‘‘නීල චංචල දෑස
පවන වැද මඳහාස
මහ මෙරක පෙති සේම
සැලෙයි ඉවසනු කෝම
නිල උත්පල දෑස
කියන නොඉඳුල් රහස
විඳිනු මිස රහසේම
නෙළන්නද නුඹ කෝම-ළඳුනේ.’’
සමාජ මාධ්‍යවල නිරතුරු රැව්දෙන මේ ප්‍රේම ගීතයේ සැබෑ අයිතිකරුවා තමයි රොඩ්නි වර්ණකුල. දන්නවනේ? කලාවේ මායිම් කඩයිම් තරණය කළ ප්‍රවීණයා.
රොඩ්නි ලෙහෙසියෙන් තම අනන්‍යතාව පවරාදෙන කෙනෙක් නොවෙයි. හැබැයි තමන්ගේ නිර්මාණයක් වුණත් හරියට ගයනවානම් ඉස්සෙල්ලම නවකයාට සුබ පතල දිරිමත් කරන්නෙත් රොඩ්නි නම් සංවේදී මිනිසාමයි.
එහෙම කුසලතා පූර්ණ තරුණයකු ඔහුගේම නිවහනේ ඉන්නවා. ඒ තමයි රොඩ්නිගෙ එකම පුත්‍රරත්නය ඉරෝන් ලක්දීප වර්ණකුල, තාම වයස 24යි. ඒත් හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවා කිව්වා වගේ තාත්තත් සමග දුර ගමනක් යන ලකුණු නම් පේනවා.
අපි මුලින්ම රොඩ්නි සමග කතා කරමු.
කොහොමද කලා කටයුතු?
පුරුදු විදියටම ඇප කැප වෙලා ඉන්නවා. මගේ අලුත් ප්‍රහසනාත්මක නාට්‍ය නිර්මාණයේ කටයුතුවල යෙදෙමින් ඒකෙ නම කක්කුට්ටා.
මේ පාර තේමාව කොහොමද?
තමන් ඇදේට යමින් ගෝලයන්ට කෙළින් යන්න කියලා දෙන පුද්ගලයන් වටා තමයි පිටපත ගැළපිලා තියෙන්නෙ. ඉතින් කාලීන සංසිද්ධින්ට ඇති ගැළපීම නිසා වෙන්න ඇති සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.
දැන් කලා ජීවිතයට කොච්චර වයසද?
අපොයි දැන් අවුරුදු 43 පැනලා වැඩිම කලක් රඟපාන්න ඇත්තෙ නරිබෑනා. ‘‘ගුරුතරුව, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා, තාරාවෝ ඉගිලෙති. ගුරු තරුව’’ වගේ පැරණි නිර්මාණ නොනැසී පවතිනවා. දැන් අලුත් පිරිසකට කාලය හරි වගේ පේනවා.
ඒක වෙන්න ඇති පුතාත් කල එළියට එන්නේ?
පුතා ඉතින් එයාගෙ පැත්තෙන් කලාව පිළිබඳව අධ්‍යයනය කරමින් ඉදිරියට එන්න උත්සාහ දරනවා. අත්දැකීම් ලබමින් තමයි කලා ක්ෂේත්‍රය හඳුනා ගන්න ඕනා. මං එයාට කිසිම බලපෑමක් කරන්නේ නෑ. තමන්ගේම වර්ණය වටහාගෙන දිගු ගමනක් යාවි. මා දන්න තරමින් එයාට උපකාර කරනවා. වඩාත්ම වැදගත් වෙන්නේ විනය ගරුක බවයි. සිත කය මනස තුනම අවංකකමයි නිර්ව්‍යාජ කමයි අත්‍යවශ්‍යයි.
මුහුණ පුරා නැවුම් රැවුල වැවුණු උපැස් යුවල පැලඳි සෙල්ලක්කාර සිනාවකින් සැරසුණු කොලු ගැටයෙක් තාත්තගෙ වම් පසින් හීන් සීරුවට වාඩි වුණා.
මේ තමයි මගේ නිර්මාණවල ඉදිරි අයිතිකාරයා. රොඩ්නි අපෙන් සමු ගත්තේ එහෙම කියාගෙන.
ඉතින් ? ඔයාව අදමයි හමුවුණෙ.
මම ඉතින් තවමත් නවකයෙක්නෙ. තාත්තලගෙ නිර්මාන ගමන හදාරමින් ඉන්නවා. කලකින් තාත්තා නොගැයූ ජනප්‍රිය ගීතයක් වන ‘‘නිල චංචල දෑස’’ ප්‍රතිනිර්මාණය කරන්න මට ආසා හිතුනා. ඒ ගීතය ලියල තිබුණෙ රත්නසිරි පරණවිතානයන් සංගීතවත් කළේ තරුපති මුණසිංහයන්. මේ සඳහා මාව දිරිමත් කළේ ප්‍රවීණ සාහිත්‍යවේදියකු වන උපුල් අසංකයි.
ඉරෝන් පවුලේ අය සමඟ
ආදර ගීතවලට විතරද ආසා ?
අනේ නැහැ. මං තාත්තගෙ ගීතවලින් ඉතා කැමති ගීතයත් තාත්තා නාඩගම් නුර්ති, වේදිකා සහ ප්‍රසංගවලට වගේම ටෙලි සහ සිනමාවට රඟමින් ගැයූ ගීත පරිස්සමින් නරඹනවා.
නැත්නම් කලාවට ආවෙ ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයෙන්. ඔයා කොහොම ද ආවේ.
අපේ උපන්ගම බෝපිටිය. ඒ කියන්නෙ මීගමු කලාපයේ එදා ඉඳන්ම දෙව්මැදුර ආශ්‍රිතව ගොඩනැඟුණු කලාත්මක පසුබිමක් අපට තිබුණා. ඒ වගේම නුර්ති නාඩගම්, ‘බෙරකලාව, පල්ලියේ සංගීතය, කවි හා ගීතිකා, රංගන වැනි හැම කලාවක්ම පැරණි අයට පිහිටලා තිබුණා.
තාත්තගෙ පියාත් කවි ගායනය, රංගනය පිළිබඳ දක්ෂතාව තිබුණු කෙනෙක් කියලා තාත්තා කිව්වා. ඒ ආභාසය වෙන්න ඇති තාත්තාටත් ලැබුණෙ. ලූෂන් බුලත්සිංහලයන්ගෙ තාරාවෝ ඉගිලෙති සඳහාත් එයාව තෝරා ගන්නෙත් මේ කුසලතා පෙනිලා වෙන්නැති. මොකද තාත්තා අනිත් නළුවන් ඉදිරියේ නවකයෙක් වූ නිසයි. තාත්තා ‘නුගසෙවණ’ වැඩ සටහනෙන් ඒ බව කිව්වා.
මම නම් කලාවට පිවිසුණේත් බෙර වාදකයෙක් ලෙසයි.
කොහොමද ගෙදර පරිසරය?
ඉතා සාමකාමී කලාත්මක පරිසරයක්. තාත්තා නිහඬ අවශ්‍ය වෙලාවේදී හැඟුම් පිටකරන සාම්ප්‍රදායික නොවුවත් ඒත් විනයානුකූල හැඟුම් ඇති චරිතයක්.
අම්මා හොඳ ගෘහණියක්. එයා ඉරාණි වතිකා, හොඳ රසිකාවියක්. මගේ ලොකු අක්කා ප්‍රසංගිකා. ඇය නර්තන ගුරුවරියක් පොඩි අක්කා සමාධි ඇය තෝරා ගත්තෙ රූපලාවණ්‍යය පැත්ත. මං බාලයා.
පාසල් සමය ගෙවුණෙත් කලාව එක්කද?
මං කලා පවුලක කෙනෙක් නිසා කාගෙත් ආදරය තිබුණා. කලාව මහගෙදර අපේ ගෙදර ගුරුතුමා තමා තාත්තා. හැබැයි මගේ හිත බෙරකලාවට යොමු කිරීමේ ගෞරවය හිමි වෙන්නෙ හේමන්ත ලියනපතිරණ ගුරුතුමාට. එතුමා සංගීත ගුරුවරයා මීගමුව මාරිස්ටෙලාවෙ. මා පුංචි කාලෙ ගියේ ගමේම බෝපිටිය ලොයෙලා විදුහලට.
හේමන්ත සර් යටතේ විදුහල් අතරත් පළාත් සහ සමස්ත ලංකා බෙරවාදන තරගාවලි රැසක් නියෝජනය කර ජය හිමිකර ගත්තා. ගීත නම් ගැයුවේ නෑ. රඟපෑවේත් නැහැ.
කොහොමද රංගනයට ආවෙ?
ගිරිරාජ් කෞශල්‍ය මාමා තාත්තගෙ යාළුවානෙ. හැමදාම බෙරගහ ගහ ඉඳල හරියන්නෙ නෑ කියලා බලපෑම් කළ හින්දා එයාගේ ‘‘සුහද කොකා’’ චිත්‍රපටයට එක්කර ගත්තා.
උසස් පෙළෙන් පස්සෙ ස්වර්ණවාහිනියෙ විකාශය වුණු ‘හදවතේ කතාව’ හා ‘බ්ලැක් පුල්’ වැනි ටෙලි නාට්‍යවල රංගනයට වරම් ලැබුණා. ඔය අතර කාලය ගෙවුණෙ බස්වල. ප්‍රියසාදවල, සින්දු කියලා අපේ සංගීත කණ්ඩායම් කිහිපයක් තිබුණා. දැන් නම් ස්ථිරව කණ්ඩායමක් හදාගෙන තියෙනවා.
තාත්ත සපෝට් එකක් දුන්නෙ නැද්ද?
මං දුරින් ඉදන් අවශ්‍යතාවක් ලැබුණොත් තාත්තගෙ නිර්මාණවලට සපෝට් කළා. ‘තාත්තගෙ පුතා’ කියලා කැපී පෙනෙන්න ගියේ නෑ. තාත්ත කිව්වෙත් නෑ.
තාත්තාගේ ‘ත්‍රිපේස්’ වේදිකා ප්‍රසංගයට නම් මං බැහැල වැඩ කළා. තාත්තත් ඒ කැපවීම දන්නවා. ‘‘ඉස්සෙල්ලා හොඳට ඉගෙන ගන්න. අවස්ථාව ලැබුණු පළියට රඟපාන්නත් එපා. නිවිහැනහිල්ලෙ සිතා බලන්න තමන්ට එම චරිතයට පිවිසෙන්න පුළුවන්ද කියලා. හරි දේම කරන්න. තාත්තා කිව්වා.
පල්ලියේ සංගීත කණ්ඩායමේ ඉන්නවා ද?
මං කිව්වෙ අපේ පල්ලිය තමයි බෝපිටියේ ශාන්ත නිකුලස් දෙව් මැදුර. අම්මා අක්කා දෙන්නා සහ තාත්තා එහි නිත්‍ය සහෘදයො කුඩා කලේ ඉඳන් මේ දක්වාම එහි ගීතිකා කණ්ඩායමේ සාමාජිකයෝ. දෙවියන්ගේ කරුණාව අපට යහපත සලසනවා.
ඉතින් අලුත් වර්ණයක් ගේන්නෙ කවදාද?
මගේම ගීතයක් ලියලා අවසානයි. සංගීතය නිර්මාණය කළ වහාම ජනගත කරනවා. පල්ලියේ උත්සවවලදී, ප්‍රියසාදවල දී තාත්තයි මායි සින්දු කියනවා. ඉතින් අප අතර සබකෝලයක් නැහැ. තාත්තගේ සින්දු වගේම කවදාවත් මගේ සින්දුත් ජනප්‍රිය වේවි. කියලා පතනවා. එතකල් තාත්තගෙ සින්දු කියනවා. ප්‍රේක්ෂකයෝ මං තාත්තගෙ සින්දු කියනවාට හොඳ ප්‍රතිචාර දෙනවා.
අලුත් අයට මොනවද කියන්නෙ?
අනේ අලුත් පරපුරේ අයත් මං වගේනෙ. ඉතින් මට මහලොකු දේවල් කියන්න නෑ. හැබැයි තරහ වෙන්නෙ නැත්නම් දෙයක් කියන්නම්. සල්ලිම ඉස්සර කරගෙන නිර්මාණ කරන්න එපා. වින්දනය හා ආදර්ශයයි. උතුම්. නිර්මාණ කරන්න. ඒත් හරි නිර්මාණය තෝරා බේරාගන්න. මාත් එහෙමයි. ඔයාලත් එහෙම කරන්න. වැඩිහිටියන්ට ගරු කරන්න.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි