කැලෑහඳේ මාලනිගේ සිරුර සංගිලිපාලම යට


 

ජෝන් ජයපාල හුදෙක් වත්තෙන් පිටත් වූයේ කොළඹ යන්නට නොව මේ ගමන යන්නටමය. එහෙත් මෝටරියෙන් බැස මාඔයෙන් වැටී ඇති සංගිලි පාලම උඩට වන්කෙනෙහි ඔහුගේ සිතෙහි වූ බලවත් උනන්දුව හුඟාක්ම පසු බැස තිබුණේය. මේ යන ගමන ඉවක් බවක් නැති විකාර ගමනක් බව ඔහුට දැන් පෙනේ. මදක් තැන් ගිය හෙතෙම ඒ හෙයින් සංගිලි පාලම උඩ නතරවිය. එදා මාලනිය යාගත නොහැකිව නතරවි කල්පනා කළේ මෙතැනමය. මාලනිය මෙන් ඔහුද ගඟ දෙපස බැලුවේය. එය පළමුවරට දකින්නන්ට සිත් පිනවන දර්ශනයකි. වේලාව පෙරවරු දහය පමණ වූ බැවින් දැඩි රිවි රැසින් බබළන දිය බොර මාඔය ස්වර්ණ රස ප්‍රවාහයක් මෙන් ශෝභාවන්ත විය. 

 
මෙසේ සිටින ඔහුට තමා දෙස සැලකිලිමත්ව බලාගත් ගමන් සිටි පිරිසර තරුණයෙක් දක්නට ලැබුණි. මේ තරුණයාගේ හිසේ රබර් මිටියක් විය. කටේ ලොකු බුලත්විටක් විය. ඔහු කිලුටු සරුවාලයක් ඇඳ හිසේ ලේන්සුවක් බැඳගෙනය. ලේන්සු කොනේ සරුවාලය සේම කිලිටි වූ ඔහුගේ හුණු පුවක් මඩිස්සලය දැවටුණි. ඔහු ජෝන් ජයපාල දෙස බලා පුවක් කහට බැඳී තම දසන් දක්වා කට පළල්කර සිනාසුණේය.   
‘‘මොකද උඹ මා හඳුනනවාද? ජෝන් ජයපාල ප්‍රකාශ කළේය.   
‘‘එහෙමයි මට මහත්තයා හඳුනතෑකි තරුණයාද සබකෝලයෙන් අැඹරෙමින් කීයේය’’   
‘‘කොහොමද උඹ මා හඳුනන්නෙ’’   
‘‘ඇයි එදා කාර්රෙක නවත්වලා මාලනීට කතාකළේ මහත්තයා නේද’’   
‘‘මොන මාලනීද?’   
‘‘ එදා මහත්තයාට වේල් පොළේ හම්බවුන මාලිනී’’   
‘‘ඉතිං යාලුවා උඹ ඇය හඳුනනවාද?’’   
‘‘එහෙමයි. මන් ඇය හඳුනවා. ඇය අපේ ගමේ.’’   
‘‘වරෙන් එහෙනම් මට ඇය පෙන්වාදීපන්’’   
‘‘මන් මේ රබර් ටික කඩේට දීලා එන්නම්’’   
‘‘මොන රබර් ද මිනිහො - විසිකරපන් ඕක ගඟට’’ කියමින් ජෝන් ජයපාල තරුණයාගේ හිසෙන් රබර් මිටිය ගෙන ගඟට විසිකර දැම්මේය.   
‘‘අනේ දෙවියනේ එතැන රුපියල් පහක රබර්’’   
‘‘ඉඳා පහට දහයක්. රුපියල් දහයේ නෝට්ටුව දුටු කෙනෙහි තරුණයාගේ මුහුණ සිනහවෙන් ප්‍රසන්න විය.   
‘‘මහත්තයා එහෙම නම් මේ රුපියල් දහයම රබර්වලට දෙන්නද?’’   
‘‘මෝඩයා, පහක් රබර් අයිතිකාරයාට පහක් උඹට’’   
‘‘මහත්තයා දැන් ගමට ගියාම මහ කලබලයක් ඇති වේවි’’ අන්දා රුපියල් දහය මඩිස්සලේ රුවා ගනිමින් කීය.   
‘‘ඒ මන්ද?’’   
‘‘එදා මහත්තයා මාලනීට කතා කළ ටිකට ගමේ පද හැදිලා ඉවරයි’’   
‘‘ඇය මට සාප කරනවාද’’   
හා! නෑ නෑ මහත්තයා හොයාගෙන ඒවි කියල තමයි ඇය බලාගෙන ඉන්නේ   
‘‘එහෙම නම් යමන්’’   


මෙසේ කියා තරුණ ජයපාල පිටත් වූවේය. ඔහු අනුව අන්දා පිටත් විය.   
චිත්‍රපටයකට නැගුණ පුථම සිංහල නවකතාව වූ කතා සක්විති ඩබ්ලිව්. ඒ සිල්වාගේ කැලෑහඳ නවකතාවෙහි කතා නායකයා වූ ජෝන් ජයපාලට අරණායක නගරයට නුදුරින් වූ මා ඔය මතින් වැටී ඇති සංගිලි පාලම මතදී අන්දා හමුවන අන්දම විස්තර වෙන්නේ එලෙසය.   
තම සීයා වන නන්දරාළත් සමග වේල් බලන්නට සිදාදියට ආ මාලනීට ජෝන් ජයපාල දැකීමෙන් පසු නැවත ඇය සොයා එන ගමනේදී ජෝන් ජයපාලට අන්දා එසේ හමුවෙයි.   
සබරගමුව, මධ්‍යම යන පළාත් දෙකම සාරවත් කරමින් ගම්පොළ උඩුවැල්ලෙන් ගලා එන අසුපිනි ඇල්ල දැඩි බෑවුම් සහිත අරණයක ප්‍රදේශයට ගලාවිත් ‘මාඔය’ යන නම ලැබ මාවනැල්ල රඹුක්කන හරහා ගමන්කර මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයෙන් සමුදුර වෙත ලඟාවෙයි.   


ඩබ්ලිව්.ඒ. සිල්වා කැලෑහඳ නවකතාවේදී එහි කතානායිකාව වූ මාලිනිය වෙසෙන නිකිරියාන ගම නිර්මාණය කළේ මෙම මාඔය අසල අරණයක කඩමංඩියට නුදුරු ගමක් ලෙසය. එහි සඳහන් ලෙස අරණායක කඩමංඩියේ සිට නිකිරියාන ගමට යායුත්තේ මාඔය හරහා ඇති සංගිලි පාලමකින් එතෙරවීමෙනි.   


නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කළ ප්‍රථම කතානාද චිත්‍රපටය කැලෑහඳ විය. කතා සක්විති ඩබ්ලිව්.ඒ. සිල්වාගේ කැලෑහඳ නවකතාව ඇසුරෙන් බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය ප්‍රථම වරට ප්‍රදර්ශනය වූයේ 1953 මැයි මස විසිහත්වන දිනය. මිලි මීටර් තිස් පහේ කළු සුදු චිත්‍රපටියක් වූ එහි රුක්මණි දේවි, ස්ටැන්ලි පෙරේරා, බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න, ඒ.ජී. ජයමාන්න, රීටා රත්නායක, මිලී කහඳවල, මේබල් බ්ලයිත්, උදුලා දාබරේ, විමලා කුමාරි, එඩී පෙරේරා වැනි නළු නිළියෝ රඟපෑහ.   
‘‘කැලෑහඳ’’ චිත්‍රපටයට නැගුන ප්‍රථම සිංහල නවකතාව මෙන්ම වර්ණ දර්ශන කීපයක්ම ඇතුළත් වූ චිත්‍රපටයක් ද විය. ‘අන්න සුදෝ අර පාට වලා’ වැනි සුමිහිරි ගීත එම චිත්‍රපටයට ඇතුළත් වූයේ වර්ණ දර්ශන ලෙසිනි. පසුව ප්‍රකට නළුවෙකු වූ ස්ටැන්ලි පෙරේරා රඟ පෑ ප්‍රථම චිත්‍රපටියද කැලෑහඳ විය.   
ඔහු මිය යෑමට පෙර හමුවු මොහොතක ඔහු තම අතීතය මා සමග මෙසේ විස්තර කළේය.   


‘‘අපි ජ්‍යෙෂ්ඨ පංතියේ ඉගනුම ලබද්දී අපේ සාහිත්‍ය විෂයට ඩබ්ලිව්.ඒ. සිල්වාගේ කැලෑහඳ නවකතාව නියමවෙලා තිබුණ. ඒ දවස්වල චිත්‍රපට පිස්සුව අපේ ඔළුවට ගහලයි තිබුණේ. කැලෑහඳ චිත්‍රපටයේ ජෝන් ජයපාලගේ චරිතය රඟපාන්න ඇත්නම් කියන සිහිනය අතීතයේ ඉඳලම මගේ හිතේ තිබුණා’’ ස්ටැන්ලි පෙරේරා පැවසුවේ සිනමා නළුවෙකුවීමට ඔහු සිතේ පැවති සිහිනය පිළිබඳවය. ඔහුගේ එම සිහිනය සැබෑවීමට වැඩි කාලයක් ගියේ නැත.   
‘‘එ් එක්දහස් නවසිය පනස් දෙකේ අවුරුද්ද. එනකොට මට වයස අවුරුදු දහඅටයි. ඔබ්සවර් පත්‍රයේ දැන්වීමක් දාලා තිබුණා. චිත්‍රපටියක රගපෑම සඳහා ජ්‍යෙෂ්ඨය සමත් තරුණයකුව ඕනෑය කියලා. ඇත්තටම මම ජ්‍යෙෂ්ඨ විභාගයට ඉන්න තිබුණේ 1951 දී යි. නමුත් ඒ අවුරුද්ද ඉන්න බැරිව ගියා. එනිසා මම පනස් දෙකේ විභාගය කරන්නයි හිටියේ. ඒක නිසා ඔබ්සවර් පත්‍රයේ තිබුණ දැන්වීමට මට යන්න බැරිව ගියා. ප්‍රැන්සිස් කියලා මගෙ යාළුවෙක් ගියා. ස්ටැන්ලි පෙරේරා පැවසුවේ නළුවෙකුවීමට සිහින මැවූ අවධියේ සිදුවූ සිදුවීම් පිළිබඳව ය.   
සම්මුඛ පරීක්ෂණයට ගිය මිතුරා එදින සවසම ස්ටැන්ලිව හමුවිය. මචං ඩබ්ලිව්.ඒ සිල්වාගේ කැලෑහඳ නවකතාවයි ජයමාන්න මහත්තයා කරන්න යන්නේ. මට නම් වැඩේ හරියන්නෙ නැති පාටයි. උඹ ගිහිල්ල බලපන් මිතුරා ස්ටැන්ලිට පැවසීය.   
වෙන්නප්පුවේ පදිංචිව සිටි ස්ටැන්ලි පෙරේරා පසු දින පාන්දරින්ම මීගමුව, පෙරියමුල්ලේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ නි​ෙවසට ගියේය. ආලින්දයට ගොඩ වූ ඔහු දොරට තට්ටුකළේය. උඩු මහලේ සිට පහළ තට්ටුවට කාන්තාවක් පැමිණියාය.   
‘ජයමාන්න මහත්තයාව මුණගැහෙන්න කියලා’ ස්ටැන්ලි පැවසීය.   
‘එයා හොරොම්බාව වත්තට ගිහිල්ලා හෙට ආවොත් මුණගැසුනැකි’ කාන්තාව කීවාය.   
ඊළඟ උදෑසන ද ස්ටැන්ලි පෙරේරා බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ පෙරියමුල්ල නි​ෙවසට ගියේය.   
එදින බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න, ඩබ්ලිව්.ඒ. සිල්වා ඇතුළු කීප දෙනෙක්ම සාලයෙහි කතාකරමින් සිටියහ.   
‘අයියෙ මේ ඊයේ ආව කෙනා’ අර කාන්තාව ස්ටැන්ලි පෙරේරාව හඳුන්වා දුන් විට ඔහු තමන් පැමිණි කාරණය පැවසීය. ඔවුහු විවිධ තොරතුරු ස්ටැන්ලි පෙරේරාගෙන් විමසූහ.   
‘උස කීයද’   
‘‘පහයි පහයි’’   
කෙනෙකු ස්ටැන්ලිගේ උස මැන බැලීය.   
ඊළඟට ඔහුට කැලෑහඳ නවකතාවෙහි කොටසක් හඬනගා කියවන ලෙස දැනුම් දෙන ලදී. ඔහු එය ද ඉටු කළේය.   
‘‘හොඳයි අපිට ඔයාගෙ ඡායාරූපයක් එවන්න’’   
බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න පැවසීය.   


පසුවදාම නාත්තන්ඩිය නගරයට ගිය ස්ටැන්ලි තම හිතවතෙකුගේ ඡායාරූප ශාලාවකින් ඡායාරූපයක් ගෙන ජයමාන්න වෙත යැවීය.   
කාලය ගෙවී ගියේය. ස්ටැන්ලිට කිසිම පිළිතුරක් නැත. ඔහු සිතුවේ රඟපෑම් අවස්ථාව මගහැරී ගිය බවය.   
නමුත් එක් සිකුරාදාවක ස්ටැන්ලි පෙරේරාට බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගෙන් විදුලි පුවතක් ලැබුණි. කැලෑහඳ චිත්‍රපටියේ රඟපෑම සඳහා ඔහු තෝරාගත් බවත් වැඩිහිටියකු සමග සිය නි​ෙවසට එන ලෙස ජයමාන්න විසින් දන්වා තිබුණි.   
ඔහු පසු දිනම තම වැඩිමහල් සොහොයුරා සමග පෙරියමුල්ලේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ නි​ෙවසට ගොස් ගිවිසුම් අත්සන් කළේය.   
එක්දහස් නවසිය පනස් දෙකේ දෙසැම්බර් විසිවන දින ස්ටැන්ලිගේ ජ්‍යෙෂ්ඨ විභාගයේ කටයුතු අවසන් විය. දෙසැම්බර් විසි දෙවන දින ඔහු මදුරාසියේ සිනටල් චිත්‍රාගාරය බලා පිටත් වූයේ කැලෑහඳ චිත්‍රපටයේ රඟපෑම සඳහාය. ඒ වන විට අනිකුත් නළු නිළියන් මදුරාසියට ගොස් තිබුණි.   
ඩබ්ලිව්.ඒ. සිල්වාගේ කැලෑහඳ නවකතාව ඇසුරෙන් චිත්‍රපටය සඳහා වන තිර නාටකය සකස් කළේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නය. චිත්‍රපටයේ දෙබස් තිමෝනියස් පෙරේරාගේය. කැමරාකරණය ඇතුළු සියලු කාර්මික ශිල්පීන් දකුණු ඉන්දියානුවෝ වූහ.   


චිත්‍රාගාර දර්ශන රූගත කිරීමෙන් පසු සමහර එළිමහන් දර්ශන රූගත කිරීම සඳහා කැලෑහඳ චිත්‍රපට කණ්ඩායම ලංකාවට පැමිණියහ.   
අරණායක පොළේදී මට දෙවෙනිවර මාලනීව මුණගැසීම, ඊට පසු දිනක මාලනීව සොයා නිකිරියානට ගිය ගමනේදී සංගලි පාලම උඩදී අන්දා මට මුණගැසීම, චිත්‍රපටය අවසානයේ විශ්වනා බායි හෙවත් මාලනිය සොයා එන ගමනේදී මාලනීගේ මළසිරුර මාඔය සිට මගේ අත්වලින් ඔසවා ගැනීම දර්ශන අරණායක කඩමංඩිය අසල තියෙන සංගිලි පාලම ළඟදී රූගත කරන්නයි සැලසුම තිබුණේ. ස්ටැන්ලි පෙරේරා පැවසුවේ කැලෑහඳ චිත්‍රපටයේ අරණායක අසල රූගත කිරීමට නියමිතව තිබූ දර්ශන පිළිබඳවය. අරණායක පොළේ දර්ශන, ජෝන් ජයපාලට සංගිලි පාලම මතදී අන්දා මුණගැසෙන අන්දම ඔවුනට අරණායක දී රූගතකර ගැනීමට හැකිවිය.   
‘‘සිය දිවි නසාගත් මාලනීගේ සිරුර මගේ අත්වලින් ඔසවාගෙන සිටින දර්ශන ගැනීමට ඒ දවස්වල මා ඔයේ වතුර තිබුණේ නැහැ. ඒක නිසා ඒ දර්ශන අපි පේරාදෙණිය සංගිලි පාලම යටදී ගත්තා’’ ස්ටැන්ලි පෙරේරා කැලෑහඳ චිත්‍රපටයේ දර්ශනගත කිරීම් පිළිබඳව තවත් තොරතුරක් එසේ හෙළි කළේය.   
අරණායක මැතිවරණ කොට්ඨාසයට අයත් දෙමළගිරිය, කීරපන, දූල්දෙනිය ආදී ගම් කීපයකටම අරණායක සිට යෑමට සමීපතම මාර්ගය වූයේ මාඔය හරහා ඉදිකර තිබූ මෙම සංගිලි පාලම විය. සුද්දන් දූල්දෙණිය වත්තේ රබර් වැවීම ආරම්භ කිරීමත් සමග ඔවුනට ගමන් පහසුව සැලසීම සඳහා මෙම සංගිලි පාලම ඉදිකර තිබුණි.   
ගම්වැසියන්ගේ අත්දැකීම්ද රසවත්ය.   


දිප්පිටිගොඩ සිට වැලිවත්තට දුර සැතපුම් එකහමාරක් පමණවිය. වැලිමත්තෙහි සිටි පියදාසලාට සංගිලි පාලම ළඟ චිත්‍රපටයත් රූගත කරන බවට ආරංචි විය.   
‘‘ආරංචිය අහපු අපි තරුණ පැටවු විතරක් නොවෙයි මහ මිනිස්සුන් සංගිලි පාලම යටට ආවා. එදා සංගිලි පාලම තිබුණේ මා ඔයට අඩි හැටක් පමණ ඉහළින්. තට්ටුවට දාල තිබුණෙ ලෑලි. කැලෑහඳ චිත්‍රපටය හදන්න ආපු කට්ටිය සතියක් විතර එල්.එස්. බස් මුදලාලිගේ ගෙයක් කුලියට අරගෙන නතරවෙලා හිටියා. ආයුර්වේද වෛද්‍යවරයකු වූ ඩබ්ලිව්.එච්. පියදාස මට පැවසුවේ වසර හැටකට එහා ඉතිහාස කතාවක්ය.   
මාවතගොඩ පොළේ මෙන්ම සංගිලි පාලම උඩ දර්ශන ද පියදාසලා විශ්මයෙන් බලා සිටියහ. විශාල ආලෝක දහරා එල්ලකරමින් කෙරුණ රූගත කිරීම් ඔවුන්ගේ ජීවිතයේ ලැබු අමුතුම අත්දැකීමක් විය.   


‘ඒත් නළු නිළියන් ළඟට යන්න අපි කවුරුත් බය වුණා. දැන් වගේ නොවෙයි ඉස්සර මේ පිටිසර පළාත් හරිම අමුතුයි. ඒ තරම් ඉගනුමක් තිබුණ කාලයකුත් නොවෙයි නේ. ඩබ්ලිව්.එච්. පියදාස පැවසුවේ නළු නිළියන් සමීපයට නොයෑමට හේතු වූ කාරණා පිළිබඳවය.   
එක්දහස් නවසිය හැට ගණන්වන විට මෙම සංගිලි පාලමේ සමහර ස්ථානවල ලෑලි දිරාපත් වන්නට විය. සංගිලි පාලම මතින් එහා මෙහා යන්නන්ට එය තරමක අනතුරුදායක තත්ත්වයක් විය.   
‘සංගිලි පාලම අලුත්වැඩියා කරනවා වෙනුවට ඒ කාලේ හිටිය ගම්සභාපතිවරයා කෙරුවෙ සංගිලි පාලමේ කම්බි දෙක රුපියල් පන්දාහකට වෙන්දේසි කළා. ලොකු කළුගල් කනු රුපියල් දෙදහස් පන්සියයකට අලෙවි වුණා. කම්බි ටිකයි පාලමයි ගලවාගෙන ගියා. ඒත් කනු ටික එහෙමම තිබුණා’. වෛද්‍ය ඩබ්ලිව්.එච්. පියදාස පැවසුවේ කැලෑහඳ චිත්‍රපටය ද දර්ශන පසුතලයක් වූ අරණායක දිප්පිටිය සංගිලි පාලමට අත්වූ ශෝකජනක ඉරණම පිළිබඳවය.   
වසර ගණනාවකට පසු සබරගමුව පළාත් සභාව නැවත ඉදිකිරීමේ කටයුතු ආරම්භකර එය විවෘත කරනු ලැබිණ. එම අවස්ථාවට සබරගමු පළාත් සභාව කැලෑහඳ චිත්‍රපටයේ ජෝන් ජයපාලගේ චරිතය රඟපෑ ස්ටැන්ලි පෙරේරාටද ආරාධනා කළේය.   
අරණායක, දිප්පිටිය සංගිලි පාලම ලංකාව පුරා ප්‍රසිද්ධවීමට හේතු වූ කැලෑහඳ චිත්‍රපටය අනුස්මරණය කිරීම සඳහා සබරගමු පළාත් සභාව මෙම සංගිලි පාලම හැඳින්වූයේ ‘කැලෑහඳ සංගිලි පාලම’ යනුවෙනි.   

 

 

පීටර් කැනියුට් පෙරේරා