ජය උරුමය තුළින් “අලුත් කලාවක්” සොයා යන ප්‍රගීත් සිල්වා


විකට නළුකම එහෙම නැත්නම් හාස්‍යය මැවීම හිතන තරම් ලේසි නැහැ ඒකට උත්පත්තියෙන්ම පිහිටීමක් තියෙන්න ඕනෑ. විකට නළුකම මවා ගන්න පුළුවන් එකක් නොවෙයි. එහෙම මවාගත් චරිතවලට ආයුෂ කෙටියි. ලියලා දෙන වචන කියන එකක් විටක රඟපෑමක් නොවෙයි. තමන් දියුණු කරගත්තු සහජ හපන්කම් බොහෝ දුරට බලපානවා. 

මෙහෙම කියන්නේ මං නොවෙයි. සිංහල සිනමාවේ විකට රජා කියන කිරුළ පුරා වසර 50ක් රැකගත්තු ප්‍රෙඩී සිල්වා කියන අපුරු රංගන ශිල්පියා. 

‘මන්නාරම් පිටිවැල්ලේ, ආරොන් මාමා, පාන් කිරිත්තා, තේ කූඩය පිටේ බැඳන්, පණ පලයන් ලබන සුමානේ, අලුත් කලාවක්, සිටියා උදාර කොල්ලෙක්’ වැනි රසබර අරුත්බර සිනහබර ගීත රැසක් අපේ රසිකයන්ට දායාද කළ ප්‍රෙඩී දැයෙන් සමු අරන් අවුරුදු 25කට කිට්ටුයි. 

සම්මානනීය කලාශිල්පියකු  වූ ප්‍රෙඩීගේ සංගීත දායාදය සුරැකගෙන නව තාක්ෂණය මුසුකර නව පරපුර වෙත ගෙන යන්නට සැදී පැහැදී ඉන්න කනිටු පුත් ප්‍රගීත් අද සඳැල්ල සරසන්න ඇවිත්. 

කොහොමද ඔයාලගෙ සංගීත පරපුර ඇරඹුණේ? 

මං අහල තියෙන හැටියට මගේ ආච්චි අම්මා ඒ කියන්නේ තාත්තගෙ අම්මාට හොඳට සින්දු කියන්න පුළුවන්කම තිබුණා. එයාගෙ නම පනාගොඩගේ ලැටීෂියා මියුරියල් ප්‍රනාන්දු. පල්ලියෙ ගීතිකා කණ්ඩායම්වල ගී ගයන්නට එයාගෙ මල්ලිත් ගියාලු. ඒ දෙන්නගෙන් තමයි  තාත්තා මුලින්ම සංගීත අාභාසය ලබලා තියෙන්නේ. 

ආච්චි අම්මගෙ සහෝදරියගෙ පුතා තමයි ඒ කාලේ ප්‍රවීණ ගුවන් විදුලි ගායක සී. එල්. ෆොන්සේකා කියන්නෙ. තාත්තා එයා එක්කල තමයි මුලින්ම වේදිකාවට නැග්ගෙ. ඒ කාලෙ හිටපු ලාල් සිල්වා සංගීත මාස්ටරුත් ආච්චි අම්මගෙ ඥාතියෙක්. මොරටුව පුවක්අරඹ තමයි තාත්තලගෙ මුල්ගම. ඒ උරුමය තමයි දැන් ගලාගෙන එන්නේ. 

ඒ කියන්නේ මොරටුව තමයි උපන්ගම ? 

මගේ මව පතිරගේ කලමා ස්වර්ණලතා. ඔවුන් විවාහ වුණේ ප්‍රේම සබඳතාවෙන්. තාත්තයි අම්මයි මුලින් ඉඳල තියෙන්නෙ සිද්ධමුල්ලෙ ගෙදර. 

තාත්ත උපන්නේ 1940 පෙබරවාරි 06 වෙනිදා. පාසල් ගියෙත් මොරටුවෙ ශාන්ත සෙබස්තියන් විදුහලට. ඉස්කෝලෙ හරියට තක්ෂලාවක් වගෙයි කියලා තාත්ත අපට කිව්වා. පාසල තුළින් ලැබූ විනෝදාශ්වාදය තමයි තාත්තම සබකෝලයකින් තොරව සමාජය ඉදිරියේ දස්කම පාන්න ශක්තිය දුන්නෙ. 

අතීතය ගැන හැරී බලනකොට මගේ සීයා ඒ කියන්නේ තාත්තගෙ පියා විල්ප්‍රඩ් ඇඩොල්ෆස් ද සිල්වා, ආච්චි අම්මා වගේම විනී නැන්දා මෙන්ම නැසීගිය මගෙ සහෝදරයා ජනේෂ් අයියා වගේ චරිත අද හිටියා නම් කොච්චර සුන්දර ද? 

දැන් කවුරුද ළඟ ඉන්නේ? 

මගේ සහෝදරියන් දෙදෙනා සමග සතුටින් කාලය ගෙවනවා. චාන්දනී අක්කාත් තාත්තාගේ පැරණි ගී මාලා අපූරුවට පණ දෙනවා. ඇගෙන් නව නිර්මාණ රැසක් ජනගත කර තිබෙනවා. චූටි අක්කා ද ඉතාම හොඳ රසකාවියක්. ඇය නිවේදක ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන ඉන්නවා. අපට දිගු ගමනක් තියෙනවා. 

තාත්තාට වගේම ඔයාත් පාස​ෙල් දස්කම් පෑව ද? 

ඇත්තෙන්ම මගේ පාසල් මවුන් සිහි කළ යුතුමයි. මගේ මුල්ම පාසල තමා නුගේගොඩ තලපත්පිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලය. ඇයි ද කිව්වොත් ඒ වෙනකොට තාත්තල හිටියෙ තලපත්පිටිය කනත්ත පාරේ නිවසක. හේතුව තමා අම්මා සහ තාත්තා අවාසනාවන්ත ලෙස වෙන්වීම.

පසුව අම්මත් එක්ක කඩවත ජීවත් වුණා. කඩවත ශ්‍රී ධර්මදර්ශී විදුහල සහ බැප්ටිස්ට් විදුහල, කඩවත මහ විදුහල මෙන්ම මොරටුව වේල්ස්කුමාර විදුහල යන තැන්වල ඉගෙනුම ලබන අතරේ මටත් කුසලතා මුවහත් කර ගන්න ලැබුණා. 

ඒ කියන්නේ සංක්‍රාන්ති කාලයක් ද ගෙවුවෙ? 

ඔව්. ඒ දෙන්නගෙ වෙන්වීම තදින්ම බලපෑවේ අපටයි. ඒ කාලෙ අපි කෙතරම් මානසික ඇදවැටීල හිටිය ද කිව්වොත් ගීත ගායනය, චිත්‍රපට රංගනය අපට එපාම වුණා. කවියක්වත් කියා ගන්න බැරිවුණා. උගන්වන ගුරුවරු මගේ මනස හදන්න උත්සාහ කළත් බැරි වුණා. 

නමුත් අසල්වැසියන් වූ ලලිත් මාමා මෙන්ම වේල්ස් කුමර විදුහලේ සංගීත ගුරුතුමාව සිටිය විජය බණ්ඩාර වැලිතුඩුව සර් තමයි මගේ ගීත හදල ක්ෂේත්‍රයට එන්න පාර හදලා  දුන්නේ. 

තාත්තා නැතිවුණාට පස්සේ තමයි අපි කබලෙන් ළිපට වැටුණා වගේ වුණේ. තාත්තා අපට දීලා ගියේ මිල මුදල් දේපොළ නොවෙයි. සංගීතය කියන අනර්ඝ දායාදය. වළෙන් වැටුණු කෙනා වළෙන්ම ගොඩ එන්න එපායැ. 

