කේන්ද්‍රයේ ග්‍රහයින් පිහිටා ඇති ආකාරය අනුව යමෙකුගේ ඉදිරි අනාගතය සුබද අසුබද කියා කීමට හැකි බව අපි දනිමු. දුක සැප සමබරව ගෙවෙන මේ ජීවන ගමනේ තම කේන්ද්‍රයේ ග්‍රහයින් පිහිටා ඇති ආකාරය පිළිබඳ දැනුම්වත් වී සුබපල දෙන ග්‍රහයෝග යෙදී ඇත්නම් ඒවා හඳුනාගෙන වඩාත් සුවදායී දිවිපෙවෙතකට මංපෙත් විවර කර ගැනීමට ඔබට හැකිවනු ඇත. අසුබ ග්‍රහයින් ලෙස රවි, කුජ, ශනි, රාහු, කේතු ද අවපක්ෂයේ සඳුද සුබ ග්‍රහයින් ලෙස සඳු, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයින්ද සැලකෙන බව ජ්‍යොතිෂයේ දැක්වේ. සුබ ඵල දෙන ග්‍රහ පිහිටීම් කීපයක් මතු දැක්වේ.
අධියෝගය - චන්ද්‍රයා සිටි තැනින් 6, 7, 8 යන භාවවල සුබ ග්‍රහයින් යෙදී ඇත්නම් අධියෝගය ලෙස හැඳින්වේ. මෙම යෝගය පිහිටා ඇති විට මෙලෝ වශයෙන් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන ධනය ලැබෙන අතර දීර්ඝායුෂද ලැබේ. ජීවිතය උසස් ලෙස ගත කිරීමට භාග්‍යය උදාවේ.
සුනතා යෝගය - කේන්ද්‍රයක චන්ද්‍රයා හෝ දෙවැන්නේ සුබ ග්‍රහයෙකු තැන්පත්ව ඇත්නම් ඒ සුනතා යෝගයයි. මෙම ග්‍රහයින් උච්චව, මිත්‍රව හෝ ස්වක්ෂේත්‍රව යන කුමන ආකාරයෙන් තිබුණද මහජන ගෞරවය දිනාගත් ජන නායකයකු බවට පත්වේ. තේජවන්ත හා බුද්ධිමත් වේ.
අනථා යෝගය - චන්ද්‍රයාගෙන් දොළොස් වන භාවයෙහි සුබ ග්‍රහයන් පිහිටා ඇත්නම් ඒ අනථා යෝගයයි. මෙම යෝගය පිහිටි පුද්ගලයා පිරිස් පාලනයෙහි දක්ෂයෙකු වේ. මනා පෞරුෂයක් හිමි අයකු වන අතර ස්ථිර මතයක පිහිටා කටයුතු කරන්නෙකි. වස්තු සම්පත් ආදියෙන් ද අඩුවක් නැති අතර තේජෝබල පරාක්‍රමයෙන් හෙබි අයෙකි.
ධූරා ධූර යෝගය - චන්ද්‍රයාගෙන් දෙවැන්නේ සහ දොළොස් වැන්නේ සුබ ග්‍රහයන් යෙදේ නම් ඒ ධූරා ධූර යෝගයයි. බොහෝ දෙනකුට ප්‍රියමනාප පුද්ගලයකු වේ. ඔහුගේ වචනය අන්‍යයන් විශ්වාස කරයි. සැප සම්පතින් අනූන සුඛෝපභෝගී දිවිපෙවෙතක් ගත කිරීමට භාග්‍යය උදාවේ.
උභයචාරී යෝගය - රවිගෙන් දොළොස්වැන්නේ හා දෙවැන්නේ සුබ ග්‍රහයන් පිහිටා ඇත්නම් මෙම යෝගය යෙදේ. අනුන්ට කරුණාව දක්වන අනුකම්පා සහගත හදවතක් ඇත්තෙකි. තේජවන්තය, ප්‍රීතිමත් හා විනෝද ජනක ලෙස දිවිපෙවෙත ගත කිරීමට හැකිවේ. ධන ධාන්‍යයෙන් අඩුවක් නැත. දුක්කරදරවලින් තොර වාසනාවන්ත ජීවිතයක් ගෙවීමට හැකි වන්නේය.
කර්තරී යෝගය - කර්තරී යෝගය තෙවැදෑරුම්ය. එනම් සුබ කර්තරී යෝගය අසුබ කර්තරී යෝගය හා මිශ්‍ර කර්තරී යෝගය වශයෙනි. ලග්නයේ සුබ ග්‍රහයෙකු ද දෙවැන්නේ හා දොළොස් වැන්නේ ද සුබ ග්‍රහයන් සිටී නම් සුබ කර්තරී යෝගයද ලග්නයේ අසුබ ග්‍රහයකු ද දොළොස්වැන්නේ හා දෙවැන්නේ ද අසුබ ග්‍රහයන් පිහිටීමෙන් අසුබ කර්තරී යෝගයද ඉහත භාවයන්හි සුබ හා අසුබ ග්‍රහයන් මිශ්‍රව සිටීමෙන් මිශ්‍ර කර්තරී යෝගයද උදාවේ. සුබ කර්තරී යෝගය පිහිටීමෙන් අන්‍යයන් අතර ප්‍රියමනාප විශ්වාසවන්ත අයකු වන අතර පිරිසක් අතර ජනප්‍රිය භාවයට හා ගෞරවාදරයටද ලක්වේ. දක්ෂ කථිකත්වයකටද හිමිකම් කියන අතර නායකත්වයටද සුදුසු අයෙකු වේ. අසුබ කර්තරී යෝගය පිහිටි විට පාප ක්‍රියාවන්ට හිත යොමු වේ. අන්‍යයන් අතර නින්දාවට, අපහාසයට ලක්වන අතර ඔහුගේ වචනය කිසිවෙක් පිළිනොගනී. බොහෝ විට සොරකුවීමට ඉඩ ඇත. මිශ්‍ර කර්තරී යෝගය පිහිටි විට ඉහත දෙඅකාරයේම ගති ලක්ෂණ මිශ්‍රව දක්නට ලැබේ.
ඒකාවලී යෝගය - ඔබගේ කේන්ද්‍රයේ එක රාශියක එක ග්‍රහයා බැගින් තැන්පත් වී ඇත්නම් එය ඒකාවලී යෝගයයි. විවිධ ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කර ගැනීමේ ශක්තිය ඇත. අන්‍යයන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදීමට දක්ෂ වේ. එබැවින් පිරිස් පරිපාලනයට සුදුසු වේ. සතුරු උවදුරු මැඩ ජය ලබයි.
මාලිකා යෝගය - ඒකාවලී යෝගය දොළොස් ආකාරයකට බෙදීමෙන් මාලිකා යෝගය යෙදෙයි.
ලග්න මාලිකා යෝගය - ලග්නයේ සිට සත්වැන්න දක්වා එක් භාවයක එක ග්‍රහයකු බැගින් පිහිටා ඇතිවිට මෙම යෝගය යෙදේ. පාලනයට දක්ෂ රාජ්‍ය නායකයකු වේ.
ධන මාලිකා යෝගය - දෙවැනි භාවයේ සිට පිළිවෙළින් ග්‍රහයන් තැන්පත්ව මෙම යෝගය යෙදේ. මෙම යෝගය යෙදී ඇත්නම් මහා ධනස්කන්ධයකට හිමිකම් කියන්නෙකු වේ.
වික්‍රම මාලිකා යෝගය - කේන්ද්‍රයේ තුන්වන භාවය වික්‍රමස්ථානය ලෙස හැඳින්වේ. එම භාවයේ සිට පිළිවෙළින් ග්‍රහයන් තැන්පත් වී මෙම යෝගය පිහිටයි. දෙස් විදෙස් දෙකෙහිම ධනය සහිත මහා ධනවතකු වේ.
පුත්‍ර මාලිකා යෝගය - පස්වැන්නේ සිට පිළිවෙළින් ග්‍රහයින් තැන්පත් වීමෙන් මෙම යෝගය උදාවේ. පිංවත් දරුවන් හා දරු මුණුබුරන් ලැබෙන අතර වාසනාවන්ත ජීවිතයකට හිමිකම් කියයි.
ශතෘ මාලිකා යෝගය - හයවැන්නේ සිට පිළිවෙළින් ග්‍රහයන් තැන්පත් වී මෙම යෝගය උදාවේ. දිළිඳු භාවයට පත්වන අතර වාසස්ථානය පවා අහිමි වීමට ඉඩ ඇත.
කලත්‍ර මාලිකා යෝගය - සත්වැන්නේ සිට පිළිවෙළින් ග්‍රහයන් තැන්පත් වීමෙන් මෙම යෝගය උදාවේ. ධනවතෙකු වන අතර ස්ත්‍රියක නම් පුරුෂයාටද පුරුෂයකු නම් ස්ත්‍රියටද බොහෝ ප්‍රියවන්නේය.
රන්ඩු මාලිකා යෝගය - අටවන භාවයේ සිට පිළිවෙළින් ග්‍රහයන් තැන්පත් වී මෙම යෝගය උදාවේ. දුර්වල පෞරුෂයකින් යුතු අයකු බවට පත්වේ. ඇවතුම් පැවතුම්ද පහත්ය.
භාග්‍ය මාලිකා යෝගය - නව වැන්නේ සිට පිළිවෙළින් ග්‍රහයන් තැන්පත් වීමෙන් මෙම යෝගය උදාවේ. ධර්ම ශාස්ත්‍රීය කරුණු කෙරෙහි නැඹුරුවූ අයකු වන අතර ධර්මය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇත්තකු ද වේ.
කර්ම මාලිකා යෝගය - දස වැන්නේ සිට පිළිවෙළින් ග්‍රහයන් තැන්පත්ව ඇත්නම් මෙම යෝගය යෙදේ. නීති විෂය පිළිබඳ දැනුමක් සහිත අයකු වේ. යහපත් දිවිපෙවෙතකට හිමිකම් කියයි.
ලාභ මාලිකා යෝගය - එකොළොස් වැන්නේ සිට පිළිවෙළින් ග්‍රහයන් තැන්පත්ව මෙම යෝගය උදාවේ. යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට භාග්‍ය උදාවේ. ව්‍යාපාරික කටයුතුවලින් දියුණු වේ.
ව්‍යමාලිකා යෝගය - දොළොස් වැන්නේ සිට පිළිවෙළින් ග්‍රහයන් තැන්පත්ව ඇති විට මෙම යෝගය උදාවෙයි. පහත් ඇසුරට වැටේ. පාප මිත්‍ර සේවනය නිසා තමා සතු ධනය විනාශ වී යයි. දුක්බර ජීවිතයක් ගෙවීමට සිදු වන්නේය. මේ ආකාරයට ඔබත් ඔබේ කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටා ඇත්දැයි බලන්න.
ආර්.එම්. පොඩිරාලහාමි
බමුනාඋල්ල, හේවාදිවෙල , රඹුක්කන