අවුරුදු කුමරියක ලෙස විද්‍යුත් තිරයට විවෘත වූ ඇය එම ජයග්‍රහණය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කරගනිමින් කලාවේ දිගු ගමනක් යන්නට බලාපොරොත්තු පොදි බැඳගත් අලුත් තරුවකි. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන දෙවනි ඉනිමෙහි අමන්දා ලෙසින් ප්‍රේක්ෂක ඔබ හඳුනාගත් ඇය නමින් රමේෂා රණසිංහයි. මෙවර සැඳැල්ලෙන් ඈ සමඟ කළ සොඳුරු කතාබහයි මේ;
ප්‍ර දෙවැනි ඉනිමේ දෙවන අදියරේ අමන්දාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන රමේෂා ගැන මුලින්ම කියන්නකෝ?
මම රමේෂා රණසිංහ. ජීවත් වෙන්නේ කඩුවෙල. මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි අක්කායි නංගියි තමයි ඉන්නේ. මම දැන් පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කරලා විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. ඒ අතරතුර තමයි කලා කටයුතුවලටත් සම්බන්ධ වෙන්නේ.
ප්‍ර මේ ඔබේ පළමු කලා නිර්මාණය ද? කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ?
ඔව් මම කලාවට සම්බන්ධ වන මගේ පළමු කලා නිර්මාණය තමයි දෙවැනි ඉනිම දෙවන අදියර. මේ සඳහා මම තෝරා ගැනෙන්නේ ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පසුවයි. මම ඒ වනවිට නිරූපණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉගෙනීම් කටයුතු කරන අධ්‍යාපන ආයතනයෙන් ළමුන් මේ ස්ක්‍රීන් ටෙස්ට් එකට සම්බන්ධ කරන්න කියලා ඇරයුමක් ලැබිලා තිබුණා. ඒ අනුව තමයි මමත් ඒ අවස්ථාවට යන්නේ. ඉතින් එතනින් ළමුන් පනස් ගණනක් අතරින් තේරිලා තමයි අමන්දාව ලැබෙන්නේ.
දෙවනි ඉනිම පිළිබඳ තිබෙන ජනතා ප්‍රසාදයට සමානවම විවේචනත් තිබෙනවානේ, ඉතින් බය හිතුනේ නැද්ද පළමු අවස්ථාවේදීම මේ වගේ නිර්මාණයකට සම්බන්ධ වීම හරහා ඔබේ කලා ගමනට හානියක් වේවි කියලා?
ඇත්තටම මට ආරාධනා ලැබුණායින් පසුව මේක කරන්න ඕන ද නැද්ද කියන එක ගැන කල්පනා කළා. නමුත් මම හිතුවා ඇත්තටම මට දෙයක් ඉගෙන ගන්න තියෙන තැනින් ඒ දේ ඉගෙන ගන්න ඕන කියලා. ඒ විදිහට හිතලා තමයි මම මේ නිර්මාණයට සම්බන්ධ වුණේ. කෙසේ වෙතත් මට දැණුන දෙයක් තමයි මිනිස්සු කොයිතරම් බැන්නත් මොන විදිහේ විවේචන කළත් මේක ඒ අය ආදරයෙන් වැලඳගත් නිර්මාණයක් කියන දේ. දැන් මේ නිර්මාණය ප්‍රේක්ෂකයන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් වෙලා එය සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් බලන මට්ටමකට පත්වෙලා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා මිනිස්සු කොච්චර විවේචන කළත් ඔවුන් මේ නිර්මාණයට ආදරෙයි කියලා.
ප්‍ර අමන්දාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් මතක් කරමු?
ඇත්තටම අමන්දාට ගොඩක් අය ආදරෙයි. මම හිතන විදිහට ඒ ආදරය ලැබෙන්නේ අමන්දගේ චරිතය ගොඩනැගිලා තියෙන්න ආකාරය මතයි. ඒ කියන්නේ ආදරය, මුදල් අඟ හිඟකම් නිසා අසරණ වීම, වගේ සාමාන්‍ය ජනතාව නිතර මුහුණ දෙන ප්‍රශ්න එක්ක ගොඩනැගුණු චරිතයක් නිසා ඒක හිතට දැනෙන චරිතයක් වෙනවා ඇති.
ප්‍ර රමේෂා ඇත්ත ජීවිතයෙත් හොඳ ක්‍රිකට් ක්‍රීඩිකාවක්ද?
නැහැ. මම පාසල් කාලය තුළ විවිධ ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් ක්‍රිකට් ප්ලේ කරන්න බැහැ. අපිට රූගත කිරීම් කරන අවස්ථාවලදි ඊට පෙර පුහුණුවීම් පවත්වනවා. ඒ දේවල් එක්ක ඉගෙන ගන්න දෙයින් තමයි ක්‍රිකට් සෙල්ලම් කරන අවස්ථාවල රංගන කටයුතු සාමාන්‍යයෙන් කරගෙන යන්නේ.
ප්‍ර ඔබ අවුරුදු කුමරියක්. ඒ තරගයට සම්බන්ධ වෙන්නෙත් කලාවට ඒමේ අරමුණක් ඇතිවද?
කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ කලාවට එකතුවෙන්න. මගේ අක්කා තමයි ඒ අවුරුදු කුමරිය තරගයට අයැදුම්පත යොමුකළේ. ඊට පසුව මම ඒ තරගයට ඉදිරිපත් වුණත් මම හිතුවේ නැහැ ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් වේවි කියලා. නමුත් මම නොහිතුව ලෙස යම් ජයග්‍රහණයක් ලබා ගත්තා. එදා එතනදි ලබපු පන්නරයත් එක්ක තමයි අද වන විට කලාවේ යම් ගමනක් ආරම්භ කරලා තියෙන්නෙ. ඇත්තටම ඒ ජයග්‍රහණය මගේ ගමනේ හැරවුම් ලක්ෂයක් වුණා.
ප්‍ර ඔබ කලාව ගැන හදාරනවා ද?
මම පාසල් කාලයේ නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හැදෑරුවා. ඉතින් ඒ දේවල් එක්ක අද මම ප්‍රායෝගිකව රංගනයේ යෙදෙන අවස්ථාවේ ලබන අත්දැකීම් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ වැඩකටයුතු කරන විට ලබන අත්දැකීම් ආදී සෑම දෙයක් එක්කම මම ලොකු හැදෑරීමක් කරනවා. ඒ වගේම මම සිනමා පට නරඹලා, නවකතා පොත්, තිර පිටපත් ආදිය කියවලා ඒ දේවල් වලිනුත් දැනුම එකතුකර ගන්නවා.
ප්‍ර රමේෂා පාසලේ ඔබ මොන විදිහේ චරිතයක්ද?
පාසල් කාලයේදිත් මම හරිම නිවිච්ච ළමයෙක්. හරිම නිහඬ චරිතයක්. පාසලේ බාහිර වැඩකටයුතු නම් බොහෝමයකට සම්බන්ධ වෙලා නැහැ. නමුත් හොඳින් අධ්‍යාපනය හදාරන ගමන් ඒ දේවලුත් මට පුළුවන් ආකාරයෙන් කරගෙන ගියා.
ප්‍ර පුංචි තිරයේ හෝ රිදී තිරයේ අලුත් ආරාධනා තිබෙනවාද?
ටෙලි නිර්මාණ කිහිපයකටම ආරාධනා නම් ලැබිලා තියෙනවා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු සමඟ ඒ දේවල් වෙනුවෙන් වෙන් කරන්න තිබෙන කාලය අඩු නිසා ඒ දේවල්වලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඉතාම ඉක්මනින් මම අලුත් නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබේවි. රිදී තිරයට නම් ආරාධනා ලැබිලා නැහැ. එක් අවස්ථාවක් හිමිවුණා. ඒ චරිතය රමේෂා කියන මගේ චරිතයට තරමක් අමාරු චරිතයක්. මම ඒ චරිතයට ගරු කරනවා. නමුත් මම ආසයි රිදී තිරය තුළ ප්‍රේක්ෂකයා පළමුවරට මාව දකින අවස්ථාවේ මම මම වගේම චරිතයකින් පෙනී ඉන්න. ඉතින් එහෙම අවස්ථාවක් ලැබෙනකල් මම ටිකක් නැවතිලා බලන් ඉන්නවා.
ප්‍ර කලා කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු?
අපේ ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ ආරක්ෂාව, මගේ අවශ්‍යතා මේ හැමදේම ගැන හොයලා බලනවා. නිතරම මගෙ පසුපසින් ඉන්නවා. මට මේ ක්ෂේත්‍රයේ කෙළින් ගමනක් යන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ ඒ අයගේ සහයෝගය නිසා තමයි. ඇත්තටම එයාලා මම ගැන සතුටු වෙනවා සහ ආඩම්බර වෙනවා.
ප්‍ර රමේෂාගේ කලා ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද?
මගේ කලා ජීවිතය තුළ මම මිනිස්සුන්ට මතක හිටින චරිතයක් වුණු දවසට මම හිතනවා මම කලා ජීවිතය ජය ගත්තා කියලා. ඒ තත්ත්වයට ගමන් කරන එක තමයි මට තියෙන ලොකුම බලාපොරොත්තුව.
දුලක්ෂි ලියනගේ