මේ වෙලාවෙ තමයි ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල්  ඉන්දිකා පී. චන්ද්‍රතිලක මහත්මිය මට ධෛර්යය ගෙන ආවේ. ටවර්හෝල් පදනමේ සංගීත ප්‍රසංගවලට මාව ගත්තා. ශෂිප්‍රභා අක්කව නිවේදන වැඩවලට ගත්තා. ඉතින් ටවර්හෝල් වේදිකාව තමයි මගේ මුල්ම තෝතැන්න වුණේ. 

තාත්තා එක්ක ගී කියල තියෙනවද? 

නැහැ. තාත්තා මං කුඩා කලෙම මිය ගියා. නමුත් රසිකයො බොහොම දෙනෙක් ප්‍රෙඩී කියන ලේබලයෙන් ඒ මිහිරි ගීතාවලිය මගෙන් බලාපොරොත්තු වෙන එක ලොකු ආඩම්බරයක්. 

තාත්තට රසිකයන්ගෙන් ලැබෙන සජීවි හා මාධ්‍යමය ප්‍රතිචාර මං අහල දැකල තියෙනවා. චාන්දනී අක්කටත් මටත් එම ආශීර්වාදය එලෙසම ලැබෙන බව දන්නවා. තාත්තා ගයන ගී එකකට එකක් වෙනස්. ගායන රසයට විතරක් නොවෙයි හාස්‍ය රංගනයටත් තාත්තා දක්ෂයි. මට ඒ ළඟට කිට්ටුවෙන්නටත් බැරිව ඇති. නමුත් තාත්තා කොහේ හෝ ඉඳගෙන මාව දිරිගන්වනවා මැවී පේනවා. 

තාත්තාගෙ ගීතවලින් බොහෝ දෙනා ඉල්ලන්නේ ‘ආරොන් මාමා, මන්නාරම් පිටිවැල්ලේ, ගිගිරි චරිගි හඬවනා, පාන් කිරිත්තා, කුණ්ඩුමනී වගේ සමාජ උපහාසය හා චරිතාංග ඉස්මතුවන ගීතාවලියයි. 

මේ ගීත හැම එකක් තුළම සැඟවුණු ලස්සන කතා තියෙනවා. ඒ නිසා කවදාවත් කාලය පනින්නේ නෑ. 

ඔයාගෙ වෙනත් හැකියාවන්? 

තාත්තා වගේ රංගන ශිල්පියකු වන්න නම් හිතලා නෑ. ඒත් තාත්තා රඟපෑ පුදුමයි ඒත් ඇත්තයි චිත්‍රපටයේ තාත්තාගෙ ළමා කාලය නිරූපණය කළේ මමයි. චූටි අක්කත් ළමා චරිතයක් රඟපෑවා. 

ඉතින් කොහොමද ගෙදර ජීවිතේ 

මට දැන් අලුත් රසිකයො තුන් දෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් තමයි බිරිඳ ශ්‍යමා ප්‍රියදර්ශනී. ලොකු පුතා අසිත ප්‍රභාෂ්වර, පොඩි පුතා ආදිත්‍ය විභූෂණ දෙන්නම මං වගේම වේල්ස් කුමර විදුහලේ ඉගෙනුම ලබන්නෙ. අනාගතය එයාලටම බාරයි. මමත් රැකියාව කරන අතරේ ප්‍රසංගවලට සහභාගි වෙනවා. 

චූටි අක්කානම් රැකියාවෙන් ඉවත්වෙලා. පුතාලා දෙන්නා වන ආකාශ් විශ්මිත හා ජානුක ශෙනාල් බලාගෙන ඉන්නවා. ඒ නිසා මගේ කාර්ය බහුලත්වය වැඩියි. විදෙස් සංචාරවලට ඇරයුම් ලැබෙනවා. 

ප්‍රෙඩීගෙ ගී අනුකරණය කරන පිරිසකුත් බිහිවෙලා නේද? 

ඒක ඉතින් සමාජයේ හැටිනෙ. පරම්පරාව වෙනස් වුණා කියලා අනුකරණය වෙනස් වෙන්නෙ නෑ. හැබැයි ඉතින් අනුන් මතම යැපෙනවාට වඩා තමන්ගෙම ශෛලියක් හදා ගන්න තරමට හොඳයි. 

අඩුම ගාණේ තමන් ගයන ගියේ නිර්මාණ අවබෝධය තියෙනවා නම් හොඳයි. අනික කලාකරුවන් පිරිසිදු සිතින් වෙහෙස මහන්සි වී දැයට දායාද කළ නිර්මාණ පිරිසිදු සිතින් පරිශීලනය කරන්න. 

අනාගතයට යහපත් සුන්දර සිතුවිලි ඇති මිනිසුන් බිහිකිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරන්න කියලා මං ආදරයෙන් ඉල්ලා සිටිනවා. පැරණි කලාකරුවන්ට නිතරම ගරු කරන්න ඕනෑ. එතකොට තමයි කලාව පිහිටන්නෙ. 

ප්‍රෙඩි කියන නම තාත්තට ආවේ කොහොමද? 

තාත්තා පිළිබඳ රසබර කතා  ගොන්නක් තියෙනවා. එයාලගෙ පවුලේ කිට්ටුම හිතවතියක් හිටියලු ඉංග්‍රීසි ජාතික මිෂනාරි කාන්තාවක්. Freedie boy කියලා. තාත්තගෙ උපන් නම තමයි මොරිස් ජෝසප් රණබාහු. ප්‍රෙඩි සිල්වා කියලා දැම්මේ ඇයව සිහිවෙන්නලු. 

තාත්තා තරුණ කාලෙ එයාගෙ මාමා වන ප්‍රවීණ ගායක සී.ඇල්. ෆොන්සේකා එක්ක රටේ අගමැතිව සිටි ජෝන් කොතලාවලගේ බංගලාවට ප්‍රසංගයකට ගිය වෙලාවේ ගයපු ‘බාර් බාර් බාර්’ නම් ගීය අහලා අගමැතිතුමා තාත්තාට ගුවන් විදුලියේ ගී ගයන්න අවස්ථාව දුන්නලු.  

විශේෂයෙන් මතක් කළ යුතු අය ඉන්නවද? 

ඇත්ත වශයෙන්ම අපි තවම සමාජයේ පිළිගන්නේ තාත්තලාගේ කාලේ බිහිවුණු සුන්දර නිර්මාණ නිසයි. තාත්තට ගී ලියපු, තනු දාපු, සංගීතය සංකලනය කරපු, අත්වැල් ගායනා කරපු හා ප්‍රචාරය ලබාදීපු හැමෝම හදපතුලෙන් සිහිපත් කළ යුතුයි. 

සිරිල් ඒ. සීලවිමල, අජන්තා රණසිංහ, ධර්මසිරි ගමගේ, කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති අල්විස්, ප්‍රියානන්ද විජේසුන්දර, මහාචාර්ය සුනිල් ආරියරත්න, හේමසිරි හල්පිට, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ වගේ අතිදක්ෂ රචකයොත් සරත් දසනායක, වින්සන් ප්‍රේමසිරි, සරත් වික්‍රම හා ප්‍රේමසිරි ​ කේමදාස වැනි ඉහළ පෙළේ සංගීතවේදියොත් ඒ අතර ඉන්නවා. 

නව නිර්මාණ? 

තාත්තා නිතරම අලුත් වුණු කලාකරුවෙක්. එතුමාට ගරු කිරීමට නම් අපිත් අලුත් දේ කරන්න ඕනෑ. මේ දිනවල මගේත් නව ගීතාවලිය එළිදක්වන්න හීන මවනවා. චාන්දනී අක්කාගේත් නව නිර්මාණ රැසක් එළිදකිවි.

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි