මළවුන්ගේ අනාවරණ
මහාචාර්යවරයා උදේම තේ කෝප්පයත් අරන් ආලින්දයේ වාඩි වුණේ පත්තරය කියවීමේ අරමුණ ඇතිවය. පත්තරය කියවමින් සිටින අතර හදිසි තැපෑලෙන් විදුලි පණිවුඩයක් ලැබුණෙන් මහාචාර්යවරයා අන්දමන්ද විය. පවුලේ කාට හෝ කරදරයක්ද? ඔහුට සිතාගත නොහැකි විය. හේ වහාම විදුලි පණිවුඩය විවෘත කර බැලුවේය.
එහි වැඩි විස්තරයක් තිබුණේ නැත. ‘‘මහාචාර්යතුමනි, නිවැරදි පුද්ගලයෙක් වැරදිකරුවකු වී මරණ දණ්ඩනය ලැබීම වළක්වා ගැනීම සඳහා ඔබේ සහයෝගය අවශ්‍යයි. මුණගැසීමට වෙලාවක් ලබාදෙන්න. අදම ඔබ හමුවීමට අවශ්‍යයි’’ යනුවෙන් එහි විය.
මහාචාර්යවරයාට මෙය මහත් ප්‍රහේලිකාවක් විය. පශ්චාත් මරණ පරීක්ෂණයක් මෙයට සම්බන්ධ බව නම් පැහැදිලිය. එහෙත් අලුත් එකක්ද? තමන් කරපු මරණ පරීක්ෂණයක්ද? එහෙමත් නැත්නම් වෙනම ප්‍රශ්නයක්ද? ලිහලා බලන්න තියෙන මල්ල ඔබ ඔබා ඉන්නේ කුමකටදැයි සිතු මහාචාර්යවරයා එහි සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාගත්තේය.
“හෙලෝ මම මහාචාර්ය ......... කතා කරන්නේ? ඔබතුමා මිස්ට සමරකෝන්ද?”
“ඔව් ප්‍රොෆෙසර් මම තමයි සමරකෝන්”
“මට එවපු විදුලි පණිවුඩය ගැනයි මේ කතා කරන්නේ. අද හවස දෙකට මාව මුණ ගැහෙන්න එන්න පුළුවන්ද?”
“අනේ පිංසිද්ධ වෙනවා මේ කරන උදව්වට. මම අනිවාර්යයෙන්ම එනවා.” එම පුද්ගලයා පැවසීය.
යොදාගත් වෙලාවට සමරකෝන් මහතා මහාචාර්යවරයා හමුවට පැමිණියේය.
“සුභ සන්ධ්‍යාවක් සමරකෝන් මහත්මයා. එන්න වාඩිවෙන්න.” මහාචාර්යවරයා සමරකෝන් පිළිගෙන තම කාමරයට යාබද වැරැන්ඩාවට කැඳවාගෙන ගියේ එහි නිදහස් පරිසරය මෙවැනි ගැඹුරු ප්‍රශ්න සාකච්ඡා කිරීමට සුදුසු වන බැවිනි.
“හොඳයි, දැන් කතාව කියමුකෝ” මහාචාර්යවරයා කතාවට මුල පිරුවේය.
“මම සර් ගැන අහලා තියෙනවා පොත්පත්වල පළවුණ වාර්තාවලින්. ඒ නිසා මට හිතුණා මේ වැඩේට සුදුසුම කෙනා සර් කියලා. මමත් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක්. මගේ නංගි ගුරුවරියක්. එයා විවාහ වෙලා හිටියේ ඉංජිනේරුවරයකු සමග. ඔහු ගොඩාක් හොඳ කෙනෙක්. දෙන්නාම හොඳින් විවාහ ජීවිතය ගත කළා. නංගි තව මාස කීපයකින් සිය කුලුඳුල් දරුවා ලැබෙන්නයි හිටියේ. මම නිතරම ඔවුන්ට කතා කරනවා දුක සැප අහන්න.”
