සිනමාව කිව්වම ඕන කෙනෙක් කැමතියි නේ. ඒ අතරෙ කේරළයේ මලයාලම් සිනමාව ලංකාවේ වුණත් හරිම ප්‍රසිද්ධයි. හැබැයි “සඳැල්ලෙන්” මේ කතා කරන්න යන්නේ මලයාලම් සිනමාව ගැන නම් නෙවෙයි. මලයාලම් සිනමාවේ නිජබිම වෙන කේරළය දක්වාම අපේ ලාංකීය සිනමාව අරන් යන්න පුළුවන් වුණ චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් ගැන කියන්නයි. විටෙක රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත්, තවත් විටෙක ලේඛිකාවක් විදිහටත් ප්‍රේක්ෂක ආදරය දිනූ ඇය - නමින් නදී වාසලමුදලි ආරච්චි. මේ ඇය සම කළ කතාබහයි.
ප්‍ර මුලින්ම අපි නමින් ම පටන් ගනිමු. සමහරු වාසලමුදලි ආරච්චි කියනවා, තව සමහරු වාසලමුදලි කියනවා.මොකක් ද නිවැරදි?
ඔව්. මගේ නිවැරදි නම නදී වාසලමුදලි ආරච්චි. හැබැයි ගොඩක් වෙලාවට සමහරු ආරච්චි හලලා වාසලමුදලි කියලා විතරක් කියනවා. මම ඇත්තටම ටීවි ප්‍රසන්ටර් කෙනෙක්.
ප්‍ර කොහොමද මාධ්‍ය ජීවිතේට සම්බන්ධ වෙන්නේ?
මගෙ අක්කා තාරකා වාසලමුදලි ආරච්චි. ඇය තමයි මාව මේ මාධ්‍යය ජීවිතයට යොමු කරන්නේ. ටීවි ප්‍රසන්ටර් කෙනෙක් විදිහට සිරස මහාරාජා එකෙන් මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තේ. ඇත්තටම 1997 මම සිරස Fm එකට තමා ඉස්සෙල්ලම සම්බන්ධ වුණේ. එතකොට සිරස ටීවි පටන් අරගෙන නැහැ. නිමල් ලක්ෂපති ආරච්චි අයියා තමයි මාව බඳවා ගන්නේ. ඔහු මට පියෙක් වගේ. නිමල් අයියා ඒ දවස්වල ටීවි ප්‍රසන්ටර්ස් ලා හොයලා තියෙනවා. ඉතින් මම, දිලිනි, තනූජා, ගයනි, තරිදි අපි පස් දෙනා තමයි හිටියේ. මගේ මාධ්‍ය ජීවිතේ පටන් ගන්නෙ එතනින්. සිරස පටන් ගන්න කොට හිටපු පළවෙනි තරුණ පරම්පරාව තමයි අපි. ඉතින් ඒක හොඳ අත්දැකීමක් වුණා ජීවිතේට. සිරස පටන් ගත්තු පළවෙනිම දවසේ මට මතකයි මගේ වැඩසටහනක් ගියා. ඒ වැඩසටහනෙන් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන තමයි කතා කළේ. ඊට සමගාමීව තව hindi top ten කියලා වැඩසටහනකුත් කළා. ඊටත් පස්සේ මම තරු මංසල කියල තව වැඩසටහනක් කළා. ඔය දෙකම ජනප්‍රිය වුණා. ඒ වගේම පළවෙනි කාන්තා උදෑසන වැඩසටහන විදිහට පහන් පියස කියලා වැඩසටහනක් අපි පටන් ගත්තා. එහෙම ආපු ගමන තමයි මේ තියෙන්නේ.
ප්‍ර ඔබ අද වෙන කොට ලේඛිකාවක් සහ අධ්‍යක්ෂිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඒ ගැනත් අපි කතා කළොත්?
මම 2008 දී පොත් දෙකක් එළි දක්වනවා. ආකාස පර්වත කියලා නවකතාවකුයි. ප්‍රේමය සමග ඩොක්සාවට එරෙහිව කියලා කවි පොතකුයි. මම කොහොමත් පොඩි කාලේ ඉඳලා ගොඩක් පොත් කියවන කෙනෙක්. ඒ නිසා මටත් ඕන වුණා නවකතාවක් ලියන්න. මේ වෙනකොට මම නවකතා තුනක් සහ කවි පොත් තුනක් ලියලා තියෙනවා. වුල්ෆන්ඩාල් කියන්නේ 2015 දී මම දෙවනියට ලියපු පොත. ඒක ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණා. ඊට පස්සේ ඊළඟට ලිව්වේ ලෝටස් රිපබ්ලිකය. ඒ පොතෙන් පස්සෙ තමයි මම ඇත්තටම චිත්‍රපටියක් කරන්න එන්නේ.
ප්‍ර පොත් ලියපු නදීට චිත්‍රපටියක් කරන්න හිතෙන්න තරම් හැරවුම් ලක්ෂ්‍යයක් වුණේ මොකක්ද?
එහෙම හැරවුම් ලක්ෂ්‍යයක් නැහැ. හැබැයි සිරසෙ වැඩ කරන කාලේ ඉඳලම අපි හරි ආසයි චිත්‍රපටිවලට. මොකද අනූඅට දෙදහ වගේ කාලෙදි අනිත් හැම මාධ්‍යයකටම වඩා චිත්‍රපටි මාධ්‍ය ගොඩක් ප්‍රබලයි. ඉතින් පොඩි කාලෙ අපි හැමෝම ආසයි සිනමාවට. ඒ විදිහට ගොඩක් අයට චිත්‍රපටයක් කරන්න ආසාව තිබ්බා. හැබැයි ටික දෙනෙකුට විතරයි ඒක සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. සිරසෙ වැඩ කරද්දි ඒ ආසාව තව වැඩි වෙනවා. මොකද ගොඩක් වෙලාවට සිරසෙ දි කරන සම්මුඛ සාකච්ඡාවලදී අපිට හමුවෙනවා අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, සංජීව පුෂ්පකුමාර වගේ අයව. ඒවගේම මාලනී අක්කලා, සබීතා අක්කලා, ස්වර්ණා අක්කලා නිතරම හම්බ වෙනවා. ඒ වගේම අනෝජා අක්කා එක්ක තමයි අපි ගොඩක් වෙලාවට පුරුදු පුහුණු වුණේ නිවේදනය ඉදිරිපත් කරද්දී මුහුණෙ අභිනය වගේ දේවල්. ඉතින් අපි ගොඩක් වෙලාවට ඇසුරු කරලා තිබ්බෙ සිනමාවට සම්බන්ධ අය. ඒ නිසාම වෙන්නැති සිනමාව ගැන එච්චර ලොකු ආසාවක් හිතේ ඇති වුණේ. ඒ විදිහට මටත් සිනමා කෘතියක් කරන්න ඕනි කියන ආසාව ඇති වෙන්නෙ මට අවුරුදු දහනවයෙ දි. ලංකාවේ චිත්‍රපටයක් කරන්න තියන අපහසුතාවයත් එක්ක තමයි ගොඩක් හීන කල් යන්නේ සහ මැරිලා යන්නේ. මම කොහොමහරි ඉතින් ඒ හීන හැබෑ කරගත්තා.
ප්‍ර 'PANTRUM' චිත්‍රපටිය ගැන කිව්වොත්?
මගේ පළවෙනි චිත්‍රපටිය 'PANTRUM'. ඒක කලාත්මක ගණයේ චිත්‍රපටියක් ( Art house feature film) ඒක පළවෙනි වතාවට කේරළයේ තමයි ප්‍රදර්ශනය කෙරෙන්නේ. චිත්‍රපටියේ තියෙන්නේ පශ්චාත් යුධ වාතාවරණයක් ගැන. යුද්ධ කාලෙ මග ඇරිලා හිටපු තාත්තෙක් සහ පුතෙක් ගැන තමයි කතාව ගලන් යන්නේ. ඒ දෙන්නා තාත්තයි පුතයි කියල දැනගෙන හිටියේ නැතත් එක මොහොතක දී ඒ දෙන්නා ඒ ඇත්ත දැනගන්නවා. ඉතින් ඒ දෙන්නා කොහොමද ඒ ගනුදෙනුව බේරගන්නේ කියන කතාව තමයි චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ.
ප්‍ර චිත්‍රපටියට මොනවගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය ද ලැබෙන්නේ?
ඇත්තටම කේරළයේ Independent Experimental Film Festival ( IEFF) එකෙන් මට ලැබුණු ප්‍රතිචාරය මට හිතාගන්නත් බෑ. කේරළයේ තියෙනවා 'මාධ්‍යමම්' කියලා ජනප්‍රිය පත්තරයක්. ඒකෙ පවා එයාලා මට ඉඩක් වෙන් කරනවා. ඉතින් ඒ වගේ වටිනාකමක් ලැබුණු එක මං හිතනවා මට ලැබුණු ලොකු ගෞරවයක් කියලා. වෙන රටක, ඒ වගේ පත්තරේක මගේ ආටිකල් එකක් සහ මගේ කවර් පේජ් එකක් ගියා කියන එක මටත් හිතාගන්න අමාරුයි. Independent Experimental Film Festival ( IEFF) ජූරියෙන් තමයි චිත්‍රපටිය තෝරගෙන තිබ්බේ. ජූරිය ලෝකෙන්ම චිත්‍රපටි හයයි තෝර ගෙන තිබුණේ. ඒ හයෙන් එකක් විදිහට මගේ චිත්‍රපටයත් තේරුණා. ඉතින් හොඳ මාධ්‍ය ප්‍රතිචාරයක් වගේම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් මට ලැබුණා. ඒවගේම කේරළයේ සිනමාව ගැන පළවෙන පොතකට ලිපියක් ලියන්නත් මට අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ ලැබෙන ප්‍රතිචාර ගැන හරිම සතුටුයි.
ප්‍ර ඔබ පළවෙනි චිත්‍රපටය සාර්ථකව නිර්මාණය කරලා අවසන්. ඉදිරියෙදි සිනමාව ගැන මොන වගේ හීනයක් ද තියෙන්නේ?
මට තිබුණු ලොකුම හීනේ තමයි චිත්‍රපටියක් හදන එක. හැබැයි මගේ පළවෙනි චිත්‍රපටියට මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා මම ඇත්තටම හිතුවේ නැහැ. මට ඇත්තටම ඕන වුණේ චිත්‍රපටිය තේරුණාට පස්සේ කේරළයට යන්න. මොකද කේරළේ මලයාලම් චිත්‍රපටි ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි නේ. ඊට අමතරව දැන් ඒකට තව හීනයක් තියෙනවා. ඒ තමයි මගේ දෙවෙනි චිත්‍රපටිය කේරළ භූමියේ කරන එක. මොකද චිත්‍රපටි ගැන කේරළේ තියෙන්නේ ලොකු දැනුමක්. ඒ වගේම මට හිතෙනවා මගේ දෙවැනි චිත්‍රපටය මටම විශාල අභියෝගයක් වෙයි කියලා. මොකද පළවෙනි චිත්‍රපටය මේ තරම් සාර්ථක වුණා කියන්නේ දෙවැනි චිත්‍රපටය මම මීට වඩා සාර්ථකව කරන්න ඕනේ. ඉතින් ඒ අභියෝගයට මම හොඳින් මුහුණ දෙනවා. මං ගොඩක් කැමැත්තෙන් ඉන්නවා කේරළයේ මගේ දෙවැනි චිත්‍රපටය කරන්න. ඒ වගේම චිත්‍රපටය පළවෙනි සිනමා උළෙල විදිහට තමයි කේරළයේ තිරගත වුණේ. මමත් පළවෙනි වතාවට මගේ චිත්‍රපටය ලොකු තිරයක දැක්කෙ කේරළේදී. චිත්‍රපටය අපේ රටේ පෙන්නනවා නම් ලොකු පෝළිමක ඉන්න වෙනවා. හැබැයි වර්තමානේ අරගෙන තියෙන පියවරත් එක්ක අපේ රටේ මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්නත් මට ලොකු කාලයක් බලාගෙන ඉන්න නැතිවෙයි. කොහොම හරි ලබන අවුරුද්දෙ විතර මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කරන්නත් පුළුවන් වෙයි කියලා මම හිතනවා.
ප්‍ර මේ වෙනකොට ඔබ චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක්, ලේඛිකාවක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. මේ කියන භූමිකාවලින් ඔබ වැඩිපුර ඔබව හඳුන්වන්න කැමති කොහොමද?
ඇත්තටම ඒක ගොඩක් අමාරු ප්‍රශ්නයක්. මම තුනටම කැමතියි මොකද මට ඒ තුනම එක වගේ. චිත්‍රපට අධ්‍යක්‍ෂිකාවක් වෙන්න මට ඒ තුනෙන්ම ලැබුණු දැනුම ප්‍රයෝජනවත් වුණා. කේරළයේදී මගේ චිත්‍රපටය ඒ තරම් ප්‍රසිද්ධ වුණෙත් ඒ නිසා කියලයි මම හිතන්නේ. චිත්‍රපටිය ඇතුළේ විද්වත් කතිකාවක් තියෙන නිසා. ඒ භූමිකා තුනෙන්ම මට ලැබිල තියෙන මගේ ජීවිත අත්දැකීම් තමයි මගේ දැනුම වෙන්නේ. ඉතින් ඒ තුළින් එකක්වත් මට බැහැර කරන්න බෑ.
ප්‍ර පවුලේ අය ගැනත් සඳහන් කළොත්?
පවුලේ ඉන්නේ මගේ අම්මයි අයියයි අක්කයි. අක්කා තාරකා වාසල මුදලි ආරච්චි. ඇය සම්මානනීය වැඩසටහන් නිෂ්පාදිකාවක් සහ සම්මානනීය ලේඛිකාවක්. ඒ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ සහකරු සම්පත්. ඔහුගෙන් ලැබෙන සහයෝගය නැත්නම් අද මම මෙතන නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම මුලින්ම මාධ්‍යයට එන්නෙ, මම මාධ්‍යයෙන් හැදෙන්නෙ මගෙ අක්කා නිසා. දෙවෙනියට මම චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් විදිහට අද මෙතන ඉන්නේ සම්පත් නිසා. ඒ අතින් මම මාර වාසනාවන්තයි. ඒ වගේම මේ චිත්‍රපටිය කළේ මම අවසානෙට කරපු වෙෙළඳ දැන්වීම් ආයතනයේ රැකියාව කරන ගමන්. ඒ වෙලාවේ මට කාර්‍ය මණ්ඩලයෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම මගේ චිත්‍රපටයේ කාර්‍ය මණ්ඩලය. ඒ හැමෝටමත් මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඔවුන් මට සහයෝගය දුන්නෙ නැත්නම් මට මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම කේරළයේ සංවිධායක මණ්ඩලයෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා.
කෞශල්‍යා ලක්ෂානි