොට මරණය වුව ද කැඳවීමට හැකි බව යක් ඇදුරන්ගේ විස්වාසයයි.
කටු ගැසීමේ නොයෙක් ක්‍රම ඇත. ඉටිවලින් රූපයක් තනා එයට කටු ගසයි. හොඬල, නියඟලා, බේඳුරු, අළුකෙසෙල්, හබරල වැනි අල වර්ග ගෙන රූප තනා එයට ද කටු ගසයි. තව ද කකුලේ අඩිය පොළොවේ සිටින තැනකට කටු ගසයි. කටු ගැසීම සඳහා භාවිත වන කටු වන්නේ පස්පැඟිරි කටු හා පස්ලෝ ආදියයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල කටු ගැසීම ද ශරිරයේ විවිධ ස්ථානවල කටු ගැසීම ද තවත් එක් ප්‍රාතිහාර්යයකි.
අප දන්නා පරිදි අතීතයේ සිට කටු පූජාව පැවත එන බවට සාක්‍ෂි ඇත. මේ අනුව, ශරීරයේ කටු ගසා කරන පූජාව දමිළ බසින් අරුත් ගන්වන්නේ පරවක් කාවඩි ලෙසයි. ඉංග්‍රීසියෙන් (බර්ඩ් කාවඩි) ලෙස හඳුන්වයි.
පරවක් කාවඩි යනු දෙවියන් දීපු ජීවිතය නැවත දෙවියන්ටම භාර කිරීමය. එවිට තම සිරුරේ ඇති සියලු දොස් දුරු වී ජීවිතයට සතුට ළඟාවනවා යෑයි හින්දු බැතිමත්හු විශ්වාස කරති.
එහෙත් කෙනකුට හිතුමතේ කෝවිලකට දේවාලෙකට ගොස් ගිනි පෑගීම, ශරීරයේ කටු ගසා පූජා පැවත්වීමට නොහැකිය. මෙම පූජා පැවැත්වීමට යම් පිළිවෙතක් තිබේ.
කිලි අසුවීමෙන් තොරව, දින ගණනක් පේ වී කරන මෙම හාස්කම දේව හාස්කමින් කරන දෙයකි. කිලි අසුවීමෙන් තොරව යන්නෙන් අදහස් කරන්නේ මළ ගෙවල්වලට නොයාම, ගැහැනු ළමයින් වැඩිවියට පත්වීම හා මාසික ඔසප් වීම සිදුවන අවස්ථාවල දී සිදුවන අපවිත්‍ර වීම්වලින් ඈත්ව සිටීම, ඌරු මස් හෝ වෙනත් මේ සඳහා නුසුදුසු මාංශ වර්ග ආහාර අනුභවයෙන් වැළකීම හා මත්පැන් පානයෙන් වැළකීම යනාදී තවත් බොහෝ දේවලින් වන අපවිත්‍රවීම්වලට අසු නොවීමයි.
දින කීපයක්ම කටු ගැසීම සඳහා පේ වන අය මත්පැනින් වැළකීම, අපවිත්‍ර වන ස්ථානවලට නොයාම සිරිතක් වන අතර, කහ දියරයෙන් නා පිරිසිදු වී මෙම ක්‍රියාවට පේ වේ. සමහරුන් ශීත ජලයෙන් ශරීරය දෝවනය කර පිරිසිදු වී මෙම ක්‍රියාවට පේවී දෙවියන් වැඳ අවසර ගෙන උල් කෙලවරක් සහිත ලෝහ වලින් සෑදූ කම්බි කූරු හෝ කම්බි කොකු ශරීරය හරහා ගසයි. පිටෙහි ගසන කොකුවලින් ලණු දමා ඇදගෙන යාම හෝ උඩ එල්ලයි. මුහුණ හරහා යකඩ කූරක් ගැසීම කරයි.
මෙසේ කරන අය මෙය ඉතා හොඳින් පේ වී කළ යුතු බවය. මෙහි විශේෂත්වය වන්නේ කටු ගැලවීමෙන් අනතුරුව කිසිදු බෙහෙතක් නොදැමීමත් යකඩ කූරු නිසා හටගත් තුවාල පැස නොවීමත් යකඩ කූරු ගැළවූ පසු ලේ ගැලීමක් සිදු නොවීමය. නමුත් මීට වෙනස්ම අයුරකින් සිදු කළ කටු ගැසීමක් පිළිබඳවයි මේ.
