දවස් 365ම කිරිපිඬු පූජා කරන එකම විහාරය කන්දේ විහාරයයි


කන්දේ විහාරයේ තොරණ හැදුවේ ඕලන්ද පාලන කාලයේ. අවසන් කළේ ඉංග්‍රීසි පාලන කාලයේ. ඉංග්‍රීසි ලාංඡනය වන කඟවේනා අදත් තොරණේ තියෙනවා.  


දස අවතාරයකින් පෙනී සිටින විෂ්ණු දෙවියන් නිරන්තරයෙන්ම ජනතාවගේ දුක් කම්ක​ෙටාලුවල දී පිහිටට වඩින දේවතාවකු බව අලුත්ගම කන්දේවිහාරස්ථ ක්ෂේත්‍රාරාම විහාරාධිකාරි කොක්කාවිට විපුලසාර හිමියෝ පවසති.  
කන්දේ විහාරය ආරම්භ කළ 1734 වසරේ සිටම විෂ්ණු දේවාලය ද ආරම්භ කර තිබේ. එදා සිට මේ දක්වා විෂ්ණු දෙවියන්ට කරන පුද සත්කාර එලෙසින්ම පවත්වාගෙන යන බව උන්වහන්සේ පැවසූහ.  


විෂ්ණු දෙවියන් කියන්නේ මහා බලසම්පන්න දේවතාවුන් වහන්සේනමක්. උන්වහන්සේගේ බල මහිමය මේ විශ්ව ලෝකයේම බලපවතිනවා. නමුත් උන්වහන්සේව අදහන්නේ ඉන්දියාවේ හා ලංකාවේ පමණයි.  


ඇත්තටම දෙවියන්ගේ පිහිටක් තිබෙනවා ද?  


දෙවියන්ගේ පිහිටක් තිබෙනවා කියලා මිනිස්සු තුළ විශ්වාසයක් තිබෙනවා. නොපෙනෙන බලවේගයක් වුවත් විශ්වාසයක් ඇතිව වන්දනාමාන කරන ජන සමාජයක් අද තිබෙන්නේ. ඒ විශ්වාසය අනුව තමයි දේව පිහිටක් තිබෙනවා කියලා මිනිසුන් තුළ විශ්වාසයක් පවතින්නේ. ඒක සමාජගත සංකල්පයක්. දෙවිනුවර විෂ්ණු දේවාලය ආරම්භ වෙලා කාලයක් ගතවුණාට පස්සේ තමයි අලුත්ගම කන්දේවිහාරයේ විෂ්ණු දේවාලය ආරම්භ වුණේ.

කරපාගල දේවමිත්ත කියන ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය බෙන්තර සෝනුත්තර කියන හාමුදුරු​ෙවා් තමයි කන්දේ විහාරය ආරම්භ කරන්න මූලික වුණේ. උන්වහන්සේ තමයි මේ විෂ්ණු දේවාලයත් ආරම්භ කරන්න කටයුතු කළේ.

 
කන්දෙ විහාරයේ ඉතිහාසය ගැන සඳහන් කළොත්?


 කන්ද විහාරය ආරම්භ කළේ 1734 වසරේ ඕලන්ද කාලයේ. දකුණු මුහුදු තීරයේ ඕලන්ද පාලන කාලයේ පල්ලි, විහාරස්ථාන ඉදිකළා. ඒ සම්ප්‍රදායට අනුව ඉදිවුණ තොරණ තමයි දේවාලය ඉදිරියෙන් තිබෙන්නේ. නමුත් එහි වැඩ අවසන් කරලා තිබෙන්නේ ඉංග්‍රීසි පාලන කාලයේ. ඒ අනුව තමයි ඒ තොරණේ ඉංග්‍රිසින​්ගේ ලාංඡනය වන කඟවේනගෙයි, සිංහයාගේ රූපයයි අඹලා තිනේනෙ. මේ විහාරස්ථානයේ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති බවට ද සඳහන් වෙනවා.  


දින 365 දවසේම කිරිපිඬු පූජා කරන ලක්දිව එකම විහාරස්ථානය තමයි කන්ද විහාරය. මම දන්න විදිහට දිවයිනේ කොහෙවත් විහාරස්ථානයක හැමදිනම කිරිපිඬු පූජා කරන බවක් අහලා නැහැ. ඒකට විශේෂ හේතුවක් තමයි, මේ විහාරස්ථානයේ සීවලී මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තිබීම. සිවලී මහරහතන් වහන​්සේ ලැබීම් අතින් අග්‍රස්ථානයේ වැඩවසනවා කියලා අහලා තිබෙනවා.  


විශේෂයෙන්ම මේ ධාතු මන්දිරයත් විශේෂයි. ධාතුන් වහන්සේ වන්දනා මාන කරන දොරටුවේ උළුවස්ස අඩි 5කට වැඩි නැහැ. එහෙම හදලා තිබෙන්නේ ධාතුන් වහන්සේට ගෞරවයක් ලෙස හිස නමාගෙන ඇතුළුවීමටයි. ඒ වගේම නුවර යුගයේ තිබෙන අග්‍රගණය රූප රැසක් ඒ ධාතු මන්දිරයේ අඹලා තිබෙනවා.  


ඒ වගේම තමයි කෞතුකාගාරයක්. එදා සිට මේ දක්වාම බැතිමතුන් පූජා කළ පූජා භාණ්ඩ අදටත් සුරක්ෂිතව තිබෙනවා. විවිධ කාරණාවලට භාරහාර වුණ දේවල්වල අනුරූප තමයි එහි තැන්පත් කරලා තිබෙන්නේ. අනික විහාරස්ථානයේ ඉදිකර තිබෙන විශාල බුද්ධ ප්‍රතිමාව.  


මෙවැනි ප්‍රතිමා ඉදිකිරීමේදී ප්‍රතිමාව පිටුපසින් ආධාරකයක් තිබෙනවා. නමුත් කන්​ෙද විහාරයේ බුද්ධ ප්‍රතිමාවේ ආධාරකයක් නැහැ. පිළිමයේ බර අඩු කරන්න මැදින් කුහරයක් තිබෙනවා. ඒක තමයි විශේෂත්වය. හික්කඩුවේ සුමංගල නාහිමියන්ගෙන් පැවත  එන සඟ පරපුරක් තමයි මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ. දැන් ඉන්නේ 8 වැනි සඟ පරම්පරාවයි.  


විෂ්ණු දෙවියන් ගැන අපි තවදුරටත් කතා කළොත් නායක හාමුදුරුවනේ?  


ඔව්, අපි මුලින් සඳහන් කළානේ උන්වහන්සේ අවතාර 10කින් පෙනී සිටිනවා කියලා. ඒ හැම අවතාරයෙන්ම මනුෂ්‍යයන්ට පිහිට වෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා. ඒකනේ විෂ්ණු දෙවියන්ව බොහෝ දෙනෙක් අදහන්නේ. මේ කන්දෙ විහාරයේ අඹලා තිබෙන්නේ මහානුභාවසම්පන්නයෙන් වැඩ සිටින ආකාරයටයි. 1734දී ඉදිකළ පිළිමයමයි තවමත් තිබෙන්නේ.  


විෂ්ණු දෙවියන්ගේ බලපෑමක් ඇත්තටම තිබෙනවා ද?  


මිනිසුන් අතර විශ්වාසයක් තිබෙනවා තමන්ට විපතක් වූ මොහොතක පිහිටට දෙවියන් වැඩ සිටිනවා කියලා. ඒක ඔවුන් තුළම තිබෙන විශ්වාසයක්. ඉතින් ඒ වගේ අවස්ථාවලදි දෙවියන්ගේ පිහිට පතා විවිධ භාර හාර වෙනවා. ඒවා ඉෂ්ඨ වෙලත් තිබෙනවා. ඒකනේ බොහෝ දෙනෙක් භාර හාර ඔප්පු කරන්න පැමිණෙන්නේ.  


