ඔබේ කේන්ද්‍රයේ ගුරු සිටින තැන අනුව පලාඵල


ග්‍රහ මණ්ඩලයේ පිහිටි විශාලම ග්‍රහයා ලෙස ගුරු හෙවත් බ්‍රහස්පති සැලකෙයි. සුරගුරු නොහොත් දෙවියන්ගේ ගුරු ලෙසද මොහු ​ෙජ්‍යාතිෂයේ හඳුන්වනු ලබයි. නොසෙල්වී යම් දේකට ඉදිරිපත් වන සාමකාමී අදහස් දරන අයකු වන ගුරු බලවත්ව සිටීමෙන් ශුභ ඵල උදා කරයි.   


ගුරුට කටක රාශිය උච්ච වන අතර ධනු මීන රාශි 02 ස්වක්​ෙෂ්ත්‍ර වෙයි. මේෂ සිංහ වෘශ්චික රාශි 03 ට ගුරු මිත්‍රය. වෘෂභ මිථුන කන්‍යා තුලා රාශි 04 ට සතුරුය. මකර රාශියට නීච වන අතර කුම්භ රාශියට සම වෙයි. ස්ථාන වශයෙන් ගුරුට 02.05.07- 09-11 ස්ථාන ශුභ ඵල දෙන අතර 01-03 -04-06-08-10-12 ස්ථාන අශුභ ස්ථාන වෙයි.   


ඔබේ කේන්ද්‍ර සටහනේ ගුරු සිටින ස්ථානය අනුව පලාඵල මෙසේය. ගුරු ලග්නගතව සිටීනම් ඉතා ශුභයි. අන්‍ය ග්‍රහයන්ගෙන් සිදු වන අපල උපද්‍රවවලින් මිදෙයි. එහෙත් සිංහ ලග්නයට පමණක් එය බලපාන්නේ නැත. ලග්නගතව සිටින ගුරු හෝ ධනය කීර්තිය ගෞරවය ලබා දෙයි. ආයුෂ බල වැඩී.  

 
ගුරු 02 වැන්නේ සිටීමෙන් ධනය කෙසේ හෝ ලැබීමට භාග්‍ය උදා වෙයි. රූපය ලස්සන වෙයි. දරු පවුලට හිතවත්ය. උපන් තත්ත්වයට වඩා උසස් වෙයි. ශරීරය නිරෝගී වේ. තත්ත්වය ගෞරව රැක ගනී.  

 
​03 වැන්නේ ගුරු සිටීම එතරම් යහපත් නැත. ශරීර දුර්වලතාව ඇති කරයි. ස්ථාන මාරු වීම් සිදුවෙයි. ළමා වියේ ගුරු දශාවක් ලැබූ විට අධ්‍යාපන කටයුතුවලට හොඳයි. උපතේදී ගුරු 03 සිටි විට ගෝචර ගමනින් 06-08-12 ස්ථානවලදී උණ සන්නිපාත රෝග වැළඳෙයි.   


04 වැන්නා ගුරුට යහපත්ය. නිවාස ඉඩම් දේපළ ලැබීමේ භාග්‍ය ඇත. දෙමාපියන්ගේ දේපළ හිමි වේ. වාහන ලාභ ලබයි. ජීවිතයේ අවසන් කාලය සැපෙන් ගත කරයි.  ගම් ප්‍රදේශයේම වාසය සිදු වෙයි.   


ගුරුට 05 වැන්න ඉතා ශුභයි. ඉගනීම් කටයුතුවලට දක්ෂයි. පවුල් ජීවිතය සතුටින් ගෙවයි. 05 වැන්න ගුරුට අයිති නම් පණ්ඩිත වෙයි. සාහිත්‍ය කලා කටයුතු වලින් ප්‍රයෝජන ලබයි. දරුවන්ට අපලයි. 06 වැන්නේ ගුරු සිටීමෙන් ලෙඩ රෝග බෝ වෙයි. සතුන් ඇති කිරීමට කැමතියි. නෑයින්ගෙන් උදව් උපකාර ලාබයි. සතුරු කරදර උද්ගත වෙයි.   
ගුරුට 07 වැන්න ශුභයි. වාසනාවන්ත විවාහයක් කර ගනී. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලබයි. ප්‍රසිද්ධියට හා ගෞරවයට පත් වේ. පසුකාලීනව විවාහයන් කරදරයි.   


ගුරු 08 සිටීමෙන් විවාහයන් දේපළ ලබයි. වැඩිහිටියන්ගෙන් ද ඉඩම් දේපළ හිමි වේ. හදිසි මරණයට පත් වීමට ඉඩ තිබේ. පියාට එතරම් ශුභ නැත.  09 වැන්න ගුරුට ඉතා ශුභයි. ඉගනීමට දක්ෂයි. ශාස්ත්‍රීය අවබෝධය ලබයි.

වැඩිහිටියන්ට මව්පියන්ට ගරු කරයි. ප්‍රධානත්වය හිමි වේ. අන් අයගෙන් ගෞරවය ලබයි.   


10 වැන්නද ගුරුට නරක නැත. රැකියා කටයුතු සාර්ථක වෙයි. රජයේ තනතුරු ලබයි. උසස්වීම් ලැබේ. ගුරු දශාවලදී ශුභ ඵල අපේක්ෂා කළ හැකිය.   


ගුරු 11 සිටීමද ශුභයි. ආදායම් තත්ත්වය යහපත් වේ. මිත්‍රයන් වැඩිවේ. රටට සමාජයට සේවය කරයි. පවුල් ජීවිතය සතුටින් ගෙවයි දරුඵල අඩු විය හැකිය.   


12 වැන්නේ ගුරු සිටීමෙන් දුක් කරදර වැඩී. හදිසි අනතුරුවලට ලක් වේ. පිට ප්‍රදේශ වලින් දියුණුව උදා කර ගනී. නඩුහබවලට පැටලෙයි. සිර ගත වීමට පවා ඉඩ ඇත.   


ගුරු ධනු රාශී ගත වීමෙන් රණහංස යෝගය යෙදේ. දේපළ ඉඩම් ලාබයි. මීන රාශියේ ගුරු සිටින විට භූමිපල යෝගය යෙදෙයි. භූමි ලාභ ලබයි. රජයේ තනතුරු ලබයි. ආඩම්බර නැත. ගුරු කටක රාශියේ දී ජයසිදු යෝගය උදා වේ. ගුණ යහපත්කමින් යුක්තයි. රූපය ලස්සන වෙයි. ධන ලාභ ලබයි. ගුරු මහ දශාව වර්ෂ 16 කි.

 

 

 

 

 

ජ්‍යොතිෂවේදී
ආර්.ඇම්.ටී.බී. රත්නායක
මීරිගම.