සිහිවටනයක පසුබ්ම් කතාව
කොළඹ පුරවරයේ පාලන කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ කොළඹ නගර සභාවයි. මේ කොළඹ නගර සභාවේ ඉතිහාසය සොයා යන විට එය වසර 1866 තෙක් ඈතට දිව යන්නක් ලෙස ඉතිසාසය පුරා සටහන් තබා ඇත. මේ නගර සභාවේ ආරම්භය ගැන සලකන විට මුලින්ම මතකයට එන නමක් නම් රජයේ මැනුම් දෙපාර්තමේන්තුවේ ජී. බර්ටන් මහතාය.
නගර සභා ගොඩනැගිල්ලක් සඳහා කැඳවූ යෝජනාවන්ගෙන් ප්‍රසිද්ධ කර්මාන්ත කමිටුව අනුමත කොට ඇත්තේ බර්ටන් මහතාගේ නගර සභා ගොඩනැගිල්ල සඳහා වූ යෝජනාවයි. නමුත් එය අධික වියදමක් දැරිය යුතු නිසා යෝජනාව ක්‍රියාත්මක කිරීමට හිරු නොබසින අධිරාජ්‍යයේ පාලකයන් පියවර ගත්තේ නැත.
කොළඹ යන නාමයේ උප්පත්ති කතාව ගැන සොයන බොහෝ දෙනා මූලාශ්‍රයක් ලෙස ගන්නා ග්‍රන්ථයක් නම් කොළඹ නගර සභා ශත සංවත්සර කලාපයේ එච්.ඒ.ජේ. හුලුගල්ල මහතා විසින් එක්රැස්කොට ඇති කරුණුය. තවත් බොහෝ දෙනා පාදක කරගත්තේ පසුගියදා අප අතරින් වෙන්වූ පද්මා එදිරිසිංහ මහත්මිය කොළඹ ගැන තබා ඇති සටහන්ය. එහෙත් ලංකාදීපයේ අපි මේ ලේඛකයන් දෙදෙනාගේම ලේඛනවලටත් එහා ගොස් මේ කොළඹ ගැන ඇති ඓතිහාසික මූලාශ්‍ර එක් රැස්කොට ලේඛනගත කරන්නේ මහත් උත්සාහයකිනි. මේ ඓතිහාසික මූලාශ්‍ර සොයා යාමේ විධිමත් ක්‍රම මෙන්ම අවිධිමත් ක්‍රම පවා යොදාගෙන සොයාගත් තොරතුරු ගැන පාඨකයන් දක්වන ප්‍රතිචාරය අතිමහත්ය.
අප කලින් උපුටා ගන්නා ලේඛකයන්ගේ ලේඛනවලටත් වඩා ‘කොළඹ’ යන නාමය ගැන විග්‍රහයක් කළ පුද්ගලයකු නම් ප්‍රැන්සිස් බුලත්සිංහල මහතාය. ඔහු පවසන පරිදි කොළඹ යන නාමය බොහෝ ස්ථාන නාම හැඳින්වීමට යොදා ඇති බැවින් කොළ පමණක් තිබූ අඹ ගසක් නිසා හෝ කොළොන් ගංතොට (කැලණි ගංතොට) නිසා හෝ කොළඹ නම යෙදුනා යයි සිතීම දුෂ්කරය.
කොළොඹ කරළු ඈ නිවිදන් සඳ පියෙවි නම් යනුවෙන් සිදත් සඟරාවේ දැක්වේ. රුවන්මලේ ‘කොළඹ’ට අර්ථ 3ක් දක්වා ඇත. තොටුපළ, කොළොම්ගස, මිමැන්නා යනු ඒ අර්ථ තුනය. රැපියල් තෙන්නකෝන් වියතුන්ගේ සිදත් සඟරාව අරුත් වියකනේ මෙවැනි සඳහනක් ඇත.
අද වනාහි ‘කොළඹ’ යනු ‘එක්මැ තොටක් බඳු නුවරකට යෙදෙන නමෙකි. කිසිවිටෙක මේ තොටමුනේ හඬින්මැ ‘තොට’ යන අරුත දෙන්නට ‘කොළඹ’ යනු වහරේ වැටුනා වෙන්නට ද බැරි නැත’ යනුවෙන් තෙන්නකෝන් ගුරුන් දක්වා ඇත.
ප්‍රැන්සිස් බුලත්සිංලයන් තවදුරටත් විග්‍රහකොට අැත්තේ පුරාණයේදී අප රට වැව්, ඇළ, ගම් ආදියට කොළඹ යනුවෙන් භාවිතා වූවාක් මෙන්ම, පෙරදී කොළඹ තොටට ‘කොළඹ’ කියා භාවිතා කොට ඇත. සමහරවිට කොළොම්ගස් බහුලව තිබුණු මේ තොටුපළ පෙදෙස ‘කොළඹ’ යනුවෙන් හඳුන්වන්නට ඇත. කොළොන්න, කොළොන්නාව යන ග්‍රාම නාමවලින් ද පෙනී යන්නේ කොළඹ අවට කොළොම් ගස් බහුලව තිබුණු බවය.
කොළඹ නගර සභාව ගැන ලියන්නට ගොස් ‘කොළඹ’ නාමය ගැන ඇති මතවාද උපුටා දක්වන්නට අත්‍යවශ්‍ය වූයේ මුලින්ම ‘කොළඹ’ නාමය ගැන මතවාද නිරවුල් කරගැනීමට අත්‍යවශ්‍ය වූ නිසාය. නමුත් අවසානයේ එකල පැවැති ගෘහ නිර්මාණ ශිල්පය අනුව දෙමහල් ගොඩනැගිල්ලක් සැලසුම් කිරීමට පවරණු ලැබුවේ බ්‍රිතාන්‍ය නිර්මාණ ශිල්පියකු වූ ජේ.ඒ. ස්මිතර් නිර්මාණ ශිල්පියාටය. මෙම මුල් ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තු කොට ඇති මුදල පවුම් හත්දහසකි. මුල් ලේඛනවල සඳහන් වන්නේ එම මුල් පුරහල ශාන්ත පාවුලු දේවස්ථානයත් එඩින්බරෝ වෙළෙඳපොළත් අතර ඉදිවූ බවය. මෙම මුල් පුරහල හෙවත් අද ගෑස්පහ හන්දියේ පැරණි නගරශාලා ගොඩනැගිල්ල විවෘත කොට ඇත්තේ 1873 වසරේදීය. ඒ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා අතිනි.
නමුත් පසු ලේඛනවල හඳුන්වන්නේ එම ස්ථානය අලෙවි දෙපාර්තමේන්තුවට පවරා දුන් බවය. 1984 අවුරුද්දේ එය පිළිසකර කොට එය නගර සභා කෞතුකාගාරය වශයෙන් අදටත් පවතී. නගර සභා ඉතිහාසය ගැන කරුණු සොයන්නට එතැනට ගිය විට දැන් ඇති පුරහල නගර ශාලාවටත් වැඩි කරුණු රැසක් අපට සොයාගත හැකි වූයේ පැරණි නගර ශාලාවය. වෙන රටවල මෙවැනි ස්ථාන සංරක්ෂණය කොට මතු පරපුරට දැක ගැනීමේ අවස්ථාව සලසා ඇත. එහෙත් අද මේ පැරණි නගර ශාලාවේ කොටසක ඇත්තේ වංගෙඩි, කැති, මන්න, පැදුරු, හඳුන්කූරු ආදිය විකුණන වෙළෙඳසලකි.
‘බැසට්’ මාකට් එක පිහිටියේ කොහේදැයි ලියුම්කරු මෙහි වෙළෙඳාමේ නියුතු වෙළෙන්දකුගෙන් අසනු ලැබීය.
‘මේක ඕල්ඩ් ටවුන් හෝල් සුපර් මාකට් තමා. ‘බැසට්’ මාකට් කොහෙද දන්නේ ලොක්කා’ යි පිළිතුරු දුන් මුස්ලිම් වෙළෙන්දා අසන ලද ප්‍රශ්නය පයිසයකට ගණන් නොගෙන ගැනුම්කරුවකුට කුඩා හිරමණයක් විකුණන්නට උත්සාහ ගත්තේය. පැරණි ලේඛනවල සඳහන් වෙන්නේ මෙම ස්ථානයේ වූ වෙළෙඳසල බැසට් මාකට් නමින් හැඳින්වූ බවය.
පිටකොටුව ප්‍රදේශය ජනාකීර්ණ වෙදිදී නිසංසල ප්‍රදේශයක ‘පුරහල’ පිහිටුවීමට නොහොත් අද ඇති ස්ථානයේ පුරහල ගොඩනැගිල්ලේ ගොඩනැගීමට තීරණය වෙන්නේ 1907 දීය. එවකට පුරපතිවරයා වූයේ ඊ.ඇම්. ද කර්සිපොට්ය. මේ සඳහා තෝරාගත් ඉඩම දෙපස වූයේ ඇස් රෝහල හා වික්ටෝරියා උද්‍යානයයි. නගර සභා ලේඛනවල සඳහන් පරිදි වත්මනෙහි දක්නට ලැබෙන පුරහල ගොඩනැගිල්ලට මුල් ගල තබා ඇත්තේ එවකට පුරපති ටී. රීඩ් මහතා විසිනි. ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු ඒ. ග්‍රැමෝන් සමාගම පුරා සිව් වසරක් ගෙන ඇත.
වත්මන් නගර සභා ගොඩනැගිල්ල දුටු විට අපේ මතකයට එන්නේ ඇමෙරිකාවේ කැපිටෝල් (Capitol) මන්දිරයේ සහ ධවල මන්දිරයේ (White House) සංකලනයකි. එය විවෘත කොට ඇත්තේ එවකට නගරාධිපති ධුරය දැරූ එම්.ඊ. නිවුන්හැම් මහතා විසිනි.
පසුගියදා පැවැති ඡන්දයෙන් කොළඹ නගර සභාවේ ප්‍රථම පුරපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය පත් වූවාය. එහෙත් කොළඹ නගර සභාවේ නගර සභා රැස්වීමේදී ප්‍රථම වතාවට කාන්තාවක ලෙස මුලසුනට පත්වූයේ ශර්මිලා ජයවර්ධන ගෝනවල මහත්මියයි. ඒ ප්‍රසන්න ගුණවර්ධන මහතා පුරපති යුගයේය. 2002 අප්‍රේල් 20 නගර සභා ඡන්දයේදී තේරී පත්වූ එජාප මන්ත්‍රීන් 32කගෙන් 16 වැනි ස්ථානයට පත් වූයේ ගෝනවල මහත්මියයි.
පසුගිය ඡන්දයේදී බොහෝ නගර සභාවල ගම් සභාවල අපේක්ෂකයන් තමන් පුරපති කරන ලෙස දැන්වීම් ගසනු දක්නට ලැබිණ. නමුත් කොළඹ නගර සභාවේ පුරහල අධිපති ‘පුරපති’ බව නොදැන සිටියා විය යුතුය. පුරපති යනු කොළඹ නගර සභාවට සුවිශේෂී තනතුරකි. නගර සභාවල ප්‍රධානියා හැඳින්විය හැක්කේ නගරාධිපති ලෙස හෝ නගර සභා සභාපති ලෙසය.
කොළඹ නගර සභාව පිහිටුවා එළඹෙන නොවැම්බර් මාසයට වසර 153ක් පිරේ. නව ඡන්ද ක්‍රමය යටතේ කොළඹ නගර සභා ඡන්දය පැවැත්වූයේ පෙබරවාරි 10 වැනිදාමය. කොළඹ නගර සභාවෙන් බලයට එන බොෙහා් දේශපාලනඥයන් මෙරට සක්‍රීය දේශපාලනය තුළ ගොස් ඇති දුර නිරීක්‍ෂණයේදී කොළඹ නගර සභා ඡන්දයෙන් ද මෙරට ජාතික දේශපාලනයට එක්වන නායකයන් දෙස ජනතාව බලා සිටින්නේ දැඩි අවධානයකිනි.
1865 සිට කොළඹ මහ නගර සභාව ඇරඹූ දා සිටම එය වැදගත් සිද්ධීන් ගහන ඉතිහාසයකට හිමිකම් කියයි. 1866 ජනවාරි 5 වැනි දින සභිකවරු 9 දෙනකු මුල්ම නගර සභාවට පත්කරන්නේ බ්‍රිතාන්‍ය රජයෙනි. ඩී.බී. ලෙයාඩ්ස් මුල් සභාපති වූ අතර සැමුවෙල් ග්‍රැනියර් ආරම්භක ලේකම්වරයාය. කොළඹ නගර සභා මුළු සීමා පෙදෙස එකල කොට්ඨාස 9කට බෙදා තිබුණි. ඒවා නමින් කොල්පිටි, ස්ලේව් අයිලන්ඩ්, ෆෝට්, පෙටා, සෙන්ට් පෝල්, සෙන්ට් චයිනා, නිව් බසාර් සහ මරදාන වශයෙනි. නව ඡන්ද ක්‍රමය අනුව කොළඹ නගර සභාව මන්ත්‍රී ධුර 113කින් සමන්විතය. එය පෙර පැවැති ක්‍රමයට වඩා 100%කටත් වඩා වැඩි වීමකි.
