ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය පුරාවට සුපසන් ගීත සමුදායක් දායාද කළ
ප්‍රවිණ ගායන ශිල්පි කරුණාරත්න දිවුල්ගනේ සහ ප්‍රවිණ ගායන ශිල්පිනී දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සොඳුරුතම හමුවීම ’ නෙතට උළෙලක් ’ ගී ප්‍රසංගය වසර 25කට පසු මේ මස 14 සෙනසුරාදා සවස 6.00ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
ප්‍රවිණ සංගීතවේදී සුරේෂ් මාලියද්දේගේ සංගීතයෙන් හැඩවන ප්‍රසංගයේ සොඳුරු කතාබහ ප්‍රවිණ නිවේදක කැලුම් ශ්‍රීමාල්ගෙනි. මෙවර සඳැල්ල කතාබහ වෙන්වන්නේ ‘නෙතට උළෙලක්’ ප්‍රසංගය වෙනුවෙනි.
අලුත් පරපුර සාහිත්‍යමය ගුණයෙන් පිරි ගීත තෝරාගන්නවානම් වටිනවා
කරුණාරත්න දිවුල්ගනේ
වසර 25කට පසුව නැවතත් දිගහැරෙන නෙතට උළෙලක් ප්‍රසංගය ගැන මුලින්ම කතාබහ කරමු.
නෙතට උළෙලක් ප්‍රසංගයේ ආරම්භය සිදුවන්නේ මීට හරියටම වසර විසිපහකට පෙර. කාලයත් එක්ක නොයෙක්විද අර්බුද එක්ක මේ ප්‍රසංගය නතරවුණා. ඒත් මම හිතන්නේ එසේ නතරවුණත් ප්‍රේක්ෂකයා අතර මේ ප්‍රසංගයේ මතක ඉතිරිවෙලා තිබුණා. එහෙම ඉන්න වෙලාවක තමයි ප්‍රසංගය නැවතත් ආරම්භ කරමු කියා ආරාධනයක් එන්නේ. ඒ ඕස්ට්‍රේලියාෙවන්. අවකාශ එන්ටර්ටේට්මන්ට් කියන ආයතනය තමයි මේ ප්‍රසංගය නැවත පවත්වන්න කටයුතු කරන්නේ. ඇත්තටම පසුගිය කාලයේ ඒ පැවැත්වූ ප්‍රසංගය අති සාර්ථක වුණා. ඒ නිසාම තමයි අපේ රටේ අපේ ගීතවලට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් මේ ප්‍රසංගය නැවතත් පවත්වන්නේ.
ප්‍ර ඉතා සුවිශේෂී ගීත රැසකට උරුමකම් කියන ඔබ ප්‍රසංගය වෙනුවෙන් ගීත තෝරාගන්නේ කවර පදනමක් මතද?
මමත් දීපිකාත් ගැයූ යුග ගීත කිහිපයක්ම තියෙනවා අතිශය ජනප්‍රිය වූ. ඒ ගීත එක්ක අපි දෙදෙනා 90 දශකය තුළ ගායනා කළ ගීතවලට වැඩි අවස්ථාවක් දී තිබෙනවා. මොකද අපි දොදෙනාගේම ඒ ගීත එක හා ජනප්‍රියයි. ඒ ගීත නිර්මාණ අපි බොහොම ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන කැපවීමකින් වගේම හැදෑරිමකින් ගැයූ ගීත. ඒ නිසා අද දවසේත් ඒ ගීත නිර්මාණ ඉහළම තැනක තියෙනවා. බොහෝ ශ්‍රාවකයන් අදටත් අපෙන් බලාපොරොත්තුවන්නේ ඒ ගීත නිර්මාණ.
ප්‍ර සංගීත ක්ෂේත්‍රයට දවසින් දවස එකතුවන නිර්මාණකරුවන්ගේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළයි.ප්‍රවිණ ගායන ශිල්පියකු ලෙස මේ පරම්පරාව පිළිබඳව ඔබේ අදහස කවරේද?
අති දක්ෂ ගායන පරම්පරාවක් බිහිවී ඉන්නවා. ඇත්තටම ඒ අලුත් පරම්පරාව පිළිබඳව සතුටු වෙන්න පුළුවන්. ඒ ඔවුන්ගේ ගායන හැකියාවන් ඉතා ඉහළ තලයක තිබෙන නිසා. නමුත් ඇතැම් අය ගායනය සඳහා පද රචනාවක් තෝරා ගැනීමේදී ඒ ගැන එතරම් සැලකිලිමත් නැහැ කියලයි මට දැනෙන්නේ. ඇත්තටම සාහිත්‍යමය ගුණයෙන් පිරුණු පද රචනාවක් තෝරාගැනීම පිළිබඳව හරි අවබෝධයක් ඇතැම් නවක ගායන ශීල්පීන්ට ශිල්පිනියන්ට නැහැ. අතීතයේ අපි ගැයූ ගීත එකින් එක පිරික්සා බැලුවත් ඒ ගීත තුළ ඇති සාහිත්‍යමය ගුණය, යටිපෙළ, ගායනයට මොන තරම් සුදුසුද කියන කාරණාව හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසාම තමයි ඒ ගීත අද දවසේ පවා ප්‍රේක්ෂක ආදරය දිනා තිබෙන්නේ. අලුත් පරම්පරාවෙනුත් අපි බලාපොරොත්තු වන්නේ එවැනි නිර්මාණ.
ප්‍ර ඔබේ අලුත් ගිත නිර්මාණ කටයුතු පිළිබඳවත් කතා කරමු.
ඇත්තටම ගීත රචනා ලැබෙනවා. මමත් බොහෝ අවස්ථාවල ඒ අලුත් පරපුරේ ගී පද රචකයන්ගේ රචිකාවන්ගේ ගීත ගායනා කරනවා. එහෙම ගායනා කරන්න නම් ඒ රචනාව අපි සසල කළ යුතුයි. වෙනත් මානයන් ඔස්සේ ලියැවිය යුතුයි. එවිටයි අලුත් නිර්මාණ මිනිස්සු අතරට යන්නේ. ඒ අභ්‍යාසය අපේ අලුත් පරම්පරාව ප්‍රගුණ කළ යුතුයි. එවිට තමයි හොඳ නිර්මාණ මේ ක්ෂේත්‍රයට දායාද කරන්න පුළුවන්.
ප්‍ර ප්‍රසංගයේ ඉදිරි වැඩකටයුතු කොහොමද සිදුවන්නේ?
අදහසක් තිබෙනවා නෙතට උළෙලක් ප්‍රසංගය මේ රටේ අනෙක් නගරවලත් පවත්වන්න. මොකද අපේ ගීතවලට ආදරය කරන රසික ජනතාව එක තැනකට විතරක් සීමාවෙන්නෙ නැහැනෙ. ඒක අපේ ගීතවලට ආදරය කරන ආදරණිය රසික ජනතාවට සුබ පණිවුඩයක් වේවි.
මම සංගීත ක්ෂේත්‍රය තුළ කවදාවත්
විකුණුනේ නැහැ
දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
වසර 25කට පසුව දිගහැරෙන නෙතට උළෙලක් ප්‍රසංගයෙන්ම මේ කතාබහ අරඹමු.
පසුගිය කාල සීමාව ගෙවිලා ගියේ ඉතාම කාර්යබහුල වටපිටාවක. ඇත්තටම ඒක ජීවිතයේ ඉතාම අවිවේකී කාල සීමාවක්. මගේ ජීවිතයේත් බොහෝ වෙනස්කම් ඒ කාල සීමාව ඇතුළේ සිදුවුණා. හැබැයි මීට වසර විසි පහකට පෙර අපි ආරම්භ කළ නෙතට උළෙලක් ප්‍රසංගය නැවත පටන් ගන්න කියලා මේ ගතවූ හැම කාලයතදීම ආරාධනා ආවා. ඒ ආරාධනා ඒ විදියටම දිවුල්ගනේ අයියටත් ආවා. බොහෝදෙනා නිවෙසට ඇවිත් පවා ආරාධනා කළා නැවත ප්‍රසංගය කරමු කියා. මම හිතන්නේ අපේ ජීවිතවල හැමදෙයක්ම සිදුවන්නේ හොඳම කාලයට. ඒකට වෙලාවක් එන්න ඕන. මේක තමයි මේ ප්‍රසංගය නැවත ආරම්භ කළ යුතු හොඳම කාලය කියා මම හිතන්නේ.
ඒ වගේම තමයි පුදුම සතුටක් දැනෙනවා දවසට දුරකතන ඇමතුම් දහයක් දොළහක් එනවා ප්‍රසංගය පවත්වනවාට සුබ පතලා. ටිකට් ගන්න හැටි අහනවා. ඉතින් නිර්මාණකරුවකුට ඊට වඩා සතුටක් වෙන නැහැ කියලයි මට හිතෙන්නෙ.
ප්‍ර ප්‍රසංගය නැවතත් කරළියට පැමිණිමට වටපිටාව සැකසෙන්නෙ කොහොමද?
ප්‍රසංගය නැවත අරඹන්න අඩිතාලම වැටෙන්නේ ඕස්ට්‍රේලියාවෙ මෙල්බන් නුවර ඉන්න හසිත බස්නායක සහ සමිත ඩී මෙල් දෙදෙනාගේ අවකාශ එන්ටර්ටේට්මන්ට් එක හරහා. දිවුල්ගනේ අයියටත් මටත් ආරාධනා කළාම අපි දොදෙනා ම ප්‍රසංගය සඳහා කැමති වුණා. ඒ වගේම තමයි ඒක ඉතාම සාර්ථක ප්‍රසංගයක්. අපි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් , බ්‍රිස්බෙන්, පර්ත් නගරවල ප්‍රසංග පැවැත්වූවා. අපේ පවුලේ අයටවත් ටිකට් තිබුණේ නැහැ. අපේ ගීතවලට මිනිස්සු මේ තරම් ආදරේ කරනවාද කියලා. ඇත්තටම දැනෙන ප්‍රසංගයක් වුණා.
ප්‍ර විශිෂ්ට ගීත රැසකට හිමිකම් කියන ඔබ මේ ප්‍රසංගය සඳහා ගීත තෝරාගන්නේ කොහොමද?
අපි ගීත නිර්මාණය කළේ හදවතින්මයි. අලුත් ගීතයක් ගයද්දි ඒ ගීතයේ වචනවලට කිඳා බහිනවා. එහි අරුත, එය සංගීතයට මොන තරම් උචිතද, ගායන විලාසය මේ හැම දේම. ගයන හැම වචනයකම අරුත දැනගෙනයි ගැයුවේ. මම හැම වෙලාවකම හොඳ උසස් පද රචනා සොයාගෙන ගියා. මට මතකයි මම සුදු හංසිනී කැසට් එක කළේ අවුරුදු හතක් වගේ දීර්ඝ කාලයක් තිස්සේ ගීත සොයලා. අපේ ප්‍රවීණ ගී පද රචකයන්ගේ නිර්මාණ අරගෙන. ඒ ප්‍රවීණ පිරිස් ගීතයක් ලියා දුන්නෙ කාලය අරගෙන . හදිසියේ නෙමෙයි. ඒ ගීත එකකට එකක් වෙනස්. මම ඒ වගේ වෙනස් ගීත ගයන්න හැම වෙලාවකම උත්සාහ කළා.
ඉතින් එහෙම මහන්සිවෙලා නිර්මාණය කළ ගීත එකතුවක් තියෙනවා. ඒ ගීත තමයි නෙතට උළෙලක් ප්‍රසංගයේ දී ගැයෙන්නේ.
ප්‍ර දවසින් දවස මේ ක්ෂේත්‍රයට පා තබන අලුත් පරම්පරාව පිළිබඳව අපට සිටින ජ්‍යෙෂ්‍ඨතම ගායන ශිල්පිනියක ලෙස ඔබේ අදහස කවරාකාරද?
ඇත්තටම අපිට සතුටුවෙන්න පුළුවන් තරමේ අලුත් පරම්පරාවක් සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්නවා. ගුරුවරියක ලෙස මම ඒක හැමදාම දකිනවා වගේ ම අත් විඳිනවා. ඒ වගේම තමයි සංගීතය පිළිබඳව හැදෑරීම් කරමින් නිසි අධ්‍යයනවල යෙදෙමින් ගායන ක්ෂේත්‍රයට අලුත් පිරිස් බිහිවනවා වගේම හරි අවබෝධයක් නැතිව ආසාවටත් මේ ක්ෂේත්‍රයට එන අයත් ඉන්නවා. මම කියන්නේ මේ ක්ෂේත්‍රයට එන අලුත් පරම්පරාව යහපත් නිර්මාණ කළ යුතුයි කියා. පැවැත්මක් හදාගන්න පුළුවන් එහෙම නිර්මාණ කළොත් පමණයි. මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි එහෙම දරුවො අපිත් එක්ක නිරන්තරයෙන් අත්වැල් බැඳගත යුතුයි කියා. අපි අපේ අත් දෙකම ඕනම වෙලාවක යහපත් නිර්මාණ කරන අලුත් පරම්පරාවට දෙන්න සූදානම්.
