ටික් ටොක් රැජිණ


සෙව්වන්දි නයනතාරා

මෙවර ‘යූ ටියුබ් ලෝකය’ තුළින් ඉරිද ලංකාදීප සමගින් කතාබහක යෙදෙන්නේ ‘ටික්ටොක් රැජිණ’ ලෙස තරුණ පිරිස් හඳුන්වනු ලබන තාරුණ්‍යයේ හදබැඳගත් චරිතයක්.   
ඇය නමින් සෙව්වන්දි නයනතාරා.

 

 

සෙව්වන්දි නයනතාරා ටික්ටොක් රැජින කියලාත් හඳුන්වනවනෙ ඉතින් මේ ආරම්භය සිද්ධ වුණේ කොහොමද?   


මෙහි ආරම්භය සිද්ධ වුණේ 2018 අවුරුද්දෙ වගේ මුලින්ම මේ ටික් ටොක් මාධ්‍ය හැඳින්වුණේ ‘මියුසිකලි’ නමින් නමුත් මුලින් ඒ කාලෙ මේ ඇප් එක ලංකාවෙ එතරම් ප්‍රචලිත ප්‍රසිද්ධ දෙයක් නෙවෙයි. නමුත් මම ඒ ඇප් එක හරහා කරලා තිබුණු වීඩියෝ කිහිපයක් දැක්කම මටත් ආසා හිතුණා ඒ හරහා වීඩියෝවක් කරන්න, ඉතින් මම මුලින්ම මගේ යාළුවො දෙන්නට තමයි කිව්වෙ අපිත් වීඩියෝවක් කරමු කියලා. නමුත් එයාලට ලැජ්ජයි කියලා කළේ නැහැ. නමුත් මම වීඩියෝ දෙකක් විතර කළා. ඒ කරපු මුල්ම වීඩියෝව හිතාගන්න බැරි විදියට ජනප්‍රිය වුණා. ගොඩාක් දෙනෙක් අතරෙ ෂෙයා වුණා. ඒ තුළින් මාව ගොඩාක් දෙනා දැනගත්තා. ලැබුණු ප්‍රතිචාර නම් අති විශාලයි.   


මොනවද නයනතාරා මුලින්ම කරපු වීඩියෝ?   


රංගනයන්, නර්තනයන්, ගීත ගායනා හැමදේම එකතු කරගෙන තමයි මම ඒ වීඩියෝ කළේ. ඒ තුළින් විවිධාකාර විදියේ වීඩියෝ කළා. ගීතවලට රංගනයන් එකතු කළා. චිත්‍රපටවල දෙබස් එකතු කරගෙන නිර්මාණයන් කළා. හාස්‍යෝත්පාදක රංගනයන් කළා.   


ඇත්තටම මේ හැමදේම කළේ ගෙදර කම්මැලිකමට ඉන්න වෙලාවන්වල තමයි. මම කොහොමත් විවේකයක් ලැබෙන හැම මොහොතකම වගේ කළේ ගීත කියන එක නැත්නම් ගීතවලට නර්තනයක් ඉදිපත් කිරීම තමයි. ඒවා වීඩියෝ කරලා තමයි ගොඩාක්ම ටික්ටොක් මාධ්‍යයට එකතු කළේ. ඉතින් මම හිතුවෙවත් නැති විදියට මම සමාජ මාධ්‍යයට ඒ ජොලියට කරලා දාපු වීඩියෝ ගොඩාක් දෙනෙක් අතර ෂෙයා වුණා. ඉතින් ලැබුණු ප්‍රතිචාර අතිවිශාලයි.   


මේ විදියේ ආකර්ෂණයක් ලබන්න ප්‍රතිචාර ලබන්න දක්ෂතාවක් තියෙන්නත් ඕනැනෙ. නයනතාරාට කලා හැකියාවන් පුංචි කාලෙ ඉඳන්ම තිබුණද?   


මට ගීත කියන්නත්, නර්තනයටත් හැකියාව තිබුණා. නමුත් රංගනයට නම් මට කවදාවත්ම කැමැත්තක් තිබුණෙ නැහැ. ඒත් මම පුංචි කාලෙ ඉඳන්ම චිත්‍රපටි බලන්න මාරම ආසයි. එක දවසට හින්දි චිත්‍රපටයක් ගානෙ බලනවා. ඒවා බලලම රංගනයට මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්කමක් තිබුණා මිසක් ඒ සම්බන්ධව දැනුමක් තිබුණෙ නැහැ.   


නයනතාරාව නිළියක් කළේත් මේ ‘ටික්ටොක්’ මාධ්‍යය නේද?   


මම ඇත්තටම මේ දේවල් කළේ ටික්ටොක්වලින් නිළියක් වෙන්න නොවෙයි. මේ මාධ්‍යයෙන් නිළියක් වෙන්න පුළුවන් කියලා මම ඇත්තටම දැනගෙන හිටියෙත් නැහැ. හිතුවෙම නැති දෙයක් සිද්ධ වුණේ අහම්බයකින්. මොකද මගේ වීඩියෝ ගොඩක් දෙනෙක්ගේ FB වල ෂෙයා වෙලා තමයි ඒ හරහා මාව දැකලා ටෙලිනාට්‍ය රංගනයට ආරාධනා ලැබෙන්නෙ. මුලින්ම මට ලැබෙන්නෙත් ටෙලිනාට්‍යක ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්න.   


ඇත්තටම ඒවගේ අවස්ථාවක් සාමාන්‍යයෙන් කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නෙ නැති දෙයක්. ලොකු කට්ටක් කාලානෙ ඒ තැනට යන්න ඕනෑ. මට ඇත්තටම එහෙම දෙයක් කරන්න වුණේ නැහැ. ‘ටික්ටොක්’ නිසා පළවෙනි ටෙලිනාට්‍යයේම ප්‍රධාන චරිතෙට යන්න ලැබුණා. ඇත්තටම ඒ වගේ අවස්ථාවක් ලබන්න මම ගොඩාක් වාසනාවන්තයි කියලා හිතෙනවා. ඒ හැමදේම මට ලැබුණෙ සමාජ මාධ්‍ය එක්ක එකතුවෙලා ඉන්න අපේම කට්ටිය නිසා තමයි. ඔවුන් අපේ වීඩියෝ දැකලා ෂෙයා කරපු නිසානෙ මේ අවස්ථාවන් ලැබුණෙ.   
සාමාන්‍යයෙන් ‘ටික්ටොක්’ මාධ්‍යය අද සමාජයේ පිළිගන්නෙ නැහැනෙ? පහළටම දාලානෙ කතා කරන්නෙත්. නමුත් නයනතාරාගේ ජීවිතේට සතුට, වාසනාව ගෙනාවෙ මේ මාධ්‍ය නේද?   


ටික්ටොක් මාධ්‍යයේ ඇත්තටම හොඳ වගේම නරකත් තියෙනවා. ඒක හොඳ විදියට භාවිතා කරලා දෙයක් කර ගත්තු අයත් ඉන්නවා. ඒ මාධ්‍ය වැරදි විදියට භාවිතා කරලා ජනප්‍රිය වෙන්න බලන පිරිසකුත් ඉන්නවනෙ. ඉතින් අපි මොනම දෙයක් ගත්තත් හොඳ නරක කියනදේ තියෙනවනෙ. තමන් නිවැරදි විදියට ඒවා භාවිතා කිරීම තමයි වටින්නෙ. සමහර වෙලාවට මේ මාධ්‍ය මිනිසුන්ගේ මනස රිලැක්ස් කරගන්න පුළුවන් දෙයක්. තමන් මේ වීඩියෝ නොකළත් මේ දේවල් බලලා සතුටු වෙන්නත් පුළුවන්. වෙලාව යනවා තේරෙන්නෙ නැහැ සමහර වෙලාවට. ඇත්තටම මමත් මුලින්ම මේ දේ කළේ විනෝදාංශයට වගේනෙ. නොහිතපු විදියට මට මේ තුළින් ජීවිතේට ලොකු අවස්ථාවන් සහ වටිනාකම් ලැබුණෙ. මගේ කලා කුසලතා ඔපනංවන්න ලොකු පිටිවහලක් වුණා මේ මාධ්‍යයෙන්. අද මේ දේවල් තිබුණෙ නැත්නම් අපේ තියෙන මොනයම් හෝ දක්ෂතාවක් එළියට දෙන්න ලැබෙන්නෙත් නැහැනෙ. අපි ඒ දේවල් වැදගත් විදියට භාවිතා කළා. ජීවිතේ නොහිතපු විදියෙ දේවල් මට ලැබුණා. විශේෂයෙන්ම ප්‍රේක්ෂක ආදරය. ඒ හැමදේම නිසා මේ මාධ්‍ය වැරදියි කියන තැන මම කොතනකවත් කියන්නෙ නැහැ. මට විතරක් නෙමෙයි මේ මාධ්‍ය තුළින් බොහෝ දෙනෙක්ට විවිධ අංශයන් හරහා ඉදිරියට යන්න අවස්ථාවන් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනෑ මට ටෙලිනාට්‍ය රංගනයට විතරක් නෙමෙයි අවස්ථාව ලැබුණෙ. මගේ පළමු ටෙලිනාට්‍ය රංගනයේ තේමා ගීතය ගායනයටත් සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණා.  


ඒ හරහා පසුබිම් ගායනයට සම්බන්ධ වෙන්න හැකි වුණා. ඒ අවස්ථාව මට ලැබුණෙ මගෙ පළමු ටෙලිනාටයේ නිෂ්පාදකතුමාගේ මාර්ගයෙන්, ඔහු මගේ වීඩියෝ නරඹලා තිබුණා. නර්තනය, ගායනය, රංගනය හැම අංශයකම දේවල් ඒ තුළ තිබුණ නිසා ඔහු මගේ ඒ දක්ෂතාවයන් දැකලා තමයි ඒ අවස්ථාව ලබා දුන්නෙත්. දැන්නම් ඉතින් මම ටෙලිනාට්‍යවලට අවුරුදු එක හමාරකින් වගේ සම්බන්ධ වෙලා නැහැ. නමුත් ටික්ටොක් මාධ්‍යයේ තවමත් ඉන්න නිසා ප්‍රතිචාරවල නම් අඩුවක් තවම නැහැ.  


මේ වෙද්දි නයනතාරාගේ සැමියාත් ‘ටික්ටොක්’ මාධ්‍යයට සම්බන්ධ කරගෙන නේද ඉන්නේ?  


ඔව්. ඒත් ඔහු නම් පොඩ්ඩක්වත් කැමැති නැහැ.‘ ටික්ටොක්‘ කරන්න. මම ඉතින් ගමන් බිමන් යද්දී එහෙම වීඩියෝ කරන ඒවා ‘ටික්ටොක්’ වලට දානවා. ඇත්තටම ඔහු ඒවා කරන්න කැමැති නැත්තෙ ලැජ්ජයි කියලා. මොකද ඔහු කරන්නෙ ව්‍යාපාර කටයුතු. ඒ දේවල්වලට ගියාම කට්ටිය අහනවලු ටික්ටොක්වල ඉන්නවා නේද? දැකලා පුරුදුයි කියලා. නමුත් ඔහුගේ ගෙදර අය විශේෂයෙන්ම නැන්දම්මා මේ මාධ්‍යයට ගොඩාක් කැමැතියි.  


උදේ ඉඳන් ඒවා හරිම ආසාවෙන් බලන්නෙ. ඉතින් ඒවාත් එක්ක අපේ ගෙදර ජනප්‍රියම මාධ්‍ය තමයි මේ. ඒ නිසා මමත් මේ මාධ්‍යයත් එක්ක එකතුවෙලා ඉන්නවට කිසිම කෙනෙක්ගෙන් විරුද්ධත්වයක් නැහැ.  


මේ දේවල්වලට බැණුම් විවේචන එහෙමත් එනවා ඇති අනිවාර්යයෙන්ම?  


අම්මෝ ඔව්. හොඳටම එනවා. නමුත් මම ඒ කිසිම දේකට ප්‍රතිචාර දක්වන්න යන්නෙ නැහැ. දැක්කත් ඒවා නොදැක්කාවගේ ඉන්නෙ. අපි වරදක් කරන්නෙ නැත්නම් කාගෙවත් විවේචන වැඩක් නැහැ සහ අදාළ නැහැනෙ.  


මම මොකක් හරි වීඩියෝවක් සමාජ මාධ්‍යයට එකතු කළාම 60% හොඳ කියනවා වගේම 40% වගේ විවේචනය කරනවා. මුලදි නම් ඒ විවේචනවලට ගොඩක් රිදුනු තැන් තිබුණා. සමහර කමෙන්ට් නිසා මම සමාජ මාධ්‍යයට එකතු කරපු වීඩියෝ අයින් කරලත් තියෙනවා. නමුත් දැන් මට ඒවා ප්‍රශ්නයක් නෙමෙයි. අද ලංකාවෙ විවේචනයට ලක්වෙන් නැති කෙනෙක් නැහැනෙ.  


සමාජ මාධ්‍යයට එකතු කරන වීඩියෝවලට ලැබෙන විව්ස් ප්‍රමාණයත් එක්ක ඒ තුළින් මුදල් ලැබෙනවා කියනවා නේද? ඒ නිසා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ද ඔබත් මේවා කරන්නේ?  


U Tube හරහා නම් මුදල් ලැබෙනවා කියනදේ කවුරුත් දන්නවා. නමුත් ටික්ටොක් වලින් නම් එහෙම මුදලක් ලැබෙන්නෙ නැහැ. මම සමාජ මාධ්‍යයට එකතු කරන සමහර වීඩියෝවලට මිලියන ගණන් විව්ස් තියෙනවා. කොච්චර විව්ස් ආවත් මුදල් ලැබෙන දෙයක් නම් නැහැ. නමුත් මුදල් හම්බ කරන්න මේ මාධ්‍ය තුළින් වෙනත් අවස්ථා නම් තියෙනවා.  
මොකද ටික්ටොක් හරහා ප්‍රමෝෂන් එවනවනෙ. මටත් ඒවා ඇවිල්ලා තියෙනවා. ඒවාට සම්බන්ධ වෙලා මුදල් උපයලා නම් තියෙනවා.  

 
නයනතාරාට මේ සමාජ මාධ්‍ය ගැන මොකද හිතෙන්නෙ සහ අලුත් පරපුරට මේ මාධ්‍ය කෙතරම් වැදගත්ද?  


ඇත්තටම මේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. අද පරපුර ගැන කතා කරද්දී නම් මේ සමාජ මාධ්‍ය හරිම භයානක දෙයක් විදියට මම දකින්නෙ. මොකද අපේ කාලෙ වගේ නෙමෙයි දැන්. අද ඉස්කෝලෙ යන ළමයි මේ මාධ්‍ය වැරදි විදියට භාවිතා කරනවා වැඩියි. ඒ තුළින් වැරදි සිද්ධ වෙනවාත් වැඩියි. ඉතින් මම හිතන්නෙ මේ දේවල් එක පාරටම හසුරුවන්න බැරි කෙනෙක්ට මේ මාධ්‍ය හරිම භයානකයි කියලා. නමුත් තමන්ගේ හැංගිලා තියෙන දක්ෂතා ඉදිරියට ගේන්න තියෙන හොඳ මාධ්‍යයක් මේ. මේ තුළින් හොඳ වගේම නරකත් 50% තියෙනවා. තමන් දැනගන්න ඕනැ බැලන්ස් කරගෙන යන්න.

 

 

සටහන : ධනු විජේරත්න