කැනඩාවට අපෙන් ඇවැන්ත සංගීත ප්‍රසංගයක්


විදෙස් රටකට ගිහින් ජීවත්වෙන අපේ රටේ මිනිස්සු වෙනුවෙන් සංගීත සංදර්ශනයක් හෝ වෙනත් ඕනෑම ප්‍රසංගයක් සංවිධානය කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් නෙවෙයි. විශේෂයෙන්ම යුරෝපීය රටවලදී ෂෝ එකක් කිරීම ඉතාම දුෂ්කර කාර්යයක් වන්නේ කලාකරුවන් ගෙන්වීමේදී වීසා ගැනීමේ සිට අනෙකුත් සංවිධාන කටයුතු වෙනුවෙන් සෑහෙන පරිශ්‍රමයක් දැරිය යුතු නිසයි. උතුරු ඇමරිකානු කලාපයේ ශ්‍රී ලාංකීය තරු ගෙන්වා ප්‍රසංගයක් සංවිධානය කරන්නේ නම් එහිදී මුලින්ම කියැවෙන නම තමයි සුදේශ් මුතු හෙවත් සුදේශ් මුතුනවගොන්න. 

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ තරු අතර තරුවක් වන සුදේශ් යනු අප්‍රතිහත ධෛර්යයෙන් යුතුවීම නිසාම ජීවිතය ජයගත් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකීය චරිතයක්. එයා ජීවිතය ජයගත් හැටි අපි මීට පෙර කතා කරලා තියෙනවා. තමුන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් ව්‍යවසායකයකු ලෙස ජීවිතය ජයගත් සුදේශ් යනු කලාකාමී සිතුවිලි ඇති කලාව රස විඳින චරිතයක්. 95 වසරේදී ගුණදාස කපුගේ සූරීන් සහ ජගත් වික්‍රමසිංහ ගෙන්වා කැනඩාවේදී ප්‍රසංගයක් සංවිධානය කරමින් සංගීත ප්‍රසංග සංවිධානය කිරීමේ කටයුත්තට ඔහු එදා තවත් මිතුරකු සමඟ අතගැසුවේ එරට වෙසෙනා අනෙක් ශ්‍රී ලංකිකයින්ගේ රසවින්දනය සඳහා වගේම පුද්ගලිකව ඔහුද සංගීතයට දක්වන ආසාව – උනන්දුව සහ රසවින්දනය නිසාමයි. 95 න් ඇරඹි ප්‍රසංග සංවිධානය කිරීමේ ගමනේදී මේ දක්වා ඔහුගේ සංවිධානයෙන් විශාරද නන්දා මාලනිය, විශාරද වික්ටර් රත්නායකයන්ගේ සිට BNS දක්වා බොහෝ ප්‍රකට ප්‍රවීණ කලා තරු ගෙන්වා කළ ප්‍රසංග බොහෝමයි. ඒ සියලු ප්‍රසංග බොහෝ විට පැවැත් වුණේ ගෘහස්ථ ශාලාවලදීයි. අප රටේ මෙන් එළිමහන් පරිසරයක ප්‍රසංග පැවැත්වීම ඉතා අසීරු කටයුත්තක්. ඒ අභියෝගයටද මුහුණ දෙමින් 2025 වසරේ ජූනි 7 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවට අනුව ජූනි 08දා සුදේශ් දැවැන්ත කටයුත්තකට උර දී තිබෙනවා. ඒ තමයි උතුරු ඇමරිකානු කලාපයේදී එළිමහන් ප්‍රසංගයක් නොමිලේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව වීම. මේක ඇත්තටම ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවෙයි. ඒ හැරත් නොමිලේ ප්‍රසංගයක් පැවැත්වීමෙන් ඔහුට ඇති ඵලය කුමක්ද? සුදේශ් ඒ ගැන කිව්වේ මේ විදිහටයි. 

මේක ඇත්තටම මටත් හරි අලුත් අත්දැකීමක්. මේ ෂෝ එක නැරඹීමට මෙම කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පන්දහසක් පමණ පැමිණෙන බවට අපි කළ ගණනයකින් අපට දැනගන්න ලැබුණා. මෙතරම් විශාල පිරිසක් ඉදිරියේ පැවැත්වෙන මේ ප්‍රසංගය උතුරු ඇමරිකානු කාලපයේදී නොමිලේ. එනම් ප්‍රවේශපත්‍ර අය නොකර පැවැත්වෙන පළමු ප්‍රසංගයයි. ලංකාවේදී මේ වගේ එළිමහන් ප්‍රසංග නරඹන්න අපි යාළුවෝ සහ හිතවත් අය එකට එකතු වෙලා යනවනේ. ඉතින් ඒ විදිහට ගිහින් ප්‍රසංගයක් නැරඹීමේ අත්දැකීම මට මෙහෙ සිටින අපේ ලාංකිකයින්ට ලබාදෙන්න ඕනෑ වුණා. ඒ හැරත් මේ වගේ ප්‍රසංගයක් මෙහිදී මේ විදිහට රසවිඳීම ගැන මටත් තියෙන්නේ අලුත් අත්දැකීමක්. ඒ වගේ ෂෝ එකක් මෙහේ කළොත් මොන වගේ වේවිද? කියන කුතුහලය මටත් තියෙනවා. මෙහේ ප්‍රවේශපත්‍ර විකුණා කරන ෂෝ එකකට උපරිමයෙන් ගෙන්වා ගන්න පුළුවන් වෙන්නේ දහසක් දෙදහසක් වගේ පිරිසක්. ගෘහස්ථව පැවැත්වෙන නිසා විශාල පිරිසක් දාන්නත් බැහැ. අපි රෙජිස්ට්‍රේෂන් එකක් දාලා මේ ෂෝ එකට එන පිරිස ගැන ගණනය කිරීමක් කළා. දින හතරක් ඇතුළතදී පන්දහසකට වඩා වැඩි පිරිසක් රෙජිස්ටර් වුණා. ඉතින් ඒ අනුව ඊටත් වඩා පිරිසක් පැමිණේවි කියලා හිතන්න පුළුවන්.

ඒ කියන්නේ විදෙස් රටකදී සංවිධානය කළ දැවැන්තම ෂෝ එක වේවි. 

මම හිතන විදිහට කවුරුවත් මීට පෙර මේ වගේ ෂෝ එකක් නොමිලේ පවත්වලා නැහැ. 

මේ විදිහට එළිමහන් සංගීත ප්‍රසංගයක් කැනඩාවේ සංවිධානය කිරීම ලෙහෙසිද පහසුද? 

මෙහි ෂෝ එකක් කිරීමේදී අමාරුම වැඩේ ටිකට් විකුණලා ෂෝ එකට වැය වන ගාන පියවා ගන්නේ කොහොමද කියන එකයි. 

ඒ නිසා මේ ෂෝ එක ෆ්‍රී (නොමිලේ) කරන හින්දා මම හිතුවේ හරි ලෙහෙසි වේවි කියලයි. හැබැයි සංවිධානය කිරීමේ පැත්තෙන් බැලුවොත් ටිකට් ෂෝ එකක් කරනව වගේ නෙවෙයි. මේක ඉතාම අසීරු බව දැනගත්තේ මේ වැඩේ කරන්න පටන් ගත්තාමයි. ශාලාවක ප්‍රසංගයක් කරද්දී ඒ ශාලාව වෙන් කරගෙන ෂෝ එක කරන්නනේ තියෙන්නේ. ඒත් මේ එළිමහන් ප්‍රසංගය සංවිධානය කරන්න පටන් ගත්තාම මාස දෙකක් තිස්සේ මහන්සි වෙන්න සිද්ධ වුණා. ප්‍රසංගයේදී යොදා ගන්නා සවුන්ඩ්ස්වල ශබ්ද පරාසය කොච්චරක්ද කියලා පවා දැනුම් දීම කරන්න වෙනවා. ප්‍රසංගය පැවැත්වෙන උද්‍යානයෙන් ඒ වගේම නගරයෙන් සහ පොලිසිය ඇතුළු බොහෝ තැන්වලින් අවසර ගන්න වගේම ඒ සෑම අංශයකටම ගෙවීම් කිරීමක් සිදු වෙනවා. අවශ්‍ය බලපත්‍ර බොහෝමයක් ගන්න තියෙනවා. ඒ නිසා මේක මම හිතුවට වඩා සංකීර්ණ කටයුත්තක් වුණා. මුදලටත් වඩා සංවිධාන කටයුතු වෙනුවෙන් අවසර ඉල්ලා ලියකියවිලි සකස් කරන්න වගේම සෑම අවසර පත්‍රයකටම ගෙවන්නත් ඕනෑ. මෙ වගේ දැවැන්ත ෂෝ එකක් කරද්දී පොලිස් ආරක්ෂාව අවශ්‍යයි. ඒ සේවය ලබාගැනීමටත් ගෙවන්න වෙනවා. ශාලාවක කරන ප්‍රසංගයකදී ඒ මොනවත් අවශ්‍ය නැහැ. ශාලාව බුක් කරන්නේ ෂෝ එක තියෙන දවසට විතරයි. ඒත් මේ වගේ ෂෝ එකක් කරද්දී සියල්ල සූදානම් කිරීමට එක දවසක් ඊළඟ දවසේ ෂෝ එක පසු දවස ඒ තිබූ ස්ථානය තිබූ විදිහටම බාර දීම සඳහා සියල්ල පිරිසිදු කිරීම් වෙනුවෙන්. ඉතින් දවස් තුනක් බුක් කරන්න වෙනවා. 

ඒ අනුව මේ වැඩේ අතිශය වෙහෙසකර කටයුත්තක් නේද?

වෙහෙසකර වුණාට මට ඒක අලුත් දැකීමක්. ඒ විදිහේ අලුත් අත්දැකීම් ලබන්න මම ආසයි. 

මේ ෂෝ එක කරන්න කොපමණ මුදලක් විතර වැය කරන්න සිද්ධ වුණාද?

රුපියල් මිලියන දහතුනක් විතර දැනට වැය කර තිබෙනවා. මීට වඩා වැඩි වෙන්න පුළුවන්. 

ඇයි මේ ප්‍රසංගයට වායෝ සංගීත කණ්ඩායමට ආරාධනා කළේ?

බොහෝ සංගීත කණ්ඩායම් සංගීත සංදර්ශනවලට දායක වෙන හැටි මම දැකලා තියෙනවා. හැබැයි ආරාධිත ගායක ගායිකාවන් නැතුව පැය පහක් විතර එක දිගට ප්‍රසංගයක් පැවැත්වීමේදී සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ කණ්ඩායම ඒ වැඩේ ලස්සනට කරනවා. 

එයාලටම ආවේණික ඉදිරිපත් කිරීම් නිසා සහ එයාලා ප්‍රසංගය පවත්වාගෙන යන හැටි ඇත්තෙන්ම ආකර්ෂණීයයි. අනෙක් බෑන්ඩ්ස් එහෙම නැහැයි කියලා නෙවෙයි මම කියන්නේ. සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ කණ්ඩායමට තියෙන්නේ වෙනම ආර්ට් එකක්. වෙනස්ම රිදම් එකක්. 

ඒ කියන්නේ මේ ප්‍රසංගයේදී කිසිදු ආරාධිත ගායකයෙක් හෝ ගායිකාවක් එන්නේ නැද්ද?

එක්කෙනෙක් එනවා. හැබැයි ඒක. සප්‍රයිස් එකක්. ඒ ගායන තරුවක් වෙනමම ආකර්ෂණයක් දිනාගෙන සිටින කෙනෙක්. කොහොම වුණත් ආටිස්ට්ලා නැතුව පැය හතරක් පහක් එක දිගට මේ වගේ තැනක ෂෝ එකක් කරන්න සුදුසුම වායෝ කියලයි මගේ විශ්වාසය. 

මේ වගේ දැවැන්ත ෂෝ එකකට වියදම් කළ මුදල පියවා ගන්නේ කොහොමද?

මේ වැඩේ තියෙන වෙනසත් ඒකමයි. ශාලාවක ටිකට් ෂෝ එකක් කරද්දී නම් අපි ඒ ගැන කල්තියාම දන්නවනේ. හැබැයි මේකේ රිටර්න් එකක් මම බලාපොරොත්තු වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ, කැනඩාවේ සිටින සිංහල, දෙමළ, බර්ගර් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයින් එකට එක තැනකට ඇවිත් සෙනෙහසින් මේ ප්‍රසංගය රස විඳිනවා දැකීමයි. නිව් යෝර්ක් සහ වින්ඩ්සර් මොන්ට්‍රියල් ඇතුළු නරගවල සිටින ලාංකිකයින් පවා එන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ හැමෝටම මේක අලුත්ම අත්දැකීමක්. ඒ එන හැමෝමටම ආහාරපාන ලබා ගැනීමට මෙහි සිටින ආහාරපාන ආයතන කරන අයට පවරා තිබෙනවා. 

සංගීතයට ජාති - ආගම් භේද නැහැ. හැමෝටම රස විඳින්නට පුළුවන්. ඒ ආදරය බෙදා ගන්න තමයි මට ඕනෑ. අපි හැමෝම සමඟියෙන් ආදරයෙන් බැඳී සිටින තරමට මේ ලෝකය සුන්දරයි. 

ආගම් භේද වලින් තොරව මෙහි සිටින ශ්‍රී ලාංකීය හැමෝම එක්ක ඒ ආදරය බෙදා ගන්න සහ සංගීතය රසවිඳින්න ලබාදුන් අවස්ථාවක්. සංගීතය තමයි ඊට හොඳම බෙහෙත. 

එතකොට මේ ප්‍රසංගය ටොරොන්ටෝවේ හරියටම පැවැත්වෙන්නේ කොතැනද?

Woodbridge Fair Ground 100 Porter Avenue Woodbridge හිදී. මෙය සංවිධානය කරන්නේ කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික පාලමක් තැනූ ටොරොන්ටෝවෝ Vision Art Lanka විසිනුයි. 

සඳුන් ගමගේ