ඔලිම්පික් ජය පරාජයේ අපූරු කතා


මුහුණු ආවරණ නොමැති ඔලිම්පික් පදක්කම් ශූරියෝ

 

‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන් වසරක් ප්‍රමාද වුණු, ටෝකියෝ ඔලිම්පික් උළෙල ජූලි 23 සිට අගෝස්තු 8 තෙක් පැවැත්විණි. කිසිදු ලාභයක් අපේක්ෂා නොකර, කොරෝනා වසංගතය මැද, ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට ජපානය කටයුතු කිරීම සැබැවින්ම ලොකු ජයග්‍රහණයකි. ඔලිම්පික් උළෙලට සහභාගී වුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් අපූරු කතා රැසකි. ජයග්‍රහණය කරමින්, පදක්කම් ලබා ගනිමින් පමණක් නොව, කිසිදු තරගයකට සහභාගී නොවී ලොව කතාබහට ලක්වුණු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද වෙති. මේ එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන කෙටි සටහනකි.   


මෝදි එක්ක අයිස් ක්‍රීම්   


ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඉන්දියාව පදක්කම් 7 ක් දිනා ගැනීමට සමත් විය. ඒ, එක් රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් ආදී වශයෙනි. ඉන්දියාව නියෝජනය කරමින්, ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට සමත් වුණු බැඞ්මින්ටන් ශූරිය පී.වී. සින්දු ය. ලැබූ ජයග්‍රහණයත් සමඟ සින්දු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ අයිස් ක්‍රීම් රස බැලීමට අවස්ථාවක් උදාවී ඇත.   


පී.වී. සින්දු අයිස් ක්‍රීම්වලට පමණක් නොව, ඉන්දියාවේ එක එක විදියේ කෑම වර්ගවලට ප්‍රිය කරයි. ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, සින්දු පවසා ඇත්තේ තමන් උදෑසන ආහාරය ලෙස ප්‍රිය කරන්නේ දකුණු ඉන්දීය ආහාර බවත්, තෝසේ, වඩේ, ඉඩ්ලි කන්න ඇය ප්‍රිය කරන බවය. ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල විවිධ රසැති අයිස් ක්‍රීම්වලට ද තමන් ප්‍රිය කරන බව ඇය පවසා ඇත.   


ජූලි 13 වැනිදා ටෝකියෝ බලා යෑමට සූදානමින් සිටි, ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායම සහ ආග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සූම් තාක්ෂණය හමුවේ කතාබහක් පැවැත්විණි. ඒ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමක් වශයෙනි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ නිවෙස්වල සහ පුහුණුවීම් මධ්‍යස්ථානවල සිට අග්‍රාමාත්‍ය මෝදි සමඟ කතාවට වැටුණි.   


අග්‍රාමාත්‍ය මෝදි සහ සින්දු අතර සුහද කතාබහක් පැවැති අතර, ඔලිම්පික් සඳහා පුහුණුවීම් කෙරෙන ආකාරයත්, විදේශගතවීමෙන් පසු කැමැති දෙයක් කෑමට අවසර ලැබෙනවාද යන්න ගැනත් අග්‍රාමාත්‍ය මෝදි, සින්දුගෙන් විමසීමක් කළේය. ඊට පිළිතුරු දෙමින් සින්දු කීවේ, එසේ කැමැති දෙයක් කෑමට අවසර නොලැබෙන බවත්, ආහාර පාලනයක් දැන්ම තියා තමන් ආරම්භ කර ඇති බවත්ය. ‘මං අයිස් ක්‍රීම්වලට හරිම ආසයි. මට අයිස් ක්‍රීම්වත් කන්න ලැබෙන්නේ නැහැ‘ යැයි සින්දු පැවැසුවාය.   


‘ඔයා හොඳට තරග කරලා පදක්කමක් අරන් එන්න. අපි දෙන්නම එකතුවෙලා අයිස් ක්‍රීම් කමු.’ යැයි අග්‍රාමාත්‍ය මෝදි ඊට පිළිතුරු දුන්නේය. මෙම සූම් වීඩියෝ කතාබහ ඉන්දීය මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධියට පත් විය. සින්දු ලෝකඩ පදක්කම දිනූ අවස්ථාවේ, ඉන්දීය මාධ්‍යවේදීහු සින්දුගේ පියා පී.වී.රාමණා වටකරගත්හ. දැන් අගමැති මෝදිට, සින්දු සමඟ අයිස් ක්‍රීම් කන්න වේවි නේද යැයි මාධ්‍යවේදීන් රාමණාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ආඩම්බරයෙන් සිනාසුනා පමණි. පසුව ඔහු ට්විටර් පණිවුඩයක් හරහා කියා සිටියේ, ආග්‍රමාත්‍ය මෝදි සමඟ අයිස් ක්‍රීම් කෑමට තමන්ගේ දියණියට අවස්ථාවක් උදාවීම, ඇය ඉන්දියාව වෙනුවෙන් පදක්කමක් දිනා ගැනීම සේම තමන්ට ආඩම්බරයක් බවය.   

 

ජයග්‍රහණය වෙනුවෙන් මුද්දර

 

දර උස්සලා බර ඉස්සූ ක්‍රීඩිකාව   


බර එසවීමේ ඉසව්වෙන්, ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ මිරාබී චානූ ආපසු ඉන්දියාවට පැමිණෙද්දී ඇයට ලැබුණේ වීරයකුට ලැබෙන ආකාරයේ පිළිගැනීමකි. ඔලිම්පික් උළෙලකදී බර එසවීමේ ඉසව්වෙන් ඉන්දියාවට පදක්කමක් හිමිවූයේ වසර 21 කට පසුවය. ඒ අනුව මිරාබී චානූගේ ජයග්‍රහණය ඉන්දියානුවන්ට ලොකු අභිමානයකි. ගෞරවයකි. ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පළමුවෙන් ම පදක්කමක් දිනූ ක්‍රීඩිකාව ද මිරාබී චානූ ය.   


ඇගේ සම්පූර්ණ නම ෂයිකොම් මිරාබායි චානු ය. මිරාබී චානූ බර එසවීම ආරම්භ කළේ අවුරුදු 12 දීය. ඇය බර ලෙස එසවූයේ දර මිටි ය. මව සමඟ එක් වී, නිවස අසල වනයට ගොස් දර කපා මිටි බැඳ ඒවා හිසේ තබාගෙන ඔසවාගෙන කිලෝ මීටර් ගණනක් පයින් යෑම පුංචි මිරාබිගේ දෛනික රාජකාරිය විය.   
මිරාබී චානූ උපන් නගරය නොන්පොක් කැක්චිං වන අතර, මෙය පිහිටා ඇත්තේ මනිපූර් ප්‍රාන්තයේය. මිරාබී චානූගේ පියා රාජ්‍ය නිලධාරියෙකි. අම්මා සමෝසා වෙළෙන්දියකි. මුලදී මිරාබී චානූ ක්‍රීඩා ගැන කිසිදු දෙයක් දැන සිටියේ නැත. ඒත් පාසලේදී ඇය ක්‍රීඩාවට යොමු වූවාය.   


ක්‍රීඩා ගැන උනන්දුවක් දැක්වීමත් සමඟ මිරාබී චානූ මුලින්ම තෝරා ගත්තේ දුන්නෙන් ඉලක්කයට විදීමේ ක්‍රීඩාවය. කෙසේ නමුත් ඇය සිතූ තරම් එය සාර්ථක වූයේ නැත. හේතුව ඇය උසින් අඩු තැනැත්තියක වීමය. ඇය බර එසවීමට යොමු වූයේ ඉන්පසුවය. ආරම්භයේ දී ඇය පුහුණුව ලැබීමට එසවූයේ කැලයෙන් කපාගත් උණබට ය. උණබට මිටි බැඳ එය ඔසවමින් ඇය පුහුණු වූවාය. කුඩා කල බර ඔසවමින්, මිරාබී චානූ පෙන්නූ හපන්කම් එක් දක්ෂ පුහුණුකරුවකුගේ අවධානය දිනා ගැනීමට සමත් විය. ඇය තුළ වූ ධෛර්යය, අධිෂ්ටානය සහ ශක්තිය හඳුනා ගත් ඔහු ඇයට පුහුණුව ලබා දුන්නේය. අදවනවිට චානූ පුහුණුව ලබා දීමට බර එසවීමේ පුහුණුකරුවන් සිවු දෙනෙකු සිටින බව පැවැසෙයි.   


මිරාබී චානූ පෑ දස්කම්, ජාත්‍යන්තර තරග තෙක් දුරදිග ගියේය. 2014 වසරේ දී ඇය ග්ලාස්ගෝව් හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේ දස්කම් පෙන්වූයේ ඉන්දියාවට අභිමානයක් ගෙන දෙමිනි. ඇය කිලෝ ග්‍රෑම් 48 බර පංතිය යටතේ ක්‍රීඩා කරමින් රිදී පදක්කම දිනා ගත්තාය. 2016 රියෝ ඔපිම්පික් උළෙලට සහාගී වීමට ඇයට එම ජයග්‍රහණය සුදුසුකමක් විය. රියෝ ඔලිම්පික් උළෙලේදී ‘ක්ලීන් ඇන්ඩ් ජර්ක්‘ ක්‍රමයට කිලෝ ග්‍රෑම් 104 ක බරක් එසවීමට ඇය උත්සාහ කළත් අසාර්ථක විය. ඉන්පසු කිලෝ ග්‍රෑම් 106 ක බරක් එසවීමට ද ඇය උත්සාහ කළ නමුත් එය ද අසාර්ථක විය. මිරාබී චානූගේ පළමු ඔලිම්පික් ගමන බලාපොරොත්තු සුන් එකක් විය. ඇය රියෝ නුවර සිට ආපසු පැමිණියේ කඳුළු පිරි දෙනෙතිනි.   


කෙසේ නමුත්, මිරාබී චානූ පහසුවෙන් පරාජය බාර ගන්නා තැනැත්තියක නොවූවාය. අත්වුණු පරාජය ඇයට ශක්තියක් විය. 2017 දී ඇය සම්පූර්ණයෙන් 194 ක බරක් එසවූවාය. ඇමෙරිකාවේ ඇනාහයිම් තරගාවලිවේ දී ඇය ලෝක ශූරියක බවට පත් වූවාය. 2018 දී ඇය සම්පූර්ණයෙන් කිලෝ ග්‍රෑම් 196 ක බරක් එසවූවාය. ඒ, ඕස්ට්‍රේලියිවේ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේදී රන් පදක්කම දිනා ගනිමිනි. ලැබූ මෙම ජයග්‍රහණත් සමඟ ඇයට ‘රජිව් ගාන්ධි කේල් රත්න’ ගෞරවණීය සම්මානය ද ඉන්දීය ජනපති අතින් පිරිනැමුණි. මිරාබී චානූ, ඔලිම්පික් වළලු‍වලින් නිර්මාණය වුණු කරාඹු ද පැළඳ මෙවර ටෝකියෝ ඔපිම්පික් උලෙළට සහභාගී වූයේ පදක්කමක් ඉලක්ක කර ගනිමිනි.   


26 හැවිරිදි මිරාබී චානූ කිලෝ ග්‍රෑම් 49 බර පංතිය යටතේ තරගයට සහභාගී වූවාය. ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 87 ක් එසවූවාය. ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 115 ක් එසවූවාය. ඇය එසවූ සමස්ත බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 202 කි. ඇයට රිදී පදක්කම හිමිවූයේ ඒ අනුවය. ‘කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නැහැ. අවශ්‍ය ​ෙවන්නේ උත්සාහය, ධෛර්යය සහ කැපවීම පමණයි‘ යැයි මිරාබී චානූ මාධ්‍ය හමුවේ කියා සිටියේ මහත් ආඩම්බරයෙනි.   


ජයග්‍රහණය වෙනුවෙන් මුද්දර   


තාක්ෂණය කෙතරම් දියුණු වුවද, තැපැල් සේවයට සහ මුද්දරයට ඇති පොදු ජන ප්‍රතිචාරය තවමත් වියැකී ගොස් නැත. මුද්දරය තම සංස්කෘකියේ වැදගත් කොටසක් බවට පත් කරගත් රටවල් රැසක් ඇති අතර, ඕස්ට්‍රේලියාව ද එහි පෙරමුණේ පසුවෙයි. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිහිනුම් ඉසව් ජයග්‍රහණය කරමින් රන් පදක්කම් දිනූ ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරයන් වෙනුවෙන් ඔවුන් මුද්දර නිකුත් කර තිබේ. ඒ, ඕස්ට්‍රේලියා ඔලිම්පික් කමිටුව, එරට තැපැල් අධිකාරිය සමඟ එක්ව සිදුකළ රාජතාන්ත්‍රික මෙහෙයුමක් ලෙසිනි. ටෝකියෝ ඔලිම්පික් සඳහා, ඕස්ට්‍රේලියාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 472 කින් සමන්විත කණ්ඩායමක් යොමු කර තිබුණි. කාන්තා මීටර් 4x100 නිදහස් ආර පිහිනුම් ඉසව්වට එක්වුණු බ්‍රොන්ටේ, මෙග් හැරිස්, එමා මැකේන් සහ කේට් කැම්බල් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් රන් පදක්කම් දිනා ගැනීම මුද්දර එකතුවේ කැපී පෙනෙයි. කාන්තා මීටර් 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම් ජයග්‍රාහිකයා වූ අරියන් ටිට්මස්ගේ රුව සහිත මුද්දරයක් ද මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම දිනූ කේලී මැකොන්ගේ රුව සහිත මුද්දරය ද නිකුත් කෙරුණි.   


සතුට වැඩිවෙලා කියැවුණු අසැබි වදන   


ඔලිම්පික් උළෙලේ මිටර් 400 කාන්තා නිදහස් ආර පිහිනුම් ඉසව්ව ජයග්‍රහණය කරමින් රන් පදක්කම දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරිය කේලී මැකෝන් සමත් වූවාය. ලැබූ ජයග්‍රහණයත් සමඟ අතිශය සතුටට පත්ව සිටි කේලී වට කර ගනිමින් ඕස්ට්‍රේලියාවේ චැනල් 7 නාළිකාවේ ක්‍රීඩා පුවත් මාධ්‍යවේදියා ඇයගෙන් එම ජයග්‍රහණය ගැන අදහස් විමසීමක් කළේ සජීවීව ඕස්ට්‍රේලියාව හා සම්බන්ධ වෙමිනි. ජයග්‍රහණයේ සතුට වැඩිකමට තමන් සජීවී මාධ්‍ය අදහස් දැක්වීමකට සම්බන්ධ වූ බව පවා කේලීට මොහොතකට අමතක වී තිබුණි. ඕස්ට්‍රේලියාවේ ගෙදර සිටින මවට සහ නැගණියට මේ මොහොතේ නිවසේ සිට මේ පුවත නරඹනවා, එයාලට මොනවා හරි කියන්න තියෙනවාදැයි චැනල් 7 නාළිකාවේ මාධ්‍යවේදියා විමසූ අවස්ථාවේදී ජයග්‍රහණයෙන් අතිශය සතුටට පත්ව සිටි කේලී මයික්‍ර‍ෆෝනයට බෙරිහන් දුන්නේ අසැබි වදනක් සමඟ සතුට පිට කරමිනි. තමන්ගේ කටින් නරක වදනක් පිටවුණු බව වැටහුණු සැණින්, ඇය දෑතින්ම කට වසා ගත්තාය. රන් පදක්කමක් දිනා ගැනීමට තම පිහිනුම් ශූර දියණියට හැකිවීම ආරම්බරයක් බවත්, ඒ සම්බන්ධයෙන් තමන් සතුටට පත් වෙන බවත් පවසමින්, දියණියට කට පාලනය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන්, ඇය ආපසු නිවසට පැමිණි වහාම ඇයට තරවටු කරනවා යැයි කේලිගේ මව පැවැසුවාය.   

 

බර එසවීම වෙනුවෙන් රිදී පදක්කමක් දිනූ මිරාබි චානු

 

නිකෝලාගේ සටහන් පොත   


2021 ඔලිම්පික් උළෙලේ උස පැනීම කාන්තා ඉසවුවෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූයේ ඕස්ට්‍රේලියානු උස පැනීමේ ක්‍රීඩිකා නිකොලා මැක්ඩර්මට්ය. තරග බිමට පිවිසි නිකොලා සෑම ප්‍රයත්නයකින් පසු ආසනය වෙත ගොස් ඇගේ බෑගයෙන් සටහන් පොතක් ගෙන පෑනකින් එය කුරුටු ගාන අයුරු නරඹන්නන්ට දකින්න ලැබුණි. කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රීඩා පිටියේ සිටියේ අතලොස්සක් පමණක් වුවත්, සජීවීව බොහෝ දෙනකු රූපවාහිනියෙන් නිකොලාගේ මෙම අසාමාන්‍ය හැසිරීම නිරීක්ෂණය කරන්න විය. ක්‍රීඩා විස්තර විචාරකයන්ට පවා එය ප්‍රෙහේලිකාවක් විය. ‘මේ කෙල්ල මොනවද මේ සැරින් සැරේ ලියන්නේ?’ බොහෝ දෙනාට එය ප්‍රශ්නයක් විය. අවසානයේ ඊට පිළිතුරු දුන්නේ නිකොලාය. ඒ, ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුවය.   
සෑම ප්‍රයත්නයකින්ම පසුව නියමිත අසුන වෙත ගොස් සටහන් පොත දිග හැර ගන්නා නිකොලා, එහි සටහන් කරන්නේ ඇය සෑම ප්‍රයත්නයකදීම දැක්වූ දස්කම්ය. ඇය ඇයටම ලකුණු දීමක් සිදු කර ගනී. ලකුණු දෙන්නේ 1 සිට 10 දක්වාය. පසුව ඇය ඇගේ පුහුණුකරු සමඟ ඒ දේවල් ගැන සාකච්ඡා කරයි. වැරදි අඩුපාඩු සිහියට ගනිමින්, පියවරෙන් පියවර ඉදිරියට යයි. ඇය රිදී පදක්කම දක්වා ගියේ ඒ අයුරිනි.   


“මා අවංකවම මගේ සෑම උත්සාහයක් වෙනුවෙන්ම ලකුණු සටහන් කරගන්නවා. මගේ පෑනෙන් කිසිම දවසක මට ලකුණු දහයෙන් දහය නොලැබෙන බව මා දන්නවා. ඒ නිසාම දවසින් දවස, මොහොතින් මොහොත මට දියුණු කරගත යුතු යමක් හමුවෙනවා. මා වැරදි අඩුපාඩු හදා ගන්නවා.‘ නිකොලා මාධ්‍ය හමුවේ පසුව පැහැදිලි කළාය. නිකොලා මීළඟ ඔලිම්පික් උළෙලේදී හෝ ඊට පෙර ලෝක ශූරතාවයකදී රන් පදක්කමක් ජයග්‍රහණය කළොත්, ඒ ජයග්‍රහණය පසුපස ඇත්තේ ඇගේම නොපසුබට උත්සාහය මිසක් වෙන කිසිවක් නොවෙයි. ඕස්ට්‍රේලියානු පුවත් නාළිකා නිකොලා ගැන ආඩම්බරයෙන් පවසා තිබේ. 

 
කකුලේ ආබාධය   


ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි උස පැනීමේ අවසන් තරඟයේදී ඉතාලියේ ජියන්මාර්කෝ තම්බෙරී, කටාර් රාජ්‍යය නියෝජනය කළ මුටාස් එසා බාර්ෂිම්ට හොඳ තරගයක් දුන්නේය. ඔවුහු දෙදෙනාම මීටර් 2.37 ක් පැන සම තත්ත්වයේ සිටියහ. ඔලිම්පික් බලධාරීන්, දෙදෙනාට තවත් උත්සාහයන් තුනක් ලබා දුන් නමුත් ඔවුන් දෙදෙනාට මීටර් 2.37 කට වඩා ළඟා වීමට නොහැකි විය. එම උත්සාහ තුනට අමතරව, තවත් එක් වතාවක් උත්සාහ කිරීමට අවස්ථාවක් හිමිවිය.   


ඒත්, හදිසියේ පාදයේ ආබාධයකට ලක්වුණු බැවින් ටැම්ප්බේරි ට එම අවසන් උත්සාහයෙන් ඉවත් වීමට සිදුවිය. බාර්ෂීම් ට වෙනත් ප්‍රතිවාදියෙකු නොසිටි අතර, ඔහුට පහසුවෙන් රන් පදක්කම වෙත ළඟා වීමට අවස්ථාව උදා විය. එහෙත් ඔහු එසේ කළේ නැත. ‘‘මාත් අවසන් උත්සාහයෙන් ඉවත් වුවහොත් අප දෙදෙනා අතර රත්තරන් පදක්කම් බෙදා ගත හැකිද?”‍ බාර්ෂීම්, විනිසුරුවරුන්ගෙන් විමසීමක් කළේය. ‘ඔව්. එහෙම තමයි වෙන්නේ‘ ලැබුණු පිළිතුර එය විය. ඒ අනුව, තමන් වහාම තරගයෙන් ඉවත් වෙනවා යැයි බාර්ෂිම් පැවැසීය. ඒ අනුව, රන් පදක්කම ක්‍රීඩකයන් දෙදෙනා අතරේ බෙදා දෙන බව විනිසුරුවරු පැවැසූහ. පාදයේ ආබාධයෙන් සිටි තම්බෙරී, කොර ගසමින් ගොස් බාර්සිම් වැළඳගෙන සතුටින් කෑ ගැසුවේ ඔහුට ස්තුති කරමිනි. මෙවර ඔලිම්පික් උළෙලේ සිදුවුණු සුවිශේෂී මෙන්ම අමතක නොවන එක් සිදුවීමක් ලෙස මෙය ලොව කාගේත් කතාබහට හේතුවක් විය. අපේ හදවත් ස්පර්ශ කරන ක්‍රීඩාවේ ප්‍රේමය මෙයයි. ආගම්, ජාති, හමේ වර්ණය පිළිබඳව මායිම් අදාළ නොවන විස්තර කළ නොහැකි ක්‍රීඩා මහිමය මෙයයි. ක්‍රීඩාව යනු ජාතිකත්වය, ආගම සහ භාෂාව පරයන දෙයක්. මෙය සෑම කෙනකුටම හොඳ පාඩමක් යැයි ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දුන්හ.   

 

තම්බිරි සහ බාර්ෂිට්

 


පිලිපීනයට ලැබුණු පළමු පදක්කම   


ඉතිහාසයේ පළමු වරට පිලිපීනයට ඔලිම්පික් රන් පදක්කමක් හිමිකරදීමට හිඩිලියන් දියේස් සමත් වූවාය. ඒ බර ඉසිලීමේ ඉසව්වෙනුයි. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වෙමිනි, කාන්තා කිලෝ ග්‍රෑම් 55 බර පංතිය යටතේ පැවැති තරගයට සහභාගී වෙමින්, 30 හැවිරිදි හිඩිලියන් බර ඔසවාගෙන මොහොතක් සිටිද්දී, තමන් ජයග්‍රහණය කළ බව වැටහුණු හිඩිලියන් දියේස්ගේ මුහුණ හැඟීම්බර වී, දෑස් තෙත් වන අයුරු සජීවීව පිලිපීන වැසියන්ට පමණක් නොව, මුළු ලොවටම දකින්න ලැබුණි‍. 

 
එය හිඩිලියන් දියේස් ට පමණක් නොව, මුළු මහත් පිලිපීනයටම අමතක නොවන අභිමානවත් දිනයක් වූවාට සැකයක් නැත. පිලිපීන ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ හිඩිලියන් දියේස් පිලිපීනයට කීර්තියක් ගෙනදීම ආඩම්බරයක් බවය.   


ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් තමන් ආ ගමන බෙහෙවින් දුෂ්කර අභියෝගාත්මක එකක් බව පසුව පසු ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ අත්වල කරගැට ද පෙන්වමිනි. හිඩිලියන් දියේස්, දිළිදු පවුලක දියණියක වන අතර ඇයගේ මාපියන් ජීවත් වන්නේ කුලී වැඩ කරමිනි.   


‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන්, ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා හිඩිලියන් දියේස් මාස 18 ක් තිස්සේ පුහුණු වූයේ මැලේසියාවේ සිටය. 2016 රියෝ ඔලිම්පික් උළෙලට ද හිඩිලියන් සහභාගී වූවාය. එහිදී ඇයට දිනා ගැනීමට හැකිවූයේ රන් පදක්කමක් පමණි. එම අවස්ථාවේදී ද පිලිපීනයේ ඇය ජාතික වීරවරියක් බවට පත්වූවාය.   


පිලිපීනයේ මින්ඩානෝ දකුණුදිග දූපතේ සම්බොන්ගා නගරය හිඩිලියන් උපන් නගරයයි. හිඩිලියන් ට හෝ ඇගේ පවුලේ අයට ජීවත් වීමට හරිහැටි නිවසක් හෝ නොමැති බව පැවැසෙයි.   


රන් පදක්කම දිනා ගැනීමට සමත් වීමත් සමඟ පිලිපීන රජයෙන් පමණක් නොව පෞද්ගලික අංශයෙන් ද ඇයට ත්‍යාග මුදලක් ලෙස පිලිපීන පෙසෝ මිලියන 33 ක් (ඇමෙරිකන් ඩොලර් 6,55,000 ක්) ලැබීමට නියමිතය. පිලිපීන රජය වැඩිදුරටත් පවසා ඇත්තේ ඇය වෙනුවෙන් නිවසක් ද ලබා දෙන බවය. 

 

 

ලු‍සිත ජයමාන්න   
විදෙස් මාධ්‍ය ඇසුරිනි