ජන්ම කේන්ද්‍රයේ ගුරු සිටින තැන අනුව ගුරු මාරුවේ පලාපල දැනගන්න


2018.10.11 දින සවස 7.20 ට ගුරු ග්‍රහයා තුලා රාශියේ සිට වෘශ්චික රාශියට සංක්‍රමණය වූ බව ජ්‍යොතිෂ්‍ය ගැන උනන්දුවක් දක්වන කාගේත් පාහේ අවධානයට ලක් වූ කරුණක් බවට පත්වූයේ වසරක් පුරා පවතින එම ග්‍රහ මාරුව තම තමන්ගේ ලග්නවලට අනුව කිනම් ප්‍රතිඵලයක් ලබා දේ දැයි විමසිලිමත් වූ බැවිනි. ඒ අනුව තම ලග්නයට ගුරු මාරුව කෙසේ බලපාන්නේ දැයි මේ වන විට බොහෝ දෙනෙක් දැන සිටිනවා නොඅනුමානය. මෙම ලිපිය මගින් අවධානය යොමු කර සිටින්නේ ග්‍රහ ගෝචර ගමනට අනුව එම ගෝචර වන ග්‍රහයා යමෙකුගේ කේන්ද්‍රයේ උපතින් සිටින ස්ථානය අනුව පළා පල වෙනස් වන ආකාරය ඉගැන්වෙන ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්තයක් පදනම් කොට ගෙන ඒ අනුව සිදු වන බලපෑම පැහැදිලි කිරීමටයි. එක් එක් ලග්නයට අනුව ගුරු මාරුවේ පලා පල දැන සිටි පාඨකයාට මෙය වඩාත් වැදගත් වනු ඇත.   


කේන්ද්‍රයක ඇති කොටු හෙවත් භාව 12 ඇතුළත රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන ග්‍රහයින් 9 දෙනා කුමන ආකාරයකින් හෝ තැන්පත්ව සිටින බව අපි කවුරුත් දනිමු. මීට අමතරව යුරේනස්, නැප්චූන්, ප්ලුටෝ යන ග්‍රහයින් ද ඇතුළත් වන කේන්ද්‍ර දැකිය හැකිය. උපන් කේන්ද්‍රයේ ග්‍රහයින් තැන්පත් වී සිටිම අත්‍යන්ත ග්‍රහ පිහිටීම ලෙස හැඳින්වේ. මෙම අත්‍යන්ත ග්‍රහයා කේන්ද්‍ර සටහනේ සැමදා එක් තැනක සිටිනු දකින මුත් සෑම විටම සූර්යයා වටා භ්‍රමණයවීම ස්වභාවයයි. මෙසේ යන ගමනේ දී එක් එක් රාශියට පැමිණෙන කාල සීමාවල ශුභ අශුභ හඳුනාගත හැකි ආකාරය ජ්‍යොතිෂ්‍යයේ පෙන්වා දී ඇති ක්‍රමවේදයට අනුව ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ සිටි තැනින් 3 වැන්නට පැමිණීම අශුභ ඵල ගෙන දීමට හේතු වේ.   


අනෙකුත් ග්‍රහයින්ට ද එක් එක් ස්ථාන හඳුන්වා දී ඇති මුත් මෙම ලිපිය ගුරු මාරුවට අදාළ වන හෙයින් මේ ගැන පමණක් තොරතුරු ඉදිරිපත් කරමි.   


එ් අනුව මේෂ ලග්න හිමියාගේ කේන්ද්‍රයේ 8 වැන්නට ගුරු පැමිණි බැවින් එම කේන්ද්‍රයේ 6 වැන්නේ ගුරු පිහිටා ඇත්නම් අහිතකර තත්ත්වයක් වැඩිපුර පෙන්නුම් කරන බව සැලකිල්ලට ගන්න. අනෙකුත් ලග්න සඳහා මෙම තත්ත්වය උදාවන්නේ පහත පරිදි වේ.   


උපතේදී කේන්ද්‍රයේ ගුරු පිහිටි ස්ථානය / මේ වන විට ගුරු පැමිණ සිටින ස්ථානය   


වෘෂභ 5 7   
මිථුන 4 6   
කටක 3 5   
සිංහ 2 4   
කන්‍යා 1 3   
තුලා 12 2   
වෘශ්චික 11 1   
ධනු 10 12   
මකර 9 11   
කුම්භ 8 10   
මීන 7 9   


ලග්නවලට අනුව මෙතෙක් දැන සිටි පලාපල තත්ත්වයන්හි යම් වෙනසක් මෙමගින් සිදු වන බව පැහැදිලි වනු ඇත. ගුරු පැමිණෙන ස්ථානයට අනුව එම ස්ථානයෙන් නියෝජනය වන කරුණුවලට කිසියම් බාධකයක් ඇති කිරීම විශේෂයෙන් හඳුනා ගත යුතුය. එනම් මේෂ ලග්න කේන්ද්‍රයේ ගුරු 6 සිටියදී 8 ට පැමිණීම රෝග පීඩා, ධනය පිරිහීම ආදියට හේතු වේ. 

 
වෘෂභ ලග්නයේ ගුරු 5 සිටියදී 7 ට පැමිණීම පවුලේ මෙන්ම හවුල් කටයුතුවල ගැටලු පෙන්නුම් කිරීමකි. මේ ආදී වශයෙන් අනෙකුත් භාව ගැන ද තේරුම් ගතයුතුය. මෙයට අමතරව සඳු සිටි රාශියට ගුරු පැමිණීම මත නිර්මාණය වන කර්ම ගුරු යෝගයට අනුව ද පලාපල වල වෙනස් කම් ඇති වේ.   


කෙසේ වුවද ගුරු ග්‍රහයාගෙන් යම් අපල තත්ත්වයක් වී ඇතැයි හැඟේනම් ළඟම ​ජ්‍යොතිර්වේදියා හමු වී එම උපදෙස් මත කටයුතු කිරීම යහපත් වේ.   

 


ගෞරව සම්මානලාභී පාරම්පරික ජ්‍යොතිර්වේදී   
එච්.එම්.ටී.බී. හේරත්   
109 පැරකුම් මාවත උයන්දන  
කුරුණෑගල.