පොදුවේ ගත් කල කොළඹ නගර සභාව මෙරට දේශපාලනයේ වැදගත් සංධිස්ථානයක් වන්නේ ඇයි? කෙටියෙන් හැඳින්වුවහොත් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කළ නායකයන් බිහි කළ නිසාම ද? ඔවුනට ඉගෙනීමට උපකාරී වූ ශිල්ප ශාලිකාව වූ කොළඹ නගර සභාවය.
කොළොම්පුරය ඇති වූයේ දෙවියන්ගේ නිර්මාණයක් ලෙස නොවේ. රුසියානු මහා ගත්කරු ලියෝ තෝල්ස්තෝයි වරක් ප්‍රකාශ කළේ කුමන නගරයක් වුව ද මිනිසාගේ නිර්මාණයක් මිස දෙවියන්ගේ නිර්මාණයක් නොවන බවය. මේ කොළඹ නගරයේ බිම් ප්‍රමාණය අක්කර 9166 කි. මෙයින් විශාලතම ප්‍රදේශය අක්කර 846කින් යුතු කුරුඳුවත්තයි. කොළඹ කොටුව අක්කර 441 කි. මරදාන අක්කර 64 කි.
මෙරට විධායක ජනාධිපතිවරුන් වූ ජුනියස් රිචඩ් ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරුන් දේශපාලනයේ මුලකුරු කියවූයේ මේ කොළඹ නගර සභාවෙනි. ජයවර්ධන මහතා 1941 සිට 1943 දක්වාත් ප්‍රේමදාස මහතා 1950 සිට 1957 දක්වාත් 1961 සිට 1965 දක්වාත් කොළඹ නගර සභාවේ සභික තනතුරු දැරූහ.
බොහෝ දෙනාට අමතක වී ඇති කරුණක් නම් මෙම කලාපයේ පළාත් පාලන ආයතනවලින් සර්වජන ඡන්දයෙන් නියෝජිතයන් තෝරා ගැනීමට වරම් ලද ප්‍රථම ආයතනය මෙය බවය.
කොළඹ නගර සභාවේ සෙවණ ලද නායකයන් බොහෝමයක් මෙරට දේශපාලනයේ පතාක යෝධයන් වූ බව නොකිවමනාය. සර්. ජේම්ස් පිරීස්, ඊ.ඩබ්ලිව්. ජයවර්ධන, එෆ්.ආර්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක (1927-1931), ඒ.ඊ. ගුණසිංහ, (1940), ආචාර්ය එන්.එම්. පෙරේරා, වී.ඒ. සුගතදාස, වින්සන්ට් පෙරේරා, බර්නාඩ් සොයිසා, එම්.එච්. මොහොමඩ්, නන්දසේන කුරේ, සිරිසේන කුරේ, ඒ.එච්.එම්. ෆවුසි ආදීන් මෙයින් කිහිපදෙනෙකි.
කොළඹ නගර සභා ඉතිහාසය පිරික්සීමේදී පවුල් පරම්පරා කීපයක් ගැන ද සඳහන් නොකළොත් අඩුපාඩුවකි. නිව් බසාර් ආයතනයට වරක් එකම පවුලේ තිදෙනකු පත්වී ඇත. ඔවුන් නමින් හෙක්ටර්, ඊ.ඩබලිව්. සහ ටී.ජී. ජයවර්ධන යන අයයි. තවත් සහෝදරයන් තිදෙනකු එකම කාලයකදී (1937-1943) තේරී පත්වී ඇත. සර් රතනජෝති සරවනමුත්තු (මුල් නගරාධිපති), එස්. සරවනමුත්තු සහ එන්. සරවනමුත්තු මේ සහෝදරයන් තිදෙනාය.
වී.ඒ. සුගතදාස මහතා කොච්චිකඩේ අසුනට තරග කළේ 1946 දී නිදහස් අපේක්ෂකයකු ලෙසය. ඔහු 1949 දී උපනගරාධිපති වූයේ එජාප සභිකයකු ලෙසය. 1956 දී සුගතදාස මහතා නගරාධිපති ධුරයට පත් වන්නේ එන්.එම්. පෙරේරා මහතා නෙරපා හරිමිනි.
කොළඹ නගර සභා ඡන්දය දෙස බොහෝ දෙනා බලා සිටියේ ඇහැ ගහගෙනය. ඇත්තටම මෙය කොළඹ වුණේ කොහොම ද? මේ ගැන ෙම් ලිපිය මුලින් ද සටහනක් තබා ඇත. ඒ ගැන රොබට් නොක්ස් පවසා ඇත්තේ මෙසේය.
“කොළඹ නගරයට බටහිර දිග්බාගයේ ස්වදේශකයන් අඹ ගස නමින් හඳුන්වන ගසක් තිබේ. අඹ ගසේ සාමාන්‍යයෙන් අඹ ඵල හටගැනුනත් මේ ගසේ ඇත්තේ කොළ පමණක් නිසා ගස කොළ අඹ යන නමින් හැඳින්වූ අතර ක්‍රිස්තියානීන් කොළඹවන්ට ගෞරව කරනු වස් ‘කොලුම්බු’ යන්න ඒ වෙනුවට යොදා ගෙන ඇත. මුහුදුබඩ ප්‍රදේශයේ ඇති ප්‍රධාන නගරය මෙයයි. ප්‍රධාන ආණ්ඩුකාරයාෙග් නිල නිවාසය ද මේ නුවර තුළ පිහිටා ඇත.
මේ කරුණු වඩාත් සනාථ වන්නේ ලන්දේසීන් නගර ලාංඡනයට අඹ ගසක් සහ පරවියකු තෝරා ගැනීමෙනි. නමුත් රොබට් නොක්ස් යුගයේ කොළඹ නගර සභාවට සුදෝ සුදුව බැබළෙන ඇමෙරිකාවේ ධවල මන්දිරය වැනි ගොඩනැගිගල්ලක් තිබුණේ නැත. නමුත් දැන් ප්‍රශ්නය වී ඇත්තේ රෝසි සේනානායක පුරපතිනිය ලෙස රැස්වීම් කැඳවීමට ගොඩනැගිල්ල ඉඩකඩ මදිවීමය. මේ ගොඩනැගිලි සැලසුම් කරන කාලයේ ‘හැටහුටාමාරක්’ මන්ත්‍රීවරු පිරිසක් මේ කොළඹ නගර සභාවේ බිහිවනු ඇතැයි සැලසුම්කරුවන් සිහිනෙන්වත් සිතන්නට නැතුව ඇත.
කොළඹ නගර සභා ඉතිහාසය රසවත් සිදුවීම්වලින් ද පිරි ඇත්තකි. ප්‍රථම වරට ආසියාවේ වාෂ්ප බලයෙන් ක්‍රියා කරන ගල්රෝලක් ගෙන ඒමේ ගෞරවය හිමිවෙන්නේ කොළඹ නගර සභාවටය. මෙය ඒ සන්දියේ හඳුන්වා ඇත්තේ ගල් කෝච්චිය නමිනි. කොළඹ වරායේ සිට කොල්ලුපිටියේ වූ නගර සභාවේ වැඩබිමක් වෙත මෙය පදවාගෙන ගොස් ඇත්තේ උත්සවශ්‍රීයෙනි.
මේජර් රේවන්හාට් නම් ඉංග්‍රීසි ලේඛකයා මේ ගැන තැබූ සටහනක් එවකට ප්‍රකාශයට පත් කෙරුණු ‘මෝනින් ලීඩර්’ නම් පුවත්පතේ පළකොට ඇත. මෙය හඳුන්වා ඇත්තේ ගල් කෝච්චියේ මංගල ගමන නමිනි. මනා ලෙස සරසන ලද මෙම ගල් රෝල පදවාගෙන ගොස් ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයකු විසිනි. කොළඹ වරායේ සිට රැජිණ වීදිය, ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය නගර සභා වැඩබිමට ගල් කෝච්චිය පදවාගෙන එන දසුන දැකීමට මඟ දෙපස පිරිස් පුල පුලා බලා සිටි අන්දම රේවන්හාඩ් ලුණු ඇඹුල් ඇතිව සටහනක් තබා ඇත. කොළඹ වරායේ සිට ගල් කෝච්චිය පැමිණි ගමන් මාර්ගය දෙපස ඇති මාර්ගවල නාමයන් නිසි ලෙස සඳහන් කොට ඇතත් අද එම මාර්ගවල නම් වෙනස් වී ඇති නිසා එම පාරවල්වල අද නම් සොයා ගැනීමට ගියහොත් පඹ ගාලක පැටලීමට සිදුවේ.
කොළඹ නගර සභාවේ ඉතිහාසය ගැන සොයන විට කොළඹ ජනතාව එක් පක්ෂියකුගේ අධික ලෙස විඩාවට පත් බව පෙනී යයි. එක්දහස් නවසිය මුල් භාගයේ මෙම කපුටු උවදුරෙන් කොළඹ නගර සීමාවේ ප්‍රධාන වශයෙන් බැට කෑවේ මිලාගිරිය, බම්බලපිටිය, කොල්ලුපිටිය වැනි ප්‍රදේශවල ජනතාව හා සුදු අධිරාජ්‍යවාදීන්ගේ හාමිනේලාය. අන්තිමට සුදු අධිරාජ්‍යවාදීන් මේ ‘කපුටු හැත්ත’ ගැන සුදු ආණ්ඩුවට කරුණු කියන්නට වූයේ යුරෝපීය ඇඳුමින් සැරසුණු තම හාමිනේලාගේ හිස මත ‘කපුටු වර්චස්’ පහරණ බව කියමිනි. නගර සභාව කළේ අන්තිමට ගස් මත වූ කපුටු කූඩු හා කපුටු බිත්තර විනාශ කිරීමය. ඊළඟ දිනයේ නගර සභාවේ ‘කපුටන්ට එරෙහි බළකායේ ඇත්තන්ට එල්ල වූයේ දැඩි කපුටු ප්‍රහාරයකි. ඒ නිලධාරීන්ගේ හිස් ගෙඩි හිල් වී කපුටු හොට පහරින් ලේ ගලන තත්ත්වයක් උදාවිය. අන්තිමට කපුටන් එලවන හමුදාවට ඝන කාකි සූට් එකක් සහ යකඩ තොප්පි දීමට නගර සභාවට සිදුවිය. කපුටන්ට එරෙහි මේ ප්‍රහාරයට මුල් වී ඇත්තේ නගර සභාවේ සනීපාරක්ෂක නිලධාරී විලියම් මාෂල් පිලිප් විසිනි.
කොළඹ කාක්කන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරය ඊළඟට එල්ල වී ඇත්ෙත් අසූව දශකයේදීය. ඒ හිල්ටන් හෝටලය විවෘත කිරීමට කලින් දිනය. වසා දැමූ කිරිබත් ආහාරයට දීම නිසා ට්‍රැක්ටර 2ක පමණ කපුටන් ප්‍රමාණය එක් කිරීමට නගර සභාවට එවර සිදු වී ඇත. මෙය එවකට ඉංග්‍රීසි පුවත්පතක මුල් පිටුවේ ඵලකොට තිබුණේ (Ane Anichchan Sansare) අනේ අනිච්චං සංසාරේ යන ශීර්ෂපාටය ද සමගය.
නගර සභා ඉතිහාසයේ සඳහන්ව ඇති පරිදි නගර සභාව වික්ටෝරියා උද්‍යානයට ‘අප්ලන්ඩ්’ නම් දැවැන්ත ඉඳිබුවකු ගෙනා කතාවක් ද ඇත. ඒ 1894 දීය. මවුන්ටන් කොම්පැනියට අයිති ට්‍රැම් රථ සේවාව නගර සභාව මිලදී ගෙන ඇත්තේ 1943 දීය. කොළඹ රික්ෂෝ රථ සඳහා බලපත්‍ර දීම නවතා ඇත්තේ ද කොළඹ නගර සභාව මීට සමීප වසරකදීය. රසවත් ඉතිහාස කතාවලින් පිරි කොළඹ නගර සභාව මායිම්ව ඇත්තේ නුගේගොඩ, වැල්ලවත්ත මෙන්ම පෑලියගොඩ පාලම්වලින් සහ බටහිර මුහුදු තීරයෙන් බව ප්‍රකට කරුණකි.
වජිර ලියනගේ
ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය