“සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
කුඹුකෙ ළිඳෙන් දිය ඇදලා නාලා
හැඩ වැඩ වෙන්න ඔයා
ලස්සන සළු පලඳා
එනවා ඔබව සොයා.....”
රාජකපුරු නාට්‍යයේ එන මෙවැනි අරුත්බර හැඟුම් බර රසවත් ගී දහරක් ජනගත කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදී, වේදිකා ටෙලි රංගන ශිල්පී සොඳුරු නිර්මාණකරුවා තවත් පරම්පරා ගණනකට අමතක වෙන එකක් නැහැ.
ඔහු වෙනත් කවුරුවත් නොවෙයි, සරත් කුලාංගයි. කුලාංග පරපුරේ කීර්තිනාමය නව ලොවට රැගෙන යන ඔහුගේ දයාබර දියණිය වන නර්තන හා රංගන ශිල්පිනී නිර්මාණී ප්‍රභාස්වරී අද සඳැල්ලට ඇවිත්.
කොහොමද කලාව දැන හැඳින ගත්තේ?
මං හිතන්නේ කලාව මට පරපුරෙන්ම ආවේණික වෙන්නැති කියල. අපේ පවුලේ තාත්තා, මල්ලි, නංගි සහ අම්මාගේ නංගී ඇතුළු හැමෝටම කලා කුසලතා පිහිටලා තියෙනවා. අම්මාගේ නංගී (පුංචි) නම් නර්තන කලාව ප්‍රගුණ කරලා ඉහළ මට්ටමකයි ඉන්නේ. ඇය දර්ශනී උපමාලි. දැනට තරුණ සේවා සභාවේ නර්තන උපදේශිකාවක්. පුංචිගේ මග පෙන්වීම මත මාත් නංගිත් නර්තන කලාව හැදෑරුවා. මල්ලි නම් මුලින් ටෙලිනාට්‍යවල රඟපෑවත් පස්සෙ ක්‍රීඩා අංශයට නැඹුරු වුණා. තාත්තයි මායි නම් උනන්දුවක් දැක්වූයේ රංග කලාව පිළිබඳවයි.
ඒ වගේම පුංචිගෙ සැමියා දේවප්‍රිය කුමාර රාජ්‍ය නර්තන කණ්ඩායමේ බෙරවාදන ශිල්පියකු ලෙස අද ප්‍රවීනත්වයේ ඉන්නවා. මගේ සැමියා විදුර අබේධීර වෘත්තීය අංගරචන ශිල්පියකු ලෙස නම් දරා සිටිනවා. එයා සෝමරත්න දිසානායකයන්ගේ දැනට තිරගතවන “සිංහබාහු”, “සුනාමි”, “සරිගම” වැනි සිනමා නිර්මාණවල ප්‍රධාන අංගරචන ශිල්පියායි. වේදිකා නාට්‍ය කලාවේද අංගරචනය කරනවා.
ඒ කියන්නේ ඔබ නර්තන ශිල්පිනියක්?
නර්තනය තමයි මගේ කලා ප්‍රවිෂ්ටයේ මුල් පියවර. පුංචිගේ දරුවනුත් කලාවේ අත්පොත් තැබුවේ නර්තනයෙන්. මගේ දරුවනුත් නර්තනයෙන් කුසලතා දක්වමින් ඉන්නවා. මං මුලින් ගියේ පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලට. උසස් පෙළ හැදෑරුවේ හොරණ තක්‍ෂිලා මහා විද්‍යාලයෙන්. පුංචි නිසා තමයි නර්තන විෂයට නැඹුරු වුණේ. හැබැයි මගේ කලා දිවියේ පෙරළියක් ඇතිවුණෙත් තක්‍ෂිලාවෙදි තමයි.
ඒ කිව්වේ?
උසස් පෙළ හදාරද්දී අපට දේශන පවත්වපු ප්‍රවීණ නාට්‍යවේදී අරුණගම්මුනි ආචාර්යතුමා කොතරම් සොඳුරු, අර්ථවත් බසින් නාට්‍ය සාහිත්‍ය රසය බෙදා දුන්නාද කිව්වොත් එම රහට මං වශීවුණා. ඒ රහ නිසාම මා තීරණය කළා විශ්වවිද්‍යාල විශේෂ උපාධිය සඳහා නාට්‍ය හා රංග කලාව හැදෑරීමට ඉල්ලුම් කරන්න.
සරසවියේදී අපට උපදේශකත්වය දුන් ප්‍රියංකර රත්නායක, ප්‍රසන්නජිත් අබේසූරිය, ඉන්දික ෆර්ඩිනැන්ඩු වැනි ගුරු පියවරු සිහිකළ යුතුමයි. සරසවිය තුළ නාට්‍ය නිෂ්පාදන රැසකට රංගනයෙන් මා දායක වුණා විෂයට අනුබද්ධ නිසා.
නර්තනයෙන් රංගනයට පිවිසෙන්න අසීරු වුණාද?
මේකනේ. අපි පුහුණුවේදී රඟපෑවේ ලංකාවේ ජනප්‍රියම නාට්‍යවල ජවනිකා. විවිධ චරිතාංග රඟපාද්දි ලැබුණ පන්නරය බොහොම ශක්තියක් වුණා.
කොතරම් ද කිව්වොත් 2008 වසරෙ විශේෂ උපාධිය කළ අපේ කණ්ඩායමේ අවසන් වසරේ නිෂ්පාදනය වුණ ‘පුංචි පළිඟු රෑන’ නාට්‍යයට උසස්ම ප්‍රතිචාර ලැබුණා. විචාරක ඇගයීමත් එ් තරමටම තිබුණා. එහි මා රඟපෑවේ “නෝරා” නම් ප්‍රධාන චරිතය. මා එහි රංගවස්ත්‍ර නිර්මාණයන් කළා.
නාට්‍ය හා රංග කලාව විශේෂ උපාධිය හදාරන්න හිටියෙ අපි පස්දෙනාගෙ නඩේ වෙනුවෙන් ඒක අධ්‍යක්ෂණය කළේ විජිත බණ්ඩාර සමග ලක්ෂි චන්දිමා. ඒ සොයුරු සොයුරියන් මං ආදරෙන් මතක් කරනවා. ඒ නාට්‍යය තමයි ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය (Turning Point). තවමත් අපේ අය එකතු වුණාම මතක් කරන්නේ “නෝරා” ගේ භූමිකාව ගැනයි.
තාත්තා ඔබට දක්වන සහයෝගය කොයි වගේද?
තාත්තාත් දිගුකාලීනව ගුරු වෘත්තියේ නියැලුන කෙනෙක්. එයා කාටූන් චිත්‍ර කලාව, සංගීතය, නාට්‍ය අධ්‍යක්ෂණය, රංගනය හා විවිධ නිර්මාණ කලාවන් හදාරපු කෙනෙක්. දුෂ්කර පළාත්වල සේවය කළා. කුසලතා ඔප්නංවා ගැනීමට හව්හරණක් නොමැතිව සිටි දහස් ගණන් දරුවන්ට සෞන්දර්ය විෂයන් හා හෙළ බස තුළින් ඇස් පාදපු ගුරු චරිතයක්. ඒ ඔහු තුළ ඉන්න සරල සුන්දර මිනිසා තමයි විවිධ නිර්මාණ තුළින් අපට පෙනෙන්නේ.
තාත්තා මගේ අනාගතයට ගැළපේ යයි සිතුණ හැම තැනකටම මා යොමු කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පරිබාහිර අධ්‍යක්ෂවරයකු යටතේ රඟපාන්න වරම් ලබා දුන්නෙත් තාත්තයි. නාට්‍යයේ නම “මං තාම පණපිටින්”. අධ්‍යක්ෂවරයා අනුර දහනායකයි.
කොහොමද ලැබුණු සහයෝගය?
ඇත්තෙන්ම නන්නාඳුනන පිරිසක් ඉදිරියේ මට කුමන අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙයිද කියල මුලින්ම තිගැස්මක් තිබුණා. මොකද මා දන්නේ තාත්තා ගැන විතරයිනේ. “මං තාම පණපිටින්” හි නාට්‍ය කණ්ඩායම අත්දැකීම් සහිත පිරිසක්නේ. ඒත් ඔවුන් මාව ධෛර්යවත් කරලා හැම සහයෝගයක්ම දුන්නා.
මං එහි රඟපෑවේ “එතනා” කියන ප්‍රධාන චරිතය. මා සමග නළු භූමිකාව රඟපාන්න හිටියේ ප්‍රවීණාචාර්ය රංගවේදී ජයලාල් රෝහණයන්. එතුමා හදිසි අනතුරකට ලක්වෙලා ඔත්පලවී මියයාම තවමත් අපට දරාගන්න බැහැ.
පුහුණුවීමේ අවසාන අදියරේදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය බුද්ධික රණවීර ශිල්පියාණන් ඉදිරිපත් වෙලා එම භූමිකාව මනා ලෙස කළා. එහි තාත්තා සංගීතය මෙහෙයවූවා. ඒ තමයි මගේ දෙවෙනි හැරවුම.
මෙම කතාබහ අතරේදී සරත් කුලාංගයන්ද මා සමග සම්බන්ධ වුණා.
දුව දක්‍ෂ කුසලතා පූර්ණ දරුවෙක්. එයාත් මං වගේ ස්ව උත්සාහයෙන් කලාවේ විවිධ පැතිකඩ සොයාගනිමින් දුර ගමනක් යන බව පේනවා. මට හැකි අයුරින් ඇයට සහයෝගය දෙනවා. මෙවැනි දරුවන් රැසකට මගේ ගුරුවෘත්තිය තුළ අතහිත දුන්හැටි අද වගේ මතකයි.
කලා කුසලතා තිබුණාම මදි. එය උලුප්පා ගත හැකි පුද්ගල කණ්ඩායම් මුණගැසෙන්න ඕනෑ. මම මුලින්ම කාටුන් ශෛලියේ චිත්‍ර ඇඳලා යහළුවන්ට තෑගි කළා. සංගීත කණ්ඩායම් හදාගෙන නමක් දිනාගත්තා. දුව මං වගේම උසස් පෙළ කළේ හොරණ තක්‍ෂිලාවේ. මං දවසක් පුස්තකාලෙදි අහම්බෙන් පොතක් කියෙව්වා “කුවේණි” කියලා මට හිතුණා ඒ අනුව නාට්‍ය පෙළක් ලියන්න ඕනෑ කියලා. “ඒකේ නම අන්ධභූත” ඒ මගේ පළවෙනි නාට්‍යයයි.
ඔය අතරෙ තමයි හොරණ නාට්‍ය කණ්ඩායම හැදුණේ. එතකොට මං හිටියේ තක්‍ෂිලාවේ. මේ කණ්ඩායමට බැඳෙන්න නාට්‍ය හා රංග කලාව පිළිබඳ “උණ” තියෙන, එකා දෙන්නා එක්රොක් වුණා. හොරණ විද්‍යාරත්නයේ ඉගෙනුම ලබමින් සිටිය ජනක් ප්‍රේමලාල්, ශ්‍රී පාලියේ ඉගෙනුම ලැබූ සද්ධා උත්පලකන්ද හා පස්සෙ රවීන්ද්‍ර යසස්, විනී වෙත්තසිංහ වගේ අය එක් වුණා. “ගිරි දිවයින” නාට්‍යය අපි හැදුවේ එහෙමයි.
දිගුකාලෙකට පස්සෙ ඒ නම වෙනස්කරලා “අබුද්දස්ස කෝලම” නමින් යෞවන නාට්‍ය උළෙලට දැම්මා. ප්‍රධාන සම්මාන 12ක් දිනාගත්තා. ඒ ආපු ගමන තමයි “හොරණ නාට්‍ය නඩය” තවමත් මේ යන්නේ. රාජකපුරුත් ජනප්‍රිය තලයට ආවා.
අපි ආයිත් නිර්මාණි දෙසට හැරෙමු
ඇත්තෙන්ම හොරණ නාට්‍ය කණ්ඩායමක ආරාධනයෙන් 2009 යෞවන සම්මාන උළෙලට අපි “හංස ගීතය” කළා. එය අධ්‍යක්ෂණය කළේ දුමින්ද සඳරුවන්. ජාතික තරුණසේවා සභාවේ සමන් මහතාවත් සිහිකරනවා. එහි රොසිටාගේ ප්‍රධාන චරිතය රඟපෑවේ මං. හොඳම නිළියට මා නිර්දේශ වුණා.
ඒ වගේම චමරු පතිරණගේ අධ්‍යක්ෂණය කළ “අමුතු හිරගෙයක්” නමැති ගිරිෂ් කන්නාගේ “නාග මණ්ඩල” කෘතියේ පරිවර්තන නාට්‍යයේ “ප්‍රාණී” ලෙස මා රඟපෑ චරිතයට සැහෙන ප්‍රේක්‍ෂක හා විචාරක පැසසුම් ලැබුණා.
ඒ අනුව 2010 යොවුන් සම්මාන උළෙලේ හොඳම නිළිය හා නැගී එන නිළිය ලෙස ජූරියේ අගැයීම් කුසලතා සම්මානය ලැබුණ මා රඟපෑ චරිත ගණන ටික වුණත් ඒවා හරිම ප්‍රබලයි.
ඔබ ක්ෂේත්‍රයෙන් හිටිහැටියේ දුරස් වුණා නේද?
2011 සිට විවාහය හා දරුවන් නිසා විවෘත වේදිකාවට පය තැබුවේ නැහැ. 2011 සිට 2025 ඒ කියන්නේ අද වනතුරා මා ශ්‍රී සුමංගල විදුහලෙහි නාට්‍ය හා රංගකලාව උගන්වනවා. කලාවෙන් වෙන් වුණාට පාසල් දරුවන් සමග අපූරු නිර්මාණ රැසක් කළා. එතුළින් බිහිවූ විශිෂ්ට කුසලතා හා දරුවන් රැසක් කලාවේ හොඳ තැන්වල. අද ඉන්නවා.
2023 දී ඔබ යළි ක්ෂේත්‍රයට එනවා?
ඔව්. ඒ 2023දී මහාචාර්ය එම්. සෆීර් මෙහෙයවූ කොළඹ ජාත්‍යන්තර රංග උළෙලට “ඒක පාත්‍ර’’ අංශයෙන් තරග කළ ‘ඉක්වල් ෆීලින්’ නාට්‍යයේ රංගනය සඳහායි. මෙම නාට්‍ය ක්‍රමය අපට අලුත් දෙයක්. නාට්‍යය පුරාම ඉන්නේ එකම නළුවයි. දෙබස් සංවාද මුකුත් ආවේ නෑ. ශාරිරික අභිනයෙන් තමයි සේරම කරන්න ඕනෑ. මේ අභියෝගය ජයගත්තා විතරක් නොවෙයි හොඳම නිර්මාණයට හා හොඳම නිළියට ලැබෙන සම්මානය දිනාගත්තා.
2024 දී එම නාට්‍යය නියෝජනය කරමින් මා හට විදේශගතවීමට සැලසුණා. මේ වසරේත් මෙම නාට්‍ය උළෙල සඳහා සූදානම් වෙමින් ඉන්නවා. මේ වගේ දිශානතීන්ට මං හරි ආසයි.
තාත්තගේ කලා ශෛලීන් ගැන මොනවද අදහස්?
තාත්තා සහ මට රංගනයෙන් එක්වන්නට සිදු වූ අවස්ථා විරලයි. ඒත් තාත්තා යනු කවුදැයි අධ්‍යයනය කර ගත්තේ මා පමණක් විය යුතුයි. තාත්තා නිර්මාණවලදී දක්වන අව්‍යාජ බව, කෘතහස්ත බව හා ශිල්පීන් සමග වූ සුහදතාව හරිම සුන්දරයි.
තාත්තා ලෝක ධර්මි, නාට්‍ය ධර්මි මෙන්ම නව නාට්‍යවලට රංගනයෙන් දෙන අපූර්වත්වය අදහාගන්න බෑ. රංගනය හදාරන කෙනෙක් වශයෙන් මට හිතෙන්නේ සරත් කුලාංග නම් නළුවාගේ රංගන පරාසය ගැන කතිකාව මීට වඩා විය යුතු බවයි.
ලලිතා සරච්චන්ද්‍රයන්ගේ නිර්මා වැනි නාට්‍යවල පවා තාත්තා රංගන විභූතිය විහිදවනවා. මේ විචිත්‍රත්වයට මං කැමතියි. විශ්ව විද්‍යාලයෙන් මං රංගනය ඉගෙනගත්තත් තාත්තව මට පේන්නේ “කලා විශ්වවිද්‍යාලයක්” වගෙයි.
කලාවට කාලය සොයාගැනීමට රැකියාව බාධාවක් වුණාද?
තාත්තත් මාත් ගුරුවරුනේ. අපි ජීවිතය කලාව කරගත් අය. ඒත් රාජකාරිය ඊට අතරමැදියෙකු කරගත්තේ නෑ. දරුවන්ගේ ඇස්පාදන එක තරම් කුසලයක් තවත් නෑ. තාත්තත් බොහෝ නිර්මාණ කළේ විශ්‍රාම ගියාට පස්සෙයි.
ගෙදර හැමෝම ඔයාට සහය දෙනවද?
මගේ අම්ම නිලන්ති ප්‍රනාන්දු. මල්ලි තරිඳු ධනංජය, දර්ශනී පුංචි, සැමියා විදුර අබේධීර ඇතුළු පිරිස වගේම සමස්ත ලංකා නර්තන තරගාවලියේ පළමු තැන දිනූ සඳලි අබේධීර මගේ දුවා හා ළමා නාට්‍ය රංග ශිල්පිනි ජයදි අබේධීර දුව පුදුම සහයෝගයක් දෙනවා.
ඔයාගෙ ඊළඟ කඩඉම මොකක්ද?
අධ්‍යාපනය පැත්තෙන් නම් ශාස්ත්‍රපති, ශාස්ත්‍රවේදී කඩඉම් පසු කළා. “දර්ශනපති” කඩඉමේ අවසාන වසරයි මේ යන්නේ. තාත්තටත් ශක්තිය දෙමින් ක්ෂේත්‍රයේ රැඳෙන්නයි එකම පැතුම.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි