ආධුනික තාරකා විද්‍යාඥයන්ට සීතල ග‍්‍රහයෙක් හමුවෙලා


මෙම වසර ආරම්භයේදී ඇමෙරිකාවේ නාසා ආයතනය ලොව සැමට නව මෙවලමක් හඳුන්වා දුන්නේය. ආධුනික තාරකා විද්‍යාඥයන්ට පමණක් නොව, තරු සහ ග‍්‍රහලෝක ගැන උනන්දුවක් දක්වන සැමට, පරිගණක සහ අන්තර්ජාල භාවිතයෙන් නාසා ආයතනයේ අභ්‍යවකාශ දුරේක්ෂවලට පෙනෙන විශ්වයේ දසුන් අධ්‍යනය කිරීමට අවස්ථාව උදා කරදීම එම නව මෙවලමෙන් සිදුවෙයි.

 
මෙම ‘මෙවලම’ භාවිත කළ ටැස්මේනියා, රුසියා සහ සර්බියා ආධුනික තාරකා විද්‍යාඥයන් පිරිසකට නව ග‍්‍රහලොවක් සොයා ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, අප හිරුගේ සිට ආලෝක වර්ෂ 100 ක් දුරින් පිහිටන එම ග‍්‍රහලොව ‘සීතල නව ග‍්‍රහයකු’ බවත් නාසා ආයතනය පැහැදිලි කරයි.   


ආධුනික තාරකා විද්‍යාඥයන්ට අන්තර්ජාල ඔස්සේ භාවිත කිරීමට අවස්ථාව ඉඩ ලැබෙන්නේ නාසා ආයතනයේ අධෝරක්ත කිරණ භාවිතයෙන් නිරීක්ෂණ කටයුතු සිදු කළ හැකි දුරේක්ෂයකි. මෙම තාරකා දුරේක්ෂ නිරීක්ෂණාගාරය පිහිටා ඇත්තේ හවායි දූපත් රාජ්‍යයේය. ආලෝක වර්ෂ 100 ක් දුරින් මෙම සීතල නව ග‍්‍රහයා සොයා ගැනුණේ එම දුරේක්ෂය මඟිනි.   


විශ්වයේ නව ග‍්‍රහලෝක සොයා ගැනීමට ඇති මෙවලම ‘බැක්යාඩ් වර්ල්ඩ්ස්: ප්ලැනට් 9’ යන නමින් නම් කර ඇත. දුරේක්ෂ විසින් ලබාගැනෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් මිලියන ගණනකට ප‍්‍රවේශවීමට මෙම වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවෙයි. නාසා දුරේක්ෂ ලබා ලන්නා ඡායාරූප නාසා ආයතනයේ ‘අධෝරක්ත ඡායාරූ එකතුව’ට එක් කෙරේ. ඒවා සිතියම් ගත කිරීම නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයන් විසින් ද සිදු කරනු ලබයි. සිතියම්ගත කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ඕනෑම කෙනකුට ඊට සම්බන්ධ විය හැකිය. එසේ සම්බන්ධ වී, ග‍්‍රහලොවක් යැයි හෝ අලුත් තරුවක් යැයි හෝ සැක සිතන වස්තුවක් දකින්න ලැබුණොත් ඒ ගැන නාසා ආයතනයට දැනුම්දීම කළ යුතුය. බොහෝදෙනෙකු එකම වස්තුවක් ගැන මෙසේ දැනුම්දීම් කළහොත් නාසා විද්‍යාඥයන් ඒ ගැන උනන්දු වෙයි.

ස්වේච්ඡාවෙන් 37,000 ක පිරිසක් මේ වනවිට ‘බැක්යාඩ් වර්ල්ඩ්ස්: ප්ලැනට් 9’ වෙබ් අඩවිය හා සම්බන්ධව සිටින බව ද නාසා ආයතනය වැඩිදුරටත් කියා සිටී.   


මෙම නව ග‍්‍රහලොව සොයා ගැනීමට පෙර, මෙම නව ‘මෙවලම’ අන්තර්ජාලය හරහා ප‍්‍රවේශ කිරීමට ඉඩ දුන් අවස්ථාවේදී, නිරීක්ෂකයන්ට දුඹුරු වාමනයකු සොයා ගැනීමට හැකියාව ලැබුණු බව ද නාසා ආයතනය කියයි. දුඹුරු වාමනයන් යනු ‘නූපන් තරු’ ය. න්‍යෂ්ටික පිපිරීම් ඇතිවීමට තරම් ඒවායේ ප‍්‍රබල ශක්තියක් අන්තර්ගත වී නැත. අධෝරක්ත කිරණ ආධාරයෙන් ඒවා සොයා ගැනීමට කළ හැකිය. අප ක්ෂීරපථය පුරා මෙවැනි වාමනයන් දකින්න ලැබෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.   

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න   
ඩේලිමේල් ඇසුරිනි