මෙය සිදු කළේ විදුල අධි මනෝවිද්‍යා සංගමයේ සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසිනුයි. මුලින්ම වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හා ප්‍රමුඛ පිරිස හා සහායකයකුත් අවමංගල්‍ය උත්සවයට සහභාගි වී ඉන්පසු පර්ෙය්ෂණය සිදුකළ යුතු ස්ථානය වෙත ළඟා වූ අතර, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හා සහායකයා ඌරු මස් අනුභව කර කිසිඳු පේවීමකින් තොරව මෙය ආරම්භ කළහ.
උල් කෙළවරක් සහිත යකඩ කොකු මෙම තරුණ සහායකයාගේ පිටේ ගැසීම සඳහා වෙනත් අයෙක් ඉදිරිපත් විය. යකඩ කොකු තරුණායාගේ පිටේ ගැසූ පසු එම කොකුවලට ලණු දමා අදින්නට විය. කොකුවලට දැමූ ලණුවලින් අදිමින් මෙය නිරූපණය කෙරුණි.
වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ පැවසීය. ඔබ සියලුදෙනාම විස්මයෙන් හා බියෙන් යුතුව මේ දෙස බලා සිටි නමුත් මෙම යකඩ කූරු ගසාගත් පුද්ගලයා පෙරහරවල්වල ඒවාට සහභාගි වූ පළපුරුදු අයෙකු යැයි ඔබට සිතෙන්නට පුළුවන. එම නිසා මෙම යකඩ කූරක් මාගේ මුහුණ හරහා ගසා මම ඔබට පෙන්වන්නම් යැයි පැවසූ වෛද්‍යතුමා පසුව යකඩ කූරක් ගෙන එය තමාගේ මුහුණ හරහා ගසන ලෙස පැවසූ අතර, ඒ සඳහා එක් පුද්ගලයෙකු ඉදිරිපත් වී වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාගේ මුහුණ හරහා යකඩ කූර ගැසීය. පැමිණ සිටි සියලු දෙනාම බිරාන්තව බලා සිටියෝය. කිසිවකු පේවීමකින් තොරව කිසිවකු විසින් ගැසීමට බය ලෝහ නයි පෙණය ද බලා සිටියවුන් අභියසදීම මුඛයෙන් එළියට සිටින ලෙස දමා එක් කම්මුලකින් ඇතුළු කළ යකඩ කූර අනෙක් කම්මුලද සිදුරු කරගෙන යන තෙක් ඇතුළු කළේය.
මෙහිදී යකඩ කූර ගැලවීමේදී ලෝහ නයි පෙණය එළියට ගැනීමට හැකි නොවන බව කපු මහත්වරු කිහිපදෙනෙක් සහ දේව ගැතිවරු කිහිපදෙනක් අභියෝග කරන්නට වූහ. බලාසිටියවුන් දෙපිරිසක් වශයෙන් බෙදී ගියහ. ඇතැමුන් මෙය ගැලවීමට නොහැකි වේ යැයි සිතූ අතර, ඇතැම්හු එය කිරීමට හැකි යැයි මතවල සිටියෝය.
තව පැය භාගයකින් අප කටුව ගලවනවා. පුළුවන් ජගතෙක් සිටින්නේ නම් කටුව ගැලවීමට නොහැකි තත්ත්වයකට පත්කරන්න පුළුවන් දෙයක් තිබේ නම් කරන්න. අපි පේ වුණේ නැහැ. කිලිවලට අසු වුණා. මළගෙවල්වල ගියා. ඒ නමුත් අපි සාමාන්‍ය විදියටම මේ කටු හා නයි පෙණය ගලවනවා. හැකි නම් නවත්තන්න’ යැයි මිථ්‍යා මත පිළිගන්නන් ඉදිරියේ විවෘත අභියෝගයක් කළේය.
පැය භාගයකට පමණ පසු ගැලවීමට අපහසු කම්බි කූරු හා නයි පෙණය කිසිඳු අපහසුතාවකින් තොරව ගැලවීය. කම්මුල්වලින් රුධිරය බිඳකුඳු නොගැලීය. මේ පිළිබඳව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පැහැදිලි කරදුණි.
ඇඟෙහි කටු ගැසීම දේව හාස්කමක් නොවන බවට මුලින්ම පැහැදිලි කළේ ලංකාවේ මිථ්‍යා විශ්වාස දුරුකිරීමට විශාල මෙහෙයක් ඉටු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතායි. ඒ මහතා තම ශිෂ්‍යයෙකු යොදාගෙන පිටෙහි කටු ගැසීම හා කටු වලින් උඩ එල්ලීම ඉදිරිපත් කර පෙන්වීය. අද සිදුකල ක්‍රියාවලියේ විද්‍යාත්මක පසුබිම මම මෙසේ ඔබට පැහැදිලි කරන්නම්.
මෙහිදී මා මුලින්ම පැහැදිලි කර දිය යුතුයි මා මෙය සිදු කළේ කිසිඳු දෙවියෙකුට හෝ දේව සංකල්ප ගැන කියැවෙන ආගම්වලට පහර ගැසීමකට හෝ දෙවියන් නැහැ කියා ඔප්පු කිරීමට හෝ නොව දෙවියන්ගේ හාස්කමක් ලෙස සැලකෙන ශරීරයේ කටු ගැසීම විද්‍යාත්මක ක්‍රියාවලියක් පමණක් බව පෙන්වා දීමටයි.
යමෙකු මෙය දේව හාස්කමක් ලෙස සලකයි. එම කරුණු මෙසේය.
1. මෙලෙස පේ වී කටු ගැසීමේ දී එතරම් වේදනාවක් නොදැනේ.
2. රුධිරය ගැලීමක් සිදු නොවේ.
3. යකඩ කූරු ගැලවීමේ දී හා ඇදීමේ දී ඇති වූ තුවාල පැසවීමක් සිදුවන්නේ නැත.
4. කටු වලින් උඩ එල්ලීමේ දී හා ඇදීමේ දී සම ඉරීයාමක් සිදු නොවේ.
5. මුහුණ හරහා කටු ගැසීමේ දී එම සිදුරු ක්‍ෂණයකින් වැසීයයි.
6. නයි පෙණය මුඛය තුළට දැමූ විට මනසට අමුතුම ගුප්ත බවක් සහිත හැඟීමක් දැනීම.
යන මෙම ඉන් ප්‍රධානව සැලකේ. ඒ නිසාම මෙය දේව හාස්කමක් ලෙස ඔවුන් දකී. නමුත් ඉහත කරුණුවල විද්‍යාත්මක පදනම මෙසේයි.
පළමුවන කරුණ නම් කටු ගැසීමේදී එතරම් වේදනාවක් නොදැනෙන බව සත්‍ය කරුණකි. මෙයට හේතුව වන්නේ ඔවුන්ගේ සිත් තුළ දෙවියන් කෙරෙහි ඇති තදබල විශ්වාසය හා දේව බලයෙන් මෙහි ඇති වේදනාව නොදැනේය යන සිතුවිල්ල සිත් තුළ තදින් කා වැදී තිබීම හා බලා සිටින්නන් ඉදිරියේ ඔවුන් වීරයන් ලෙස පෙනීම යන නිසා ඇති වන සතුට මෙයට හේතු වේ. මෙහිදී මට හා පිටෙහි කටු ගැසූ තරුණයාට වේදනාව නොදැනුණේ මෙය බොරු කර පෙන්වීමේ අධිෂ්ඨානය හා සතුට මත අපගේ සිත යොමු වී තිබීම නිසයි.
දෙවැනි කරුණ නම්, අධික රුධිර වහනයක් සිදු නොවීමයි. එයද බොහෝවිට සත්‍යයකි. එයට හේතුව වන්නේ දේව හාස්කමක් නොව, එම කටු ගසන ස්ථානයන් හී ප්‍රධාන රුධිරවාහිනී නොමැති ස්ථානයන් වීමත් කටු ගැසීමට පෙර එම ස්ථාන තදින් අතින් පොඩි කිරීමත්, සීතල ජලයෙන් සේදීම නිසාත් එසේ නොමැති නම් මෙය හිමිදිරි පාන්දර කරන නිසා වන සිසිල නිසා රුධිරවාහිනී සංකෝචනය වී තිබීමත් හේතු ලෙස පෙන්විය හැකිය.
තුන් වැනි කරුණ නම්, තුවාල පැසවීමක් සිදු නොවීමද බොහෝවිට සත්‍ය වන අතර, ඇතැම් අවස්ථාවල එම තුවාල පැසවූ අවස්ථා ද ඕනෑ තරම් ඇත. නමුත් තුවාල පැසවීමේ සම්භාවිතාව අඩුවන්නට හේතුව දේව බලයක් හෝ දේව හාස්කමක් නොව, ඒ සඳහා භාවිත කරන කටු මලකඩවලින් තොර වූ පිරිසිදු කටු වීමයි.
මෙහි හතර වැනි කරුණ, සම ඉරීමකට ලක් නොවීමයි. එයද සත්‍යයකි. මෙහි ඇති විද්‍යාත්මක පසුබිම මෙසේය. කටු වලින් ඇදගෙන යාමේ දී හා එල්ලීමේ දී සිරුර පුරා කටු කිහිපයක් ගසයි. එවිට කටු ගණන වැඩි වීම නිසා එක් කටුවක් මගින් සම මත ඇති කරන සම්ප්‍රයුක්ත බලය අඩු වේ. එම නිසා සම ඉරීමක් සිදු නොවේ. නමුත් එක් කටුවකින් පමණක් එල්ලුවහොත් අනිවාර්ෙයන්ම සම ඉරීමකට ලක්වේ.
මෙහි පස් වැනි කරුණ ලෙස, සැලකෙන මුහුණ හරහා කටු ගැසූ ස්ථානය ඉක්මනින්ම වැසීයාමේ ගුණයයි. එහි ඇතුළාන්තය නම් කටුව ගැල වූ සැණින් සිදුරු වැසීයාමක් සිදු නොවේ. නමුත් එම සෛල හා පටක නැවත ළංවීම නිසාවෙන් බාහිරයෙන් බලන්නකුට එහි සිදුරක් ඇති බව නොපෙනේ. එසේම දින කීපයක් යනවිට එම සිදුර ක්‍රමයෙන් වැසී යයි.
මෙහි හය වන කරුණ එනම් අවසාන කරුණ වන නයි පෙනය මුඛය තුළ දමා කටු ගැසීමේදී කියා ගැනීමට නොහැකි බයත් කුතුහලයත් සතුටත් නිසා වචනවලින් ප්‍රකාශ කළ නොහැකි අපූරු හැඟීමක් ඇති වේ.
එනම්, මෙය දේව හාස්කමක් හෝ දේව බලයක් නොවන බව සත්‍යයකි. මේවා කෙරෙහි මිනිසාගේ සිත තුළ ඇති විශ්වාසය වන්නේ මෙය භයංකාර දෙයක් බවත් එම බිය මැඩගෙන තමා ද කළ බවත් යන හැඟීම හේතුකොටගෙන ඇති වන සතුටත් තමන්ගේ වීරත්වයත් නිසා මනසේ ඇති වන වෙනස් වීමකි.
මා දැක්වූ පරිදි ඉහත කී කරුණුවල විද්‍යාත්මක පදනම එයයි. සත්‍යය එයයි. මට පමණක් නොව, ඔබ ඕනෑම අයෙකුට මෙය කළ හැකියි. මෙයට කිසිදු දෙවි කෙනෙකුගේ හෝ භූතයෙකුගේ හාස්කමක් බලපාන්නේ නැත. මෙය මුළුමනින්ම විද්‍යාත්මක ක්‍රියාවලියක් පමණයි. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා සියල්ලන්ටම පැහැදිලි කරදුණි.
මේ ආකාරයෙන් සිදුකරමින් මෝහයෙන් මුළා වූ ජනතාව තව තව රවටන බව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පවසයි.
කෙනකුට යම් අසනීපයක්, රෝගාබාධයක් වූ කල්හි වෙදැදුරන්ගෙන් මෙන්ම, දෙවි දේවතාවුන්ගෙන් ද පිහිටක් පතන බව සත්‍ය වූ කතාන්දරයකි. එහි වැරැද්දක් නැත. කෙනකු මොන යම් හෝ සිත්තැවුලකට පත්ව සිටින මොහොතක තමන් අදහන ආගම දහම, දෙවි දේවතාවුන්ට දුක කියා පිහිට පැතීමෙන් සිතට යම් සහනයක් ලැබෙන බව නම් විශ්වාස කිරීමට සාක්‍ෂි නැතුවාම නොවේ. එහෙත්,යකැදුරන්, භූතයන්, ආරුඪකරුවන්, පේනකරුවන් සහ අංජනම්කරුවන් පසු පස යැමෙන් නම් සිදු වන්නේ ලෙඩේ තවත් ඔද්දල් කර ගැනීම බව නිසැකය. අද මෙලෙස හොර "තක්‌කඩින්" පසු පස යන්නේ නූගත් මිනිසුන් පමණක් නොව මහ 'පණ්‌ඩිතයන්' කියා සිටින අය ද මෙවැනි ස්‌ථානවල පිහිට සොයති. එහෙත් ඔවුන්ට එවැනි ස්‌ථානවලින් පිහිට ලැබුණේද නැද්ද ? යන්න අපි නොකියමු.නමුත් සත්‍යතාව දැනගෙන කටයුතු සිදුකිරීම වූ කලි වැදගත්ය.
සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත