හීන් බණ්ඩා සහ පුංචි බණ්ඩා පිටිසර ගමක ජීවත් වෙන පියා අහිමි සොයුරන් දෙදෙනෙකි. දරිද්‍රතාවෙන් හෙම්බත්ව සිටින ඔවුහු රැකියාවක් සොයාගෙන කොළඹට එති. ඔවුන් සතුව ඇත්තේ ඇඳුම් කඩමලු කිහිපයක්, මුදල් ස්වල්පයක් සහ බත් ගෙඩියක් පමණකි. මේ සන්තකයම සහිත මල්ල කොළඹදී සොරෙකු විසින් පැහැර ගනු ලබන්නේය. කබලෙන් ළිපට වැටුණ ඔවුන්ට පිහිට වන්නේ තවත් එබඳුම දිළින්දෙකි. ඔහු ඔවුන් තමා වාසය කරන පැල්පත් පේළියට රැගෙන යයි. ඉනික්බිතිව බ්ලොක් ගල් නිෂ්පාදනය කරන ආයතනයක රැකියා ද සොයා දෙයි. ඔවුන් දෙදෙනාට සේවය කරන්නට සිදු වන්නේ වැලි හලන අංශයේය. එක් දිනෙක වැලි ගොඩක තිබී ඔවුන්ට මැණික් ගලක් ලැබෙයි. ඔවුහු ඒ මැණික් ගල විකුණා ධනවතුන් බවට පත් වෙති. ඉනික්බිතිව අම්මා, පුංචි අම්මා ඇතුළු නෑදෑයන් ද කැටුව විත් කොළඹ පදිංචි වෙති. එහිදී ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වෙන ගැටලු, අසීරුතා අපමණය. තමාට කොළඹ නොගැළපෙන බැව් වටහා ගන්නා ඔවුහු අවසානයේදී නැවතත් ගමටම යති.
ඒ 1989යේදී ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වූ දළ ඇති හංසයෝ ටෙලි නාට්‍යයේ කතා සාරාංශයයි. එහි හීන් බණ්ඩා ලෙස මහේන්ද්‍ර පෙරේරාත්, පුංචි බණ්ඩා ලෙස සනත් අබේසේකරත් රඟ පෑහ. එහි ප්‍රධාන කාන්තා චරිත රඟ පෑවේ නදී චන්ද්‍රසේකර සහ චාරුණී අමරසිංහය.
“මේ ටෙලි නාට්‍යයේ ෂූටින් වැඩිපුර කළේ කළුතර, බණ්ඩාරගම ප්‍රදේශවල.. ඇත්තටම ඒ කාලේ හරිම විනෝදයි.. කාටවත් කිසිම කලබලයක් තිබුණේ නෑ.. කවුරුවත් අතරේ තරගයක් තිබුණෙත් නෑ.. වැඩ ඉවර වෙනකම් හැමෝම සෙට් එකේ හිටියා.. අඩුපාඩු හදා ගන්න උදව් වුණා.. ප්‍රවීණ නළුනිළියන්ගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා.. ඒ වගේම ඒ කාලේ මෙගා ටෙලි නාට්‍ය තිබුණේ නෑනෙ.. හුඟක් කතා කොටස් විස්සට අඩුවෙන් ඉවර වුණා.. මේ නාට්‍යයෙත් තිබ්බෙ කොටස් දාසයයි..”
දළ ඇති හංසයෝ හි පුංචි බණ්ඩා ලෙස රඟ පෑ සනත් අබේසේකර එසේ පැවසුවේය.
සිය අයියා ලෙස රඟ පෑ ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා ගැන ඔහු කතා කළේ බොහෝ ප්‍රසාදයෙනි.
“මහේන්ද්‍ර එක්ක රඟ පානකොට මේ ඉන්නෙ ටෙලි නාට්‍යයක කියලා දැනෙන්නෙ නෑ.. ඔහුගේ රංගනය ඒ තරමටම තාත්විකයි.. ඇත්තටම මහේන්ද්‍ර රඟ පානවා නෙමෙයි චරිතය ඇතුළෙ ජීවත් වෙනවා.. ඒ වගේ අසාමාන්‍ය දක්ෂකම් තියෙන නළුවෝ ක්ෂේත්‍රයට වාසනාවක්..” ඔහු කීවේය.
හීන් බණ්ඩා සහ පුංචි බණ්ඩා ගමේ සිට කොළඹට පැමිණි දර්ශනය රූගත කරනු ලැබුවේ පිටකොටුවේය. සොරෙකු විසින් ලුහුබඳිනු ලැබූ ඔවුහු අඳුරු වීදියක සැඟවෙති.
“අපි එහෙම හැංගිලා ඉන්නකොට ඇත්තටම කවුරු හරි අපේ මල්ල හොරෙන් අරගෙන ගිහින්.. ගෙනිච්ච කෙනා හිතන්න ඇත්තෙ ඒකේ වටිනාකියන දේවල් තියෙනවා කියලා වෙන්න ඇති.. අපි මල්ල පිරිලා කියලා පෙන්නන්න කඩදාසි ගුලි අනම්මනම් දානවා කියලා කවුරුවත් දන්නෙ නෑනෙ.. පිටපතේ හැටියට ඒ මල්ල තවත් දර්ශන කීපයකට ඕන කරනවා.. ඒ වගේම බත් මුලත් ආර්ට් ඩිරෙක්ටර් හදවගෙන ඇවිත් තිබුණෙ කිරිකොසුයි, මාළු ඇඹුල් තියලුයි, සම්බෝලයි එක්ක.. ඒක කන දර්ශනේකුත් තියෙනවා.. ඒ හින්දා කොහොම හරි මල්ල හොයා ගන්න ඕන වුණා.. ආර්ට් ඩිරෙක්ටර් ගෙ ගෝලයා හැමතැනම කරක් ගහලා අන්තිමට පාර අයිනේ විසි කරලා දාලා තිබ්බ මල්ල හොයා ගත්තා..”
සනත් අබේසේකර පැවසුවේ ටෙලි නාට්‍යයක දර්ශන එකිනෙකට සම්බන්ධ කිරීමේදී පුංචිම පුංචි දේවල්වල පවා ලොකු වටිනාකමක් ඇති බැව් අපට ඒත්තු ගන්වමිනි.
කුරුසෙ හන්දිය ටෙලි නාට්‍යය තුළින් ක්ෂේත්‍රයට පැමිණි සනත් අබේසේකර මේ වන විට ටෙලි නාට්‍ය විස්සක, ඒකාංගික ටෙලි නාට්‍ය පහළොවක රඟ පා තිබේ. ඔහු ඒවායේ රඟ පාන අතරම අධ්‍යක්ෂණය පිළිබඳව බොහෝ දේවල් හැදෑරුවේය.
“මම මේ වෙනකොට ටෙලි නාට්‍ය පනස් පහක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.. ඒවායින් වැඩි හරියක් මමම ලියලා මමම අධ්‍යක්ෂණය කරපු ඒවා..” සනත් කීවේය.
ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද මහින්දාගමනය, සිරි දළදාගමනය, අනගාරික ධර්මපාල, මහරජ අජාසත්, ගුත්තිලය ප්‍රේක්ෂක සහ විචාරක අවධානය බොහෝ සෙයින් දිනා ගත් චිත්‍රපටි අතර තිබේ. මේ සියල්ලම ආගමික සහ ඓතිහාසික පසුබිමක් සහිත ඒවාය. මේවා අතරිනුත් මහින්දාගමනය සහ දළදාගමනය ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වී සම්මාන ද දිනා ගත්තේය.
මේ දිනවල සනත් අබේසේකර සූදානම් වෙමින් සිටින්නේ වාරියපොල ශ්‍රී සුමංගල හිමිගේ ජීවිත කතාව සිනමාවට නඟන්නටය. වාරියපොල අනු නාහිමි ලෙස නම් කර ඇති එය සඳහා අනුග්‍රහය දක්වන්නේ අස්ගිරි මහා විහාරයයි. ආගමික හා ඓතිහාසික පසුබිම සහිත චිත්‍රපටි නිර්මාණය කරන්නට අවධානය යොමු කිරීම පිළිබඳව සනත් අබේසේකර නම් අධ්‍යක්ෂවරයා විවේචනයට බඳුන් වූ අවස්ථා ද නොතිබුණා නොවේ. සමහරු පැවසුවේ ප්‍රේක්ෂක ජනතාව පහසුවෙන් ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගෙන ඔහු එවන් චිත්‍රපටි නිර්මාණය කරන බවය.
“ප්‍රේක්ෂකයෝ ඒ තරම් ලඝු කරලා හිතන්න අපිට බෑ.. තේමාව මොන තරම් ආගමික වුණත්, ඓතිහාසික වුණත් නිර්මාණය කමකට නැති එකක් වුණොත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නෙ නිෂේධනාත්මක ප්‍රතිචාර විතරයි.. අනිත් එක මේ වගේ චිත්‍රපටියකට අත ගහනවා කියන්නෙ ලොකු අභියෝගයක්.. අවදානමක්.. සාමාන්‍ය චිත්‍රපටියකට වැඩිය දෙතුන් ගුණයක වියදමක් දරන්න සිද්ද වෙනවා.. ඒ යුගයේ ඇඳුම් පැලඳුම්, දර්ශන තල නිර්මාණය කරනවා කියන්නෙ පහසු කාර්යයක් නෙමෙයි.. පුංචිම හරි අතපසු වීමක් වුණොත් ප්‍රේක්ෂක, විචාරක දෙපාර්ශ්වයේම අවමන්වලට භාජනය වෙන්න සිද්ද වෙනවා.. අනිත් එක නිර්මාණය තුළින් ඓතිහාසික කතාන්දරය වඩාත් ඔපවත් වෙනවා මිසක් විකෘති වෙන්න බෑ.. එහෙම වුණොත් ප්‍රේක්ෂක ජනතාව උදහස් වෙනවා..” සනත් අබේසේකර කියන්නේය.
“ඉතින් ඇයි ඒ වගේ අවදානමක් අරගෙන චිත්‍රපටි නිර්මාණය කරන්නෙ..?” මම ඔහුගෙන් එලෙස නොඇසීමි.
“එතකොට තමයි හොඳ නිර්මාණයක් කළා කියන තෘප්තිය ලබා ගන්න පුළුවන් වෙන්නෙ..”
ඒ නොඇසූ ප්‍රශ්නයට පිළිතුරත් මගේ සිත තුළින්ම ඉපදුණේය.
චන්දි කොඩිකාර