“දෙසැම්බර්වල නිවාඩු නිසා නංගි ගෙදර හිටියේ. මල්ලි වැඩට ගියාම එයා තනියම නිසා මම දවසකට සැරයක්වත් කතා කරලා බලනවා. පහුගිය දෙසැම්බර් 23 වැනිදා උදේ දහයට විතර මම නංගිට ඇමතුමක් ගත්තා. නමුත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මම ගෙදර ස්ථාවර දුරකථනයටත් ගත්තා. ඒත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මම සෙනරත් මල්ලිගේ ඒ කියන්නේ මගේ මස්සිනාගේ දුරකථනයට ඇමතුමක් ගත්තාම කිව්වා එයා වැඩට එනකොට නංගි ගෙදර සිටි බව. ඒ වගේම නංගී කොහේවත් යන්න සුදානමක හිටියෙත් නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි මල්ලි කිව්වා නංගී කොහේ ගියත් ජංගම දුරකථනය අරන් යන බවත් කිසි විටෙක ඇමතුමකට ප්‍රතිචාර නොදක්වා සිටින්නේ නැති බවත්.”
“මේ විස්තර කතා කළාට පස්සේ අපි දෙන්නාටම බයක් ඇති වුණා නංගිට දරුවා ලැබෙන්න ඉන්න නිසා මොනවා හරි අමාරුවක්වත් හැදිලාද දන්නේ නැහැ කියලා. මල්ලී තනියම යවන්නේ නැතිව මම කිව්වා මාත් එයා එක්ක ගෙදර යන්න එන්නම් ගිහින් බලමු කියලා.”
“ඉතිං ඔයාලා ගියාම මොනවද වෙලා තිබුණේ?”
“අපි ගෙදරට යද්දි ගෙදර දොර වහලා. අපි කතා කළා. සීනුව නාද කළා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. අපිට බය හිතුණා. මල්ලි ගාව අමතර යතුරක් තිබුණා. එයා එ්කෙන් දොර අරින්න උත්සාහ කළත් දොර ඇතුළෙන් ලොක් කරලයි තිබුණේ. ජනේලයක්වත් ඇරලා නැහැ. අන්තිමට අපි තීරණය කළා දොර කඩන්න. අපි ගෙට ඇතුළුවෙලා කතා කළත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. අපි කාමරයට ගිහින් බැලුවා. නංගි ඒකෙත් නැහැ. කාමර හැම එකටම ගිහින් බැලුවා. කුස්සියේ බැලුවා ඒ කිසිම තැනක එයා නැහැ. අන්තිමට අපි නංගිලා හිටපු කාමරයේ යාබද නාන කාමරයට එබිලා බැලුවා. නංගි නාන බේසමේ වැටිලා ඉන්නවා අපි දැක්කා. මල්ලි ගොඩක් කලබල වෙලා එයාව උස්සන්න ගියේ. ඒත් මම දැකපු විදිහට ඒ වෙනකොටත් නංගී මියගිහින් තිබුණේ. ඒ නිසා මම මල්ලිව වැළැක්වූවා.
“නංගි නාන බේසමේ වැටිලා හිටියේ කොයි ආකාරයටද? නාද්දී ගිලුණා වගේද?”
“නැහැ. නංගී මට දැනුණ විදිහට නාන බේසමේ ගැට්ටේ වාඩි වෙලා දත් මැද මැද ඉඳලා තියෙනවා. එතන දත් බුරුසුවක් වැටිලා තිබුණා. එහෙම ඉන්න අතරේ තමයි කිසියම් හේතුවක් නිසා එයා බේසමට වැටිලා තියෙන්නේ. නංගිගේ හිස, ගෙල, අත්, පපුව නාන බේසමේ පතුලට වැටිලා තිබුණා. උදරය නාන බේසමේ බිත්තියේ ගෑවෙමින් තිබුණා උකුල හා පාද නාන බේසමේ ඉහළ ගැට්ට මත තිබුණා.”
“ඊට පස්සේ මොකද කළේ?”
“මම වහාම පොලිස් හදිසි ඇමතුම් අංශයට කෝල් කළා. පොලිසිය විනාඩි විස්සක් වගේ කාලයක් ඇතුළත එතනට ආවා.”
“දැන් මේ මරණය සම්බන්ධයෙන් පොලිසිය කාව හරි සැක කරනවාද?”
“ඔව්. මගේ මස්සිනාව තමයි සැක කරන්නේ. මට මගේ නංගී තරමටම සෙනරත් මවත් විශ්වාසයි. මම එයාගෙන් ඇහුවා මේක එයා කළාද කියලා. එයා දිව්රනවා එහෙම දෙයක් කළේ නැහැ කියලා. ඒ වගේම මම දන්නවා ඒ දෙන්නා අතර එවැනි දෙයක් සිදුවීමට තරම් කිසිම ප්‍රශ්නයක් නොතිබුණ බව. දැන් මල්ලි ඉන්නේ අත්අඩංගුවේ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් වාර්තාව ආවේ ගෙල සිරකර සිදුකළ මරණයක් බවටයි. වෙන සැකකරන්න කිසිවෙක් නැති නිසා ඒකට මල්ලීව තමයි අහුවුණේ.”
“ඔයාලා ගෙදර යනකොට දොර ඇතුළෙන් වහලා තිබුණා කියලද කිව්වේ?”
“ඔව්. දොර ඇතුළෙන් ලොක් කරලා තිබුණා. ජනෙල් මොනවත් ඇරලා තිබුණෙත් නැහැ.”
“වහලෙන් පිටවෙන්න හැකියාවක් නැද්ද?”
“බැහැ. සිවිලිම් ගහලා තියෙන්නේ.”
“නංගි වැටිලා හිටපු තැන හෝ නිවසේ වෙනත් තැනක හෝ කලබලයක් ඇති වූ බවට කිසිම ලකුණක් දකින්න තිබුණේ නැද්ද?”
“නැහැ. හැම තැනක්ම සුපුරුදු පරිදි පිළිවෙළට තිබුණා. නංගිගේ නිදන කාමරය පවා පිළිවෙළට තිබුණා. නාන කාමරයේත් කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. කවුරුවත් නාන කාමරයට ආපු බවක් හෝ එයින් පිටවුණ බවක් හෝ පෙනෙන අඩි සලකුණක් වත් දකින්න තිබුණේ නැහැ. ඇඟිලි සලකුණු නිලධාරීන් ඒ හැම දෙයක්ම පරීක්ෂා කර බැලුවා.”
“හරි මම පුළුවන් උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මට මේ සිදුවීමට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව, රසායනාගාර පරීක්ෂණ වාර්තාව හා ඡායාරූප අවශ්‍යයි. ඒවා ලබාගන්න ඔබේ මැදිහත්වීමත් අවශ්‍යයි. එම එකඟතාවයෙන් පසු සමරකෝන් මහතා පිටව ගියේ යම් සැහැල්ලුවකින් බව මහාචාර්යවරයාට වැටහිණි.
රසායනාගාර පරීක්ෂණ කිසිවක් සිදුකර නොතිබුණ නිසා මහාචාර්යවරයා ඉල්ලා සිටි එම වාර්තාව හැර අනෙක් සියලු වාර්තා ඔහු වෙත ලැබිණ.
එම වාර්තාවලට අනුව මියගිය තරුණ ගර්භණී කත කිසිදු රෝගයකින් නොපෙළුණ අතර තව සති කීපයකින් දරු ප්‍රසූතියට සූදානම්ව සිට ඇත. එතෙක් පැවති මාතෘ සායනවලටද නොකඩවා සහභාගී වී ඇති ඇය සමග ඇගේ සැමියාද සම්බන්ධ වී ඇත. ඡායාරූපවලට අනුව නාන කාමරයේ ඇය වැටී සිටි ස්ථානයේ කිසිදු පොර බැඳීමක ලකුණු දක්නට නොවීය. එසේම ලේ පැල්ලම් කිසිවක්ද නැත. ඇය ඇඳ සිටි පිජාමා කලිසම හා උඩුකය ඇඳුම ඇඳ සිටි ආකාරයෙන්ම තිබිණ. මුහුණ දැඩි ලෙස රත් පැහැ ගැන්වී තිබිණ.