අපි මේ ක්ෂේත්‍රය තුළ අදටත් ඉන්නේ අපේ පෙර පරම්පරාවල නිර්මාණ අධ්‍යයනය කරමින්, ඒ නිර්මාණ විඳිමින්. අපේ ගුරුවරුන් අගයමින් කටයුතු කළ නිසයි. නිරන්තරයෙන් යහපත් නිර්මාණ ඇසුරු කළ නිසයි. අපෙන් පසුව එන පරම්පරාවත් යහපත් නිර්මාණවලට දායකත්වය දෙනවානම් මේ ක්ෂේත්‍රය තුළ හරි ගමනක් යන්න පුළුවන්.
ප්‍ර ඔබේ අලුත් නිර්මාණ පිළිබඳවත් කතාබහ කරමු
අදටත් අලුත් ගීත ලැබෙනවා. ආරාධනා ලැබෙනවා අඩුවක් නැතිව. මුල් කාලයේ වගේම තෝරා බේරාගෙන තමයි ගයන්නෙ. මොකද අපි සිංදු කිව්වෙ රූප රචනය බලාගෙන නෙමෙයිනෙ.හදවතට දැනෙන්න යි ගැයුවෙ. නිර්මාණ කරන්න ඕන එහෙමයි. මෑත කාලයේ ඒ වගේ කළ නිර්මාණයක් තමයි ප්‍රියානන්ද විජේසුන්දර ලියා කපිල අපරැක්ක සංගීතවත් කළ මඟහැරුණු සැඳෑවන් ගීතය. ඒ වගේමයි සම්බුද්ධ පරිණිර්වාණය පිළිබඳව මහින්ද චන්ද්‍රසේකරයන් ලියා ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවක් කළ ගීතයත්.
ඇත්තටම මම සංගීත ක්ෂේත්‍රය තුළ කවදාවත් විකුණුනේ නැහැ. මේ ගමන බොහොම පරිස්සමෙන් ආව ගමනක්. ගුරුවරියක ලෙස සහ ගායන ශිල්පිනියක ලෙස මම මගේ කාර්යය නොපිරිහෙලා ඉටුකළා කියන හැඟීම තිබෙනවා. හෙට දවසටත් වැඩ කරනවා. පණ්ඩිත් අමරදේවයන්ගෙන් පසුව බුන්කා සම්මනය2000 වසරේදී මට හිමිවන්නේත් වාණිජකරණයට ලක් නොවූ ගායන ශිල්පිණිය යන තේමාවෙන්. ඒ වගේම 2012 දි ගුසී සම්මනය ලැබෙන්නේ මානව භක්තිවන්තභාවය වෙනුවෙන්. ඒ සම්මානය එක රටකට එකයි පිරිනමන්නේ. ඉතින් මේ එහෙම හරියට ආව ගමනක්. ඒ ගැන ආදරණිය ආඩම්බරයක් හිතේ නැත්තෙ නෑ.
ප්‍ර ප්‍රසංගයේ ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු.
ප්‍රසංගය දිගටම කරන්න අදහසක් තියනවා. ඇත්තටම අපේ ගීතවලට මොන තරම් ආදරය කරන පිරිසක් මේ රටේ ඉන්නවද? එ් වුණත්‍් වැඩි දෙනකුට අපේ නිර්මාණ මේ වගේ ප්‍රසංගවලදි රස විඳින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද අදටත් ඈත ගම්වල මිනිසුන් ට ගීතයක් රසවිඳින්න පුළුවන් ගුවන් විදුලිය හා රූපවාහිනිය හරහා පමණයි. ඒ නිසයි අපි කියන්නේ අපේ මේ අලුත් නිර්මාණ ජනගත කිරීම මාධ්‍යයේ සතු වගකීමක් කියලා.
සුජිත් ප්‍රසංග