හොඳම උදාහරණයක් මම කියන්නම්. මේ බෝධියේ එක් අත්තක් දේවාලයට බරවෙලා තිබුණා. ඒ අත්ත කපන්න මේ පළාතේම ඉන්න දක්ෂ අතු කපන්නකුට පැවරුවා. බොහෝ අය බියක් දක්වනවා බෝධින් වහන්සේගේ අත්තක් කැපීමට. අපි භාර හාර වෙලා ඒ වැඩේ පැවරුවා ඒ තැනැත්තට. කඹයක ආධාරයෙන් බෝධින් වහන්සේගේ අත්ත කැපුවා. පහුවෙනිදා ඒ පුද්ගලයා සදාකාලික අංශභාග රෝගියකු වුණා.  

 

ඒ වගේම තමයි මේ දේවාලයේ පාත්තරයක් සොරකු විසින් ගෙන ගියා. ඒ පුද්ගලයාට එදා ඉඳලා නිදාගන්න දීලා නැහැ හීනෙන් බය කරනවාලු. පහුවෙනිදාම ඒ පුද්ගලයා උමතුවෙන් වගේ ඇවිල්ලා පාත්තරය නැවත ගෙනත් දීලා වැඳලා තමන් කළ දෙය ගැන පාපොච්චාරණය කරලා තිබෙනවා.

 
ඔය වගේ නොපෙනෙන බලවේග ගැන තොරතුරු තිබෙනවා. මේ දේවාලය බිඳින්න නැකතක් බලලා පිරිසක් ඇවිත් තිබෙනවා. නායක හාමුදුරුවන්ට වෙඩි තබලා දේවාලයේ භාණ්ඩ ගෙනයන්න උත්සාහ කරලා තිබෙනවා.

කොහොමහරි නායක හාමුදුරුවන්ගේ ජීවිතයත් බේරුණා. කිසිම භාණ්ඩයක් ගෙනියන්න බැරිවුණා. ඒ සියලු දෙනාටම උන් හිටි තැන් නැතිවෙලා උමතුවෙන් වගේ තමයි ජීවත්වෙලා තිබෙන්නේ. ඔය වගේ දේවල් වෙලා තිබෙනවා අපි දැනුම්වත්වම. ඒවා සක්සුදක් සේ විශ්වාසයි.  


කන්දෙ විහාරයේ ජීවමානව විෂ්ණු දෙවියන් වැඩසිටිනවා ද?  


බොහෝ දෙනා තුළ විශ්වාසයක් තිබෙනවා විෂ්ණු දෙවියන් මේ ස්ථානයේ වැඩ වෙසෙනවා කියලා. නමුත් අපි කවුරුත් දෙවියන් දැකලා නැහැ. එහෙත් අපි නිරන්තරයෙන්ම දැකලා තිබෙනවා මේ බෝධින් වහන්සේගේ ඉඳලා කළුතර බෝධිය දෙසට දේවතා එළි වගේ දේවල් නිතරම දක්නට ලැබෙනවා. එ​් වගේ දේවල් අපි නිරන්තරයෙන්ම දැකලා තිබෙනවා. යම්කිසි බලවේගයක් නොමැති නම් ඒ වගේ දේවල් සිද්ධවෙන්න බැහැනේ.

 
විෂ්ණු දෙවියන්ගේ බලපෑම් මේ මිහිතලය මත විශේෂිත වූ ලෙස දක්නට ලැබෙන බව ප්‍රවීණ කපු මහතකු වූ නිමල් ජයසූරිය මහතා ප්‍රකාශ කළා. උන්වහන්සේ අවතාර 10න් ම පෙනී සිටිනවා.  


විෂ්ණු දෙවියන්ට විශේෂිත වූ පූජාවන් තිබෙනවා ද?  


විශේෂිත වූ පූජාවන් නැහැ. නමුත් අපේ බැතිමතුන් තුළ විශ්වාසයක් තිබෙනවා විෂ්ණු දෙවියන්ගේ ශරීරය නිල්පාට නිසා නීල වර්ණයෙන් යුතු මල්, නීල වර්ණ තිර පටි වගේ දේවල් පූජා කරන්න. ඒ වගේම කිරිපිඬු පූජාවත් විශේෂයි. මොකද විෂ්ණු දෙවියන්ගේ වාහනය ගුරුලා නිල්පාටයි. ඒකයි නිල් පාට විශේෂ.  


විෂ්ණු දෙවියන් නිවසක අදහන්න පුළුවන් ද?  


විෂ්ණු දෙවියන් පමණක් නොවෙයි මොනයම් දෙවියෙක් වුණත් ගෙදරක අදහන්න හොඳ නැහැ. මොකද නිවසක නිතරම කිළිවලට හසුවෙනවානේ. කිලි කියන්නේ අපවිත්‍ර දේවල්වලටනේ. ඉතින් ඒ වගේ තැන්වල දෙවියන්ට පහන් දල්වන්න හොඳ නැහැ. දෙවියන්ට පහනක් දල්වනවා නම් නිවසක ඉදිරියෙන් පිරිසිදු පහන් වැටක් ඉදිකරලා පුද පූජා තැබුවට වරදක් සිද්ධ වෙන්නේ නැහැ.

 
විෂ්ණු දෙවියන්ට පහන් දල්වන පහන උදේ 6ට තබනවා නම් හොඳයි. උදේ 6ටයි සවස 6ටයි පහන් දල්වන්න ඕනෑ.  


ඒ වෙලාව විශේෂිත වන්නේ ඇයි?  


ඒ වෙලාවට තමයි විෂ්ණු දෙවියන්ගේ බැල්ම වැටෙන වෙලාව. හැබැයි අපි පිරිසිදුව ප්‍රතිපත්තිගරුකව තමයි පහන් දල්වන්න ඕනෑ. පන්සිල් ආරක්ෂා කරගෙන තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගෙන ප්‍රතිපත්තිගරුකව වැඩ සිටිනවා නම් විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාසය ලබාගන්න පුළුවන්. එ් වගේ අයට විෂ්ණු දෙවියන්ගෙන් වරමක් වුවත් ලබා ගන්න පුළුවන්.  


විෂ්ණු දෙවියන්ට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පැවරූ කතාවක් තිබෙනවා නේද?  


බුදුහාමුදුරුවෝ සම්බුද්ධ ශාසනය ලක්දිව පිහිටුවනවා කියලා සමන් දෙවියන්ට එය රැකීමට බාර කළා කියලා කතාවක් තිබෙනවා. ඉතින් සමන් දෙවියන් තමයි විෂ්ණු දෙවියන්ට පවරලා තිබෙන්නේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කියලා. ඒ සඳහා විෂ්ණු දෙවිඳුන් මෙරටට වැඩම කළා.

 
විෂ්ණු දෙවියන් මුලින්ම ලංකාවට වැඩියේ කුමන ස්ථානයකට ද?  


අපි මුලින් සඳහන් කළානේ රාමා - සිතා යුද්ධය ගැන. විෂ්ණු දෙවියන් ඒ මොහොතේයි ලංකාවට වැඩම කරලා තිබෙන්නේ. ඒ යුද්ධයට මුහුණදෙන්නයි. ඒත් සමන් ​ෙදවියන් විසින් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කියලා පැවරුවාට පස්සේ වාසභූමිය ලෙස තෝරා ගත්තේ දෙවිනුවර උපුල්වන් දේවාල භූමියයි. පසු කාලයේ තමයි අලුත්ගම කන්ද විහාරයේ උන්වහන්සේගේ මහානුභාව සම්පන්න පිළිරුවක් හදලා, වන්දනා මාන කරන්න පටන් ගත්තේ. දෙවිනුවර තමයි උන්වහන්සේගේ මුල්ම වාස භූමිය හැටියට සැලකෙන්නේ. නමුත් දැන් කන්දෙවිහාරයත් ඉතාමත් ප්‍රසිද්ධයි විෂ්ණු දේවාලය නිසා.

 

 

 

 
ලබන සතියට  
සටහන -
නිශාන්ත කුමාර බණ්ඩාර