කිසියම් පුද්ගලයෙක් මියගිය පසු හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය නතර වන හෙයින් රුධිර නාළවල පවතින රුධිරය ගුරුත්වාකර්ෂණයේ බලපෑම නිසා සිරුරේ වඩාත් පහළ ස්ථානය කරා ගමන් කරනු ලැබේ. එවිට එම ස්ථාන වඩාත් රත්පැහැයෙන් දිස්වේ. මෙය අධෝස්ථිතිය ලෙස හැඳින්වේ. මෙලෙස රුධිරය ශරීරයේ පහළම ස්ථානයට ගලා ආ විට එම ස්ථානයේ රුධිර නාළවලට එය දරා ගැනීමට අපහසුවන ප්‍රමාණයෙන් එකතු වුවහොත් රුධිර නාළ පුපුරා ගොස් පටක තුළට රුධිරය ගලා යා හැකිය. එවිට සම තුළ වූ ඉතා කුඩා ලේ ගැලීම් තැළුම් තුවාල ලෙස දිස් විය හැකිය. මරණකාරිය වූ නිර්මලා මියගොස් සිටි ඉරියව්ව අනුව ඇයගේ ගෙල හා මුහුණ ප්‍රදේශයේ මෙලෙස අධෝස්ථිතිය දැකගත හැකි වනු ඇත. එය ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි විය.
ගෙල සිර කිරීමෙන් සිදුකළ මරණයකදී මූලිකවම ගෙලෙහි ඇඟිලි සලකුණු, අතැඟිලිවලින් ඇති වූ තැළුම් තුවාල, නියපොතු නිසා සිදුවූ සීරුම් තුවාල මුහුණ මුඛය සහ අක්ෂි ආශ්‍රිතව කුඩා ලේ ගැලීම්, ගෙලෙහි අභ්‍යන්තර පටකවල තැළුම් තුවාල ස්වරාලයේ වූ අස්ථි සහ කාටිලේජ කොටස් ලේ ගැලීමක් සහිතව බිඳී යාමද සිදුවිය යුතුය.
එහෙත් ලබාගත් වාර්තා අනුව මරණකාරියගේ ස්වරාලයේ වූ අස්ථි සහ කාටිලේජ කිසිවක් බිඳී තිබුණේ නැත. ගෙලෙහි සම මත නියපොතු පහරවල්ද නැත. අධෝස්ථිතිය නිසා ඇතිවූ ලේ ගැලීම් සහ මුහුණ මුඛය ආශ්‍රිතව සහ අක්ෂි ආශ්‍රිතව වූ කුඩා ලේ ගැලීම් සියල්ල ගෙල සිර කිරීමකදී ඇති විය හැකි තැළුම් තුවාල හා නහර පිපිරීම් ලෙස අධිකරණ වෛද්‍යවරයා වරදවා වටහාගෙන තිබෙන බව මහාචාර්යවරයාට තේරුම් ගියේය.
එහෙත් ඇගේ මරණයට සැබෑ හේතුව කුමක්ද යන්න පෙන්වා නොදී විත්තිකරු නිදහස් කරගත නොහැකිය. දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ යුතු බව පවසමින් නිවැසියෝ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුනොකර එය රෝහලේ මෘත ශරීරාගාරයේම තිබෙන්නට හැර තිබීම නිසා මහාචාර්යවරයාට දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණයකට යා හැකි තත්ත්වයක් තිබිණ. ඒ සඳහා අධිකරණ අවසර ලබාගත් මහාචාර්යවරයා දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ කළේය.
සති කීපයක් තුළ දරු ප්‍රසූතියට සූදානම්ව සිටි ගැබිනි මවක හදිසියේ මිය යා හැකි ප්‍රධාන හේතු මොනවාද? හෘදය වස්තුවට රුධිරය සපයන රුධිර නාළයක් හදිසියේ ඉරීයාම, ශිරා පද්ධතියේ ඇති වූ ලේ කැටියක් රුධිරය තුළින් ගමන් කර පෙණහලුවලට රුධිරය සපයන ප්‍රධාන ධමනිය වූ පුප්ඵුසීය ධමනියේ සිරවීම මෙවැනි මරණයකට හේතු විය හැකි බව මහාචාර්යවරයා අත්දැකීමෙන් දැන සිටියේය. කාගෙන්වත් උදව්වක් ලබාගැනීමට ඉඩක් නොලැබ ඇය නාන බේසමේ වැටී සිටි ආකාරය අනුව මෙය ක්ෂණික මරණයක් විය හැකි බව මහාචාර්යවරයාට හොඳින්ම පැහැදිලි විය.
ඒ අනුව ඇගේ හෘදය වස්තුව නිරීක්ෂණය කළත් එහි ක්ෂණික මරණයකට හේතු විය හැකි සාධක කිසිවක් දක්නට තිබුණේ නැත. සමහර පුද්ගලයින්ගේ ශිරා පද්ධතියේ ස්වාභාවික ලේ කැටිති හටගනී. ගැබිනි මව්වරුන්ගේ ශල්‍යකර්මවලට භාජනය වූ පුද්ගලයන්ගේ සහ එක්තැන් වූ පුද්ගලයන්ගේ මේ සඳහා වැඩි ප්‍රවණතාවක් පවතී. රුධිර සංසරණය මන්දගාමී වීම රුධිරයේ සාන්ද්‍රණය වැඩිවීම සහ රුධිර නාළ බිත්තිවල තුවාල සිදුවීම මීට හේතු වේ. පාදවල ශිරා පද්ධතියේ මෙවැනි ලේ කැටිති වැඩි වශයෙන් හටගනී. සමහර අයගේ මෙවැනි ලේ කැටිති ස්වභාවිකවම දිය වී යයි.
සමහර අවස්ථාවලදී ප්‍රධාන රුධිර කැටියෙන් වෙන්වන කොටස් ශිරා පද්ධතිය ඔස්සේ රුධිර මගින් හෘදය වස්තුවේ දකුණු කෝෂිකාව වෙතට ගෙන යනු ලබයි. එය සැලකිය යුතු තරමේ විශාල එකක් නම් දකුණු කෝෂිකාවෙන් රුධිරය වෙත සපයනු ලබන පුෂ්ඵුසීය ධමනියේ සිරවේ. මේ නිසා පෙණහලුවලට රුධිර සැපයුම එකවරම නතර වන අතර අනෙක් අතට හෘදය වස්තුවේ දකුණුපස රුධිර ගමනාගමනයේ ක්ෂණිකව අවහිරතාවක් ඇති වේ. මෙය ඉතා ක්ෂණිකව මරණයක් ගෙන දීමට ප්‍රමාණවත් වේ.
පශ්චාත් මරණ පරීක්ෂණයක දී මෙම තත්ත්වය අනාවරණය කරගැනීමට හෘදය වස්තුව විච්ඡේදනය කර ඉතා ප්‍රවේසමෙන් පුෂ්ඵුසීය ධමනිය විවෘත කර එහි රුධිර කැටියක් සිර වී තිබේදැයි නිරීක්ෂණය කළ යුතුය. එසේ තිබේ නම් ඉන්පසු පාදවල ශිරා පද්ධතිය විවෘත කර ප්‍රධාන රුධිර කැටිය තවමත් එහි තිබේ දැයි තහවුරු කර ගත යුතුය. අනතුරුව පෙණහලු පටක අන්වීක්ෂීය පරික්ෂණයට ලක් කර පෙණහලු රුධිර නාළ තුළ සිර වූ කුඩා රුධිර කැටිති තිබේදැයි නිරීක්ෂණය කළ හැකිය. ඒ නිරීක්ෂණයන් තහවුරු වුවහොත් අදාළ පුද්ගලයා පුෂ්ඵුසීය ධමනියේ රුධිර කැටියක් සිරවිමෙන් මියගිය බවට නිගමනය කළ හැකිය.
එහෙත් නිර්මලාගේ පුෂ්ඵුසීය ධමනියේ එවැනි රුධිර කැටියක් වූ බවට පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී නිරීක්ෂණය කර නොතිබිණ. ඒ සඳහා අනුගමනය කළ ක්‍රම සහ විධි ගැනද අදාළ වාර්තාවේ සඳහන් වූයේ නැත. පළමු පරීක්ෂණයේදී එවැන්නක් සිදුනොකළේ නම් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයකින් එය තහවුරු කළ නොහැකිය.
මන්ද පළමු පරීක්ෂණයේ දී විවෘත කෙරෙන රුධිර නාළවලින් රුධිර කැටියක් තිබුණේ නම් ගිලිහී යන බැවිනි.
එබැවින් මහාචාර්යවරයා දෙවැනි පියවරට ගියේය. ඒ පාදවල වූ ශිරා පද්ධති විවෘත කිරීමය. එය පළමු පරීක්ෂණයේ දී විවෘත කර තිබුණේ නැත. මහාචාර්යවරයාට සතුටු විය හැකි තොරතුරක් ලැබිණ. දකුණු පාදයේ ඌර්ධව ශිරාවේ තිබූ ප්‍රධාන රුධිර කැටිය මහාචාර්යවරයාට හමුවූ අතර එහි සැලකිය යුතු කොටසක් කැඩී ගොස් ඇති බව අන්වීක්ෂීය පරීක්ෂණ මගින් තහවුරු කරගත හැකි විය. එහි වෙන් වූ කොටස පුෂ්ඵුසීය ධමනිය කරා ගමන් කළ බව දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කළ නොහැකිය. එහෙත් මේ ලේ කැටියෙන් කැඩී ගිය කුඩා කැටිති පෙණහලු කරා ගමන් කර කුඩා නාළිකාවල සිරවිය හැකිය. පෙණහැල්ලේ පටක අන්වීක්ෂීය පරීක්ෂාවට ලක් කිරීමෙන් ඒ බව සොයාගත හැකිය. ඒ අනුව මහාචාර්යවරයා පෙණහලු පටක පරීක්ෂා කළේය. ඔහු සාර්ථක විය. කුඩා රුධිර කැටිති පෙණහලු පටකවල දැකිය හැකි විය.
ඒ ඔස්සේ පරීක්ෂා කළ මහාචාර්යවරයාට පෙණහලු ධමනි, ධමනිකා සහ කේශනාළිකා තුළ සිර වූ විවිධ ප්‍රමාණයේ රුධිර කැටි රාශියක් නිරීක්ෂණය කළ හැකි විය. ඒ අනුව නිර්මලාගේ මරණයට හේතුව රුධිර කැටිති පෙණහලුවලට රුධිරය සපයන ධමනි පද්ධතියේ සිරවීම බව නිගමනය කළ හැකි විය. මේ නව සොයාගැනීම අධිකරණය හමුවට මෝසමක් මගින් ගොනු කිරීමෙන් පසු නිර්මලාගේ මරණය ස්වභාවික මරණයක් බවට තීරණය වූ අතර ඇගේ සැමියා ඝාතන චෝදනාවෙන් නිදහස් කරනු ලැබිණ.
(මෙහි එන නම් ගම් සියල්ල මන:කල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න)
අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන්
සටහන් කළේ මුදිතා දයානන්ද