කැරිබියන් මුහුදේ මිනී මෝරුන්ගේ හිතවතිය


 

වරෙක ඇය මහා සාගරය සමග හරඹ කරන කිමිදුම්කාරියක වන්නීය. තවත් වරෙක ඇය මහා සාගරයේ ආධිපත්‍යය ගෙන සිටින මිනී මෝරුන් රැක බලාගන්නියක වන්නීය. ඔවුන් සමග සෙනෙහවන්තකම් පාන්නීය. තවත් අවස්ථාවක සිය ගුණදම්වලින් පිරිපුන් යැයි කියන මනුසතා බිලී කොකු දමා සිදු කරන සාහසික ක්‍රියාවන්ගෙන් මේ මුහුදු රාක්ෂයින් හෙවත් මෝරුන්ගේ දිවි ගලවා ගන්නීය. ඇයගේ හාදුවක් හෝ සුරතලයක් නැත්නම් එදාට කැරිබියන් මුහුදේ මෝරුන් සිටින්නේ සාංකාවෙනි. 

  වෘත්තීය වශයෙන් කිමිදුම්කරුවකු ලෙස කටයුතු කළ ඇය, වර්තමානයේ මෝරුන්ගේ රැකවල් දූතයාව සිටින්නීය. ඇගේ නම ක්‍රිස්ටිනා සෙනාටෝ ය. ක්‍රිස්ටිනාට අනුව මුහුදේ රාක්ෂයින් ලෙස සැලකෙන මෝරුන් විස්තර කිරීමට අවශ්‍ය වන්නේ වචන දෙකක් පමණකි. ඒ, සොබාදහමේ විශිෂ්ටතම කෘතිය යන්නය. ජෛව විවිධත්වයෙන් අනූන වූ කැරිබියන් මුහුදේ පිහිටි බහමාස් දූපත්හි වෘත්තීය කිමිදුම්කරුවකු වන ඇය මෝරුන්ට මවක මෙන් ආදරය බෙදන්නීය. විශේෂයෙන්ම බහමාස් දූපත අවට සශ්‍රීක වන කැරිබියන් ගල්පරවල වෙසෙන මෝරුන් ආරක්ෂා කිරීමට ඇය ගත් උත්සාහය අපමණය.   


මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසාම වඳ වී යාමේ තර්ජනයට ලක්වී ඇති මෝරුන්ගෙන් ගහණ වූ බහමාස්, මෝරුන්ට අභයභූමියක් ප්‍රකාශයට පත් කරනුයේ ඇගේ අතිවිශිෂ්ට දායකත්වයෙනි. පරිසර ක්‍රියාකාරකම් ගැන සංවේදී පුවත් මවනා ග්‍රේට් බිග් ස්ටෝරි වැඩසටහන සමග ක්‍රිස්ටිනා සෙනාටෝ බහමාස් දූපතේ කිමිදෙමින් ඇය මෙම සුන්දර ජීවීන් සමග එතරම් ශක්තිමත් බැඳීමක් ගොඩනගා ගත්තේ කෙසේදැයි ලෝකයටම කීවාය.   


මීට වසර 25කට පෙර ඇය මෝරුන් සමග ඉතා සමීප සබඳතාවක් පැවැත්වූයේ නැත. ඇය වෘත්තීය කිමිදුම්කාරියකි. වසර 25ක් පමණ සාගරයේ වඩාත්ම බියකරු විලෝපිකයා වන මෝරුන් සමග හරි හරියට කිමිදෙමින් සිටින්නේ සංවේදී හදවත් ඇත්තන් ද සලිත කරමිනි.   


ගැඹුරු මුහුදේ ඇති මෝර ගුහා සොයා බැලීමට කිමිදීම සඳහා ඇය යොමු වී ඇත්තේ තරුණ අවදියේදීය. මෝරුන් පිළිබඳ ඇගේ ප්‍රවීණත්වයට අභියෝග කළ හැකි කවුරුවත් නැත. ඇයගේ දාරක ස්නේහයට අඩි අට හමාරක් දිග මේ විලෝපිකයන් ද වශී වී හමාරය. ඔවුන් තම ස්පර්ශයෙන් යටත් කර සනසාලීමට ඇයට සහජ හැකියාවක් ඇත. එය කෙතරම් ද යත්, වරස ගණනාවක් තිස්සේ මෝරුන්ගේ කටින් බිලී කොකු 300ක් පමණ ඉවත් කිරීමට ඇයට හැකි වී තිබේ.   


එම වීඩියෝවේ ඇය පවසන්නේ, තමා වෙත පැමිණි පළමු මෝරාගේ කතාව සහ උගේ උගුරේ කොක්කක් ඇති බව ඇය දැනගෙන එය ටිකක් වුවමනාවෙන් ඉවත් කිරීමට ගිය ආකාරයයි. මෝරුන් දැනටමත් ඇය විශ්වාස කළ ආකාරය නිසා, කටේ කොක්කක් තියෙන හැම මෝරෙක්ම ඇය කිමිදෙන සෑම අවස්ථාවකදීම ඒක අයින් කරන්න තමා හොයාගෙන එන බව ක්‍රිස්ටිනා කියා සිටින්නීය.   


මෝරුන් සිය ගණනක් ඇයගේ හදවත සොරාගෙන සිටින්නීය. ක්‍රිස්ටිනාගේ උකුල මත හිඳිමින් ඔවුහු සැනසෙති. ඇය වචනාර්ථයෙන් පවසන දේ ඔවුන්ට සන්නිවේදනය වීමට ගතවන්නේ ඉතාම සුළු මොහොතකි. කිමිදුම්කරුවන්ට ප්‍රහාර එල්ල කරන මිනීමරු මෝරුන් පිළිබඳ සත්‍ය ජීවිත කතා කොතෙකුත් අසා තිබුණ ද ක්‍රිස්ටිනා නම් එවැනි අවාසනාවන්ත සිද්ධීන්ට මුහුණපා නොමැත. මන්ද ක්‍රිස්ටිනාට ඔවුන් හුදෙක් පවුලක සාමාජිකයන් වන බැවිනි.   


කෙසේ වෙතත්, පූර්වාරක්ෂාව ලෙස, ඇය ආරක්ෂිත කිමිදුම් කට්ටල ඇඳුමක් පැලඳ සිටී. මෝරුන්ට තියුණු දත් පේළි ඇති බව අමතක නොකරමින් මෙම ආරක්ෂක පියවර ගෙන ඇත.   

 

ඉතාලි, ඉංග්‍රීසි, ජර්මානු, ප්‍රංශ සහ ස්පාඤ්ඤ යන විවිධ භාෂා පහක් කතා කරන ක්‍රිස්ටිනා, 2000 වසරේ සිටම පූර්ණ ගුහා කිමිදුම් උපදේශකයකු වීමට ෆ්ලොරිඩාවේ පුහුණුව සඳහා ඇයගේම කාලය සහ මුදල් යෙදවූවාය. ඇය කිමිදුම් ජාත්‍යන්තර පාසල් 5,000ක පමණ සම්මාන ලබාගෙන සිටින්නීය. මෝරුන් අධ්‍යයනය කිරීමට සහ මෝරුන් පිළිබඳ දැනුවත් කිරීම පිළිබඳව මහජනතාවට උපදෙස් දීමට ඇය තුළ ඇති ආශාව හා සසඳන විට මෙම සියලු‍ දස්කම් බොහෝ දෙනකුට ප්‍රමාණවත් වනු ඇත.

 

 

සටහන - 
තිළිණි ද සිල්වා