කොළඹදී යළි උපන් මහනුවර පොඩි නිලමේ


​පෙර භවයේ ප්‍රබල සාක්කි

 

 

කොළඹ ද සොයිසා රෝහලේදී මෙලොව එළිය දුටු දැරියට කාංචනා යනුවෙන් නම් තැබිණි. වයස අවුරුදු දෙකක් පමණ වූ විට ඇගේ හැසිරීම් රටාවේ විශේෂත්වයක් මවට දක්නට ලැබිණි. නින්දෙන් අවදි වී නිදියහනේ සිටින ඇය කිසියම් දෙයක් සෙවීමේ නිරත වූවාය. එම ක්‍රියාව දින කීපයක්ම දුටු මව දිනක් ඒ ගැන විමසිලිමත් වූවාය.   

මොනවද දුව සොයන්නේ? යැයි සිය දියණියගෙන් විමසීමක් කළාය. ක්ෂණිකව එයට පිළිතුරු දුන් දියණිය,

   
මගේ චේන් එක කෝ යයි කීවාය.   


දියණිය චේන් එක යැයී කීවේ කුමක්ද? ඇයට එවැනි වදනක් හුරු වූයේ කෙසේද? මව නැවතත් පුංචි දියණිය අමතා “මොන චේන් එකද?” යැයි විමසුවාය.   


ඇයි මගේ රත්තරන් චේන් එක මම කරේ දාපු චෙන් එක යයි ඇය නැවත පිළිතුරු දුන්නාය.   


දියණිය ප්‍රකාශ කරන මෙම වදන මවට මහත් ගැටලුවකි. ඇගේ කරේ දැමූ මාලයක්ද නොවීය. දියණිය ප්‍රකාශ කරන රන්මාලය කුමක්ද? එවැන්නක් මෙම ජීවිතයේදී ඇගේ කරේ පැලඳීමක් සිදුවී නොතිබිණි.   


මේ අතර තවත් දිනක් මව ඇමතූ කාංචනා මෙසේ ඇසුවාය.

   
මට ඈත දුර ගෙදර යන්න ඕනෑ. ඒ තාත්තා මට කතා කරන්නේ බණ්ඩාර පුතා කියලා. එහෙදී මට යාලුවෙක් හිටියා. එයාට කියන්නේ තිලකෙ. ඒ ගෙදර තුවක්කුවකුත් තියෙනවා යැයිද හෙළි කළාය.   


දියණිය ඇගේ පෙර භවයක ජීවිත තොරතුරු හෙළි කිරීමක් සිදුවන බැව් මවට දැනෙන්නට විය. එහෙත් ඒ පිළිබඳව තොරතුරු විමසීමට දෙමාපියෝ උනන්දු නොවූහ. එයට එක් හේතුවක් වූයේ දිනක් ඇගේ සොහොයුරියක සමග ඇය කළ ප්‍රකාශකයකි.   


වැඩිමහල් සොහොයුරිය සමග සුළු අමනාපයක් ඇතිවූ දිනෙක සොහොයුරිය ඇමතූ කාංචනා,   


මම ඈත දුර ගෙදර ගියොත් එහෙ නවතිනවා යන්න එම ප්‍රකාශය විය. මේ නිසා දියණියගේ පෙර භවය හමුවීමක් සිදු වුවහොත් දියණිය එහි නවතීද යන ප්‍රශ්නය දෙමාපියන්ට මතුවී තිබිණි.   
තවත් මාස කීපයක් ගත විණි. ඒ වනවිට ඇය අවුරුදු තුනහමාරක් පමණ වයසේ සිටියාය. දිගින් දිගටම පෙර භව මතක සටහන් හෙළි කිරීම ඇගේ සිරිත විය. පෙර භවයේ සිටි ප්‍රදේශය ජම්බුගස්වත්ත ලෙස ද ඇයගෙන් අනාවරණය විය.   


දිනක් ගුවන් විදුලි ගීතයක් ප්‍රචාරය වනු මව සමග සිටි කාංචනාට ඇසුණි. එම ගීතයේ ලොකු අම්මා යන ගීත කාණ්ඩයක් ඇතුළත්ව තිබිණි. එය ශ්‍රවණය වූ විගස කාංචනා මව ඇමතුවාය.   
මටත් හිටියා ලොකු අම්මා කෙනෙක්. ඒ ලොකු අම්මා දොදොල් හදනවා. දොදොල් හැඳි ගන්නෙ දෑතින්මයි. යනුවෙන් පවසා එය දෑතින් අනුකරණය කර පෙන්වීය. 

 
කාංචනා දැරිය තුළින් මවට දක්නට ලැබුණු තවත් විශේෂිත හැසිරීම් රටාවක් ද විය. ඇය හැමවිටම පිරිමි දරුවකු ලෙස හැසිරීමට උත්සාහ කිරීමය. ඇයට ගවුම් ඇන්දවීම අසීරු විය. වසර කීපයක් යනතුරුම ඇය කලිසන් කමිස ඉල්ලා සිටියාය.   


මේ වනවිට සිය දියණිය පෙර භවයේ පිරිමියකු ලෙස ජීවත්ව සිට ඇති බවට නිදසුන් රැසක්ම කාංචනා විසින් පෙන්වා දී තිබිණි.   


කාංචනා දැරිය හෙළි කළ පෙර භව තොරතුරු පිළිබඳව විමර්ශනයක් කිරීමට අපට අවස්ථාව ලැබෙන විට ඇගේ පෙර භවය දෙමාපියන් විසින් සොයාගෙන තිබිණි. ඒ පිළිබඳ අප සිදුකළ පර්යේෂණයේදී කාංචනා දැරියගේ මව සිය දියණිය හෙළි කළ තොරතුරු එදා අප සමග අනාවරණය ක​ෙළ් මෙසේය.   


 කාංචනා දුව අවුරුදු දෙකක් විතර වෙනකොට හැමදාම උදේට නැගිටලා ඇඳ උඩයි යටයි මොනවද හොයනවා. මම දවසක් ඇහැව්වා මොනවද දුව හොයන්නෙ කියලා. එයා එක පාරටම කිව්වා මගේ චේන් එක හොයනවා කියලා. එයාගෙ පෙර භවයක් ගැන කරපු මුල්ම ප්‍රකාශය තමයි එය. ඒ වගේම පුංචිම දවස්වල ඉඳල එයා හැසුරුණේ පිරිමි ළමයෙක් විදියට. ගවුන් අඳින්න කැමැති වුණේම නෑ. කලිසන් කමිස අඳින්න ඉල්ලනවා. “ඔයා ගෑනු ළමයෙක්. කලිසන් කමිස අඳින්නෙ නෑ. කියලා කිව්වම නෑ මම පිරිමියෙක් කියලා කියනවා.”   


එයාගෙ ගේ තිබුණ ප්‍රදේශය මුලින්ම කියන්න පටන් ගත්තෙ ඈත දුර කියලා. ඊට පස්සේ ජම්බුගස්වත්ත කියලා කිව්වා. නුවර ගියාම අලි නාවනවා බලන්න පුළුවන් කියලත් කිව්වා. ඒ ගෙදර තුවක්කුවක් තියෙනවා. ඒ තාත්තා කතා කරන්නේ බණ්ඩාර පුතා කියලත් කිව්වා.   


නිතර නිතර එයා ඉස්සර තොරතුරු කියන ගමන් එහෙ ගෙදරට එක්ක යන්න කියලා ඉල්ලා සිටියා. ඒ නිසා ඒ විස්තර අනුව පෙර නිවස හොයන්න අපි උත්සාහ කළා. ජම්බුගහවත්ත කියල කිව්වට එයාගෙ පෙර භවයෙ ප්‍රදේශය හමු වුණේ ජම්බුගහපිටියේදී. මැරුණ හැටි ගැන කිව්වේ වතුරට වැටුණ බවක් විතරයි. පුංචි කාලෙදී වතුරට පුදුම බයක් තිබුණා. නාවන කොට හිසට වතුර වක්කළාම වෙව්ලන ස්වරූපයක් දක්නට ලැබණා යැයි මව පැවසුවාය.   


කාංචනා ඇගේ පෙර භවය පිළිබඳව හෙළි කළ තොරතුරු කරුණු තිහකට වැඩි සංඛ්‍යාවක් අනාවරණය කරනු ලැබීය. ඒ අතරින් පෙර භවයේ සේවකයින් කීප දෙනකුගේ නම් ප්‍රකාශ කිරීමත් ඔහුගේ පෙර භවයේ නම ප්‍රකාශ කිරීමත් විය. ලූකස් නමින් අයෙක් සිටි බවත් ඔහුගේ හොඳ මිතුරා තිලකෙ යනුවෙන් හැඳින් වූ බවත් ඇය කීවාය. පෙර භවයේ සොහොයුරා පිළිබඳවත් ඇතැම් විට ඔහු අමතන ලද්දේ පොඩි නිලමේ ලෙස බවත් ඇයට මතක තිබිණි. නිවසේ තිබූ භාණ්ඩ අතුරින් බිත්තියේ ඇති අං තට්ටුවක් සහ තුවක්කුවක් පිළිබඳවත් ඇය හෙළි කළාය. කිරි එළදෙනුන් සහ ඔවුන්ට තිබූ කුඹුරු ගැන ද හෙළි කළ දැරිය කඳු සහිත පෙදෙසක නිවස පිහිටා තිබූ බැව් ද අනාවරණය කළාය.   


අපේ ගෙදරට යන්න පඩි පෙළක් තියෙනවා. ගේ ඉස්සරහ කුලුනු දෙකක් තිබුණා යයිද ඇය වරෙක පැවසුවාය. පෙර භවයේ නිවසේ තිබූ වියන් ඇඳක් පිළිබඳව ඇය අනාවරණය කරනු ලැබුවේ ඒ ගෙදර තිබුණේ කොටු ඇඳක් යනුවෙනි.   


පෙර භවයේ මිතුරෙකුගේ ඡායාරූපයක් ද ඇය නිවැරදිව හඳුනා ගනු ලැබීය. දොදොල් සෑදූ බැව් පැවසූ පෙර භව ලොකු අම්මාව ද හඳුනා ගැනීමට ඇයට එදා හැකි විය. එදා කාංචනා විසින් පෙර භවය පිළිබඳව අනාවරණය කළ කරුණු අතර ප්‍රධාන කරුණු රැසක් මෙසේය.   


♦ ගේ තිබුණේ කන්දක් උඩ   
♦ කඳු පාමුල ළිඳ තිබුණා.   
♦ රත්තරන් චේන් එකක් තිබුණා   
♦​ ගෙදර බිත්තියේ අං තට්ටුවක් සවිකර තිබුණා.   
♦ තාත්තා කතා කළේ බණ්ඩාර පුතා කියලා   
♦ තුවක්කුවක් තිබුණා   
♦ තිලකේ මගේ යාළුවා   
♦ එළදෙනුන්ගෙන් කිරි දොවනවා   
♦ කළිසන් කමිස ඇන්දා   
♦ තාත්තා මහතයි   
♦ නානගෙ කඩේ තිබුණා   
♦ පොඩි නිලමේ කියලත් කිව්වා   
♦ ජම්බුගහවත්ත   
♦ වත්තේගම   
♦ වතුරට වැටුණා   
♦ බෝල පිඟානක් තිබුණා   
♦ එහෙදී පිරිමියෙක්   
♦ කුස්සියේ දොර දෙකක් තිබුණා   
♦ එදා වැසි දවසක්   


මෙම කරුණු සියල්ලම ප්‍රබල සාක්කි ලෙස කාංචනා දැරියගේ පුනර්භව සාධකය තුළින් දක්නට ලැබිණි. ඇය හෙළි කළ තොරතුරු අනුව පෙර භවය සනාථ විය.   


පෙර භවයේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව වැඩි විස්තරයක් හෙළි නොවිණි. ඇගෙන් අනාවරණය වූයේ දියේ ගිලීමක් පමණි. ඇගේ පෙර භවය සොයා මුල්වරට දෙමාපියන් ගිය දිනයේදී ඔවුන් විසින් විමසීමක් සිදු කරනු ලැබුවේ දියේ ගිලී මරණයක් සිදුවූවකු පිළිබඳවය.   


පෙර භවය ගැන ඉතා හොඳ මතකයකින් සිටි කාංචනාට පෙර භව නිවස පිහිටා තිබූ අන්දම ද නිවැරදිව හෙළි කිරීමට හැකි විය.   


ඒ ගෙදර ලොකු ගෙයක්. ගෙදර පිටිපස්සෙන් කන්දක් තිබුණා. ළිඳ තිබුණේ ගේ පාමුල ගෙදරට ගියේ පඩි පෙළකින් යනුවෙන් ඇය නිතර හෙළි කළ බැව් ද මව අප සමග ද ප්‍රකාශ කළාය.   
පෙර නිවස හමුවීමෙන් පසු පෙර භවයේ නෑදෑ හිතවතුන් නිතර ඇසුරු කිරීම ද ඇගේ පුනර්භවය සාධකය තුළත් දක්නට ලැබූ විශේෂත්වයක් ලෙස ද දක්නට ලැබිණි.   

 

 

කාංචනා ඇගේ පෙර භවය පිළිබඳව හෙළි කළ තොරතුරු කරුණු තිහකට වැඩි සංඛ්‍යාවක් අනාවරණය කරනු ලැබීය. ඒ අතරින් පෙර භවයේ සේවකයින් කීප දෙනකුගේ නම් ප්‍රකාශ කිරීමත් ඔහුගේ පෙර භවයේ නම ප්‍රකාශ කිරීමත් විය. ලූකස් නමින් අයෙක් සිටි බවත් ඔහුගේ හොඳම මිතුරා තිලකෙ යනුවෙන් හැඳින් වූ බවත් ඇය කීවාය. පෙර භවයේ සොහොයුරා පිළිබඳවත් ඇතැම් විට ඔහු අමතන ලද්දේ පොඩි නිලමේ ලෙස බවත් ඇයට මතක තිබිණි. නිවසේ තිබූ භාණ්ඩ අතුරින් බිත්තියේ ඇති අං තට්ටුවක් සහ තුවක්කුවක් පිළිබඳවත් ඇය හෙළි කළාය. ඔවුන්ට තිබූ කුඹුරු ගැන සහ කිරි එළදෙනුන් ගැනද හෙළි කළ දැරිය කඳු සහිත පෙදෙසක නිවස පිහිටා තිබූ බැව් ද අනාවරණය කළාය.   

 

 


කාංචනාගේ පෙර භව මතක සටහන් පිළිබඳ විමර්ශනයක් කිරීමට පසුගිය දිනෙක ඇය යළිත් හමුවීමට අපට හැකිවිය. එදා පෙර භවය හෙළි කළ දැරිය අද දෙදරු මවක් වන පාසල් ගුරුවරියකි. පෙර භවයේ ජීවිතය ගැන මතකයේ ඇත්තේ මොනවාදැයි අප විමසූවිට පිළිතුරු දුන් කාංචනා මෙසේ කීවාය.   


එදා මගේ ජීවිතය අවසන් වූ ස්ථානය වැනි ඇළ දොළවල් අසලට ගිය විටදී මට තවමත් තැති ගැන්මක් ඇතිවෙනවා. කුඩා කලදීනම් මහත් බියක් ඇතිවූවා. එහෙත් දැන් තැතිගැන්මක් ඇති වූ විට ඒ මගේ පෙර භවය නේද කියා මා සිත සනසා ගන්නවා. මට තවම මතකයි පෙර භවේ නිවසට ගිය ගමන.  


එහිදී පෙර භවයේ තිබුණු භාණ්ඩ කීපයක්ම හඳුනා ගන්නට මට හැකිවුණා. එයින් ප්‍රධානම දෙයක් වූ මා එම නිවසට යෑමට ප්‍රථම අනාවරණය කළ පරිදි නිවසේ සවිකර තිබූ අං තට්ටුව, වියන් ඇඳ සහ හාන්සි පුටුව. මා එදා සිටි කාමරයත් හඳුනා ගන්නට මට හැකිවුණා. පෙර භවයේ නිවස පැරණි ලොකු ගෙයක්. ඒ ගෙදර පිහිටීමත් කුඩා කලදී මගේ මතකයේ රැඳී තිබුණා. නිවස තිබුණේ කන්දක් උඩයි. කඳු පාමුල ළිඳ පිහිටා තිබුණා. නිවසට යෑමට පඩි පෙළක් තිබූ බවත් මගේ මතකයේ තිබුණා.   


එදා නිවසට ගිය විටදී නිවසේ එම භාණ්ඩ ඒ අයුරින්ම මට අඳුනා ගන්න හැකි වුණා. පෙර භවයේ සිටි නිවසේ වැඩ කටයුතු කළ ලූකස් නම් අයෙකුත් අඳුනා ගන්නට මට හැකිවුණා. පෙර භවයේදී මගේ මිතුරකු ලෙස සිටි තිලකේ නම් කෙනෙකුත් එහිදී මට හඳුනා ගන්න හැකි වුණා. ඔහු සමග සිටි ඡායාරූපයක් ද මා අඳුනා ගත්තා.   


එදා පෙර භව නිවසට ගියාට පසු නිතර නිතර එම නිවසට යෑමට මට හැකිවුණා. මා නොගිය විටදී මගේ පෙර භවයේ පියා මා බලන්නට ඒම පුරුද්දක් කරගෙන තිබුණා. මම අවසන් වරට පියාගේ අවමංගල්‍යයටත් ගියා. පෙර භව​ෙය් පියා මට ඇමතුවේ පොඩි නිලමේ කියලා. බණ්ඩාර පුතා කියලත් මා අමතනවා මට තවම මතකයි. යනුවෙන් කාංචනා සිය පෙර භව මතක සටහන් මා සමග හෙළි කළාය.   


පෙර භව මතක සටහන් තවමත් ඒ අයුරින්ම මතකයේ ඇත්තේ කෙසේ දැයි මා විමසූ විට.   


සමහර විට පෙර භවයේ පියා ඇතුළු පවුලේ අය නිතර ඇසුරු කිරීමට ලැබීම නිසා මගේ පෙර භව මතක සටහන් ඒ අයුරින්ම මතක​ෙය් රැඳෙන්නට ඇතැයි මා විශ්වාස කරන්නේ යයි කාංචනා අප සමග හෙළි කළාය. පෙර භවයේදී නිවසේ සෑදූ දොදොල් වැනි ආහාරවලට ඇය උපතින්ම දැඩි අාශාවක් දැක්වීම ද කාංචනා තුළින් දක්නට ලැබේ.   


පෙර භවයේදී නිතර මිතුරන් ඇසුරු කළ බව මතකයේ ඇති බවත් පෙර භවයේ පියා මිය යන තුරුම ඇය බැලීමට මසකට වරක් හෝ නුවර සිට කොළඹට පැමිණි බව ද සඳහන් කළාය.   


පෙර භවයේ නිවස පිහිටි ආකාරය තවමත් ඇගේ මතකයේ රැඳී පවතින බැව් ද හෙළි කළාය. කාංචනා කුඩා කල සිට ඇගේ මතකයේ තිබූ පෙර භවයේ නිවස චිත්‍රයක් මඟින් ඇඳ පෙන්වීමට ද ඇයට හැකි විය. පෙර භවය හෙළි කළ කාංචනා උපත ලබා ඇත්තේ 1975 මාර්තු මාසයේදී වූ අතර පෙර භවයේ ජීවිතය අවසන් වී ඇත්තේ ඊට වසර 17කට පෙර බැව් අනාවරණය විය.   

 

 

 

 

 

 

 


සටහන හා ඡායාරූප 
තිස්ස ජයවර්ධන