සත් පියුමන් මතින් හිඳ ලෝකයට පැවසූ සිදුහත් කුමාර උපතත්, උතුම් වූ නිර්වාණ මාර්ගය ශ්‍රී මහා බෝධි මූලයේදී අවබෝධ කර ගෙන බුද්ධත්වයට පත් වීමත්, කෙලෙස් ගන අඳුර නසා තුන් ලොවම ආලෝකමත් කළ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනත් සිදු වූයේ පින්බර වෙසක් පුර පසළොස්වක පොහොය දිනවලදීය. සිංහල බෞද්ධ අපට වෙසක් පොහොය මෙතරම් වැදගත් වන්නේ ඒ නිසාමයි. ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම ලොව පුරා සිටින බෞද්ධයින්ට වෙසක් පොහොය හුදෙක් ආගමික දිනයකට වඩා වෙනස්ය. එය ආලෝකයේ, ත්‍යාගශීලීත්වයේ සහ මනසට ගැඹුරු සන්සුන් භාවයක් ඇති කිරීමට සමත් උලෙළකි.
බුද්ධ පරිනිර්වාණයත් සමඟ ඇරඹි බුද්ධ වර්ෂයට අනුව මේ ලබන්නේ සම්බුද්ධ ජයන්තියෙන් 2569 වන වසරයි.
වෙසක් කී පමණින් පන්සලේ සිට පොල් අතුපැල තෙක්ම ලෙළදෙන්නේ සව් කොළය. හන්දියක් හන්දියක් ගානේ දන්සල් ය. මුළු රටම තරු මෙන් දිලිසෙන්නේ වීදියක් ගානේ බැබළෙන විදුලි පහන් වැල්වලිනි. දවස් ගණනාවක් ඔට්ටු වී සාදන තොරණ වෙසක් පොහොයට ගමේ නගරේ ඉදි වෙන්නේ සම්බුද්ධ හිමිගේ ආදර්ශ කතාවලින් සැමගේ ජීවිත ආලෝකමත් කරමිනි. දහම් සුවඳට අමතරව දාන, සීල භාවනා වැනි පාරමිතා පූජා ගමේ කොලු කුරුට්ටන්ගේ සිට වැඩිහිටි උදවිය තෙක් ළඟා වෙන්නේ වෙසක් මහේ කුමක් හෝ කුසලයක් කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.
ඉස්සර නම් වෙසක් කී දා සිට ගමේ දරුවන්ගේ අත්වල පාප්පය, එහෙමත් නැතහොත් හැඩ වැඩ දමා හැදූ කූඩුය. උණ බට කපන්නේ වෙසක් එන්න සතියකටවත් පෙරය. නමුත් එදා තරමටම නැතත් අදත් කඩෙන් හෝ ගෙන වෙසක් කූඩුවක් නිවැසියන් සමඟ අලවා එල්ලීමේ සිරිත සුරක්ෂිතව ඇත. ඒ අපේ පැරැන්නන් රැකගෙන ආ ජාතික, ශාසනික, ඓතිහාසික උරුමයන් යම් තරමකින් හෝ අප ද මතු පරපුරට කියා දෙන බැවිනි.
වෙසක් පොහොයට ගෙදර වැඩිහිටියන් උදේම පන්සලට ගොස් සිල් සමාදන් වීම සිදු කරන විට ඔවුන්ට ශ්‍රද්ධාවෙන් දානය දෙන්නෙ තරුණ පිරිසයි. හවසට තොරණ බලා දන්සලක් වඳින්න යන්නේ පවුල පිටින්ම වෙසක් සිරි විඳීමටයි. මේ වෙසක් පුන් පොහොයට කාලාන්තරයක් තිස්සේ සෑම නිවසකම වෙන පිළිවෙතකි.
මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය "කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු" යන තේමාව යටතේ පැවැත්වීමට රජය තීරණය කර ඇත. ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් මැයි මස 10 වැනි දින සිට 16 වැනි දින දක්වා සතියක කාලයක් වෙසක් සතිය ප්‍රකාශයට පත් කර තිබේ. එම කාලය තුළ දිවයිනේ නොයෙක් පැතිවල ඉදි වෙන ජාතක කතා රැගත් දැවැන්ත තොරණ මෙන්ම වෙසක් කූඩු තරගත්, මහ දන්සල් තුළිනුත් මඳකට හෝ සිත නිදහස් කරයි.
එදා ශ්‍රද්ධාව මූලික කර ගත්තද අද ඊට යම් පමණකට හෝ විනෝදයද එක් වී තිබීම අමතක කළ නොහැක. ඒ නිසාවෙන්ම අද කොළඹ වෙසක් කලාපයට එන පිරිස අධිකය. එසේ වුවත් කිසිවෙකුට හානියක් නොකර පමණ දැන විනෝද වීම වරදක් යැයි කිසි තැනක ධර්මයේ සඳහන් නැත.
ඒ නිසා උතුම් වූ සම්බුදු තෙමඟුල සිහිපත් කරන වෙසක් පුන් පොහෝ දින දැහැමි සිතින් යුතුව වෙසක් අසිරිය විඳින බෞද්ධයකු වීමට අප සියලු දෙනා වගබලා ගත යුතුය.
කෞශල්‍යා ලක්ෂානි