හැම සැප සම්පතක් ම උපරිමයෙන් ම තිබුණා. ඒත් අපි කොච්චර සල්ලි හම්බ කරත් - සතුට තියෙන්නේ වෙන තැනක කියලා අපි තුන්දෙනාට ම එක තැනක දි වැටහුණා.
වැලිමඩ කරුණා මෙහෙණින් වහන්සේ
ප්‍ර දියණියක, මවක හා බිරිඳක ලෙස විවිධ වූ භුමිකාවන්හි නියැළෙමින් තම යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට ඇය නිරතුරුවම ප්‍රයත්න දැරුවා ය. ඒ ප්‍රයත්නයන් තුළ ඇය සියල්ල දරාසිටියේ මහ සාගරයක් ලෙසය.
දුක ලෝක ස්වභාවයකි. සතුට යනු ජීවිතේ තාවකාලික දෙයකි. ජීවිතයට නිවීමක්, සැනසීමක්, සැපතක් ලෙස සිතට ගතට රුචි බොහෝ දේවල් පසුපස හඹා යන මේ සංසාර ගමනේ දී - මේ කතාව අතිශය කලාතුරකින් අහන්න කියන්න දකින්නට ලැබෙන විරල ගනයේ කතාවකි.
අත්හැරීම පිළිබඳව ඉහළ මට්ටමේ ගුණාංග, අත්දැකීම් ඇතැම් විට මෙය කියවන ඔබටත් අනන්තවත් ඇති. ජීවිතේ සැබෑ සුන්දරත්වය හමුවන්නේ අපි කැමති දෑ අයිති කරගැනීම තුළින් කියලා අපි විශ්‍වාස කරනවා. නමුත් ජීවිතේ සැබෑ සුන්දරත්වය හමුවන්නේ අපි කැමති දෑ අත්හැර දැමීම තුළින් ය යන - සැබෑ ප්‍රායෝගික සත්‍යය හා යථාර්ථය සැබවින්ම අත් විඳින, අත් දකින සුවිශේෂී චරිතයක් “සඳැල්ල” සංවාදයකට එක් කරගන්න අපට හැකි වුණා.
ප්‍ර අද මෙහෙණින් වහන්සේව ආමන්ත්‍රණය කරන නාමය....?
මගේ පැවිදි නම වැලිමඩ කරුණා මෙහෙණින් වහන්සේ. මගේ ගිහි කාලේ නම පියසීලි. දැන් වැඩ වසන්නේ ගාල්ල තිත්තගල්ල, වව්ලුගල’මෙත් බෝ සෙවන’ භාවනා මධ්‍යස්ථානයේ. දැන් මහණ දිවියට ඇවිත් වසර තුනකට කිට්ටුයි. මේ වෙනකොට – මමයි, ගිහි කල මගේ සැමියායි හා එකම පුතායි සිය පවුලම මහණ දිවියට පිවිසිලා මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයේ තිත්තගල්ල ආනන්දසිරි ස්වාමින් වහන්සේ ගේ අනුශාකත්වය යටතේ ධර්මය තුළින් ජීවිතේ ගමන් මාර්ගය සකස් කරගෙන යනවා. ගිහි කල ප්‍රියංකර කුමාර නම් වූ පුතා ’වැලිමඩ විමල’ ස්වාමින්වහන්සේ ලෙසත්, ගිහි කල කුමාරසිංහ නම් වූ සැමියා ’වැලිමඩ චිත්තක’ ස්වාමීන් වහන්සේ ලෙසන් සසුන්ගත වෙලා ඉන්නවා.
කරුණා මෑණියන් ගේ ගිහි කල මුල් ගම වැලිමඩ - බිබිලිගමුව ය. පවුලේ සහෝදරියන් 5 දෙනෙකු සහ සහෝදරයන් දෙදෙනෙකු ගෙන් යුත් පවුලේ කරුණා මෑණියන් බාලයා විය. තරුණ කල පෞද්ගලික ආයතනයක මෙන්ම ස්වේච්ඡා ගුරුවරියක් ලෙස ද කටයුතු කළ ඇය - ගිහි කල විවාහයට පිවිසෙන්නේ 26 හැවිරිදි වියේ දී ය. කුඩා කාලේ සිටම ආගම දහමට අතිශය ළැදිව කටයුතු කළ ඇය තරුණ වියට එළඹෙත්ම තව තවත් පින් දහම් කිරීමට දැඩි නැඹුරුවක් දැක්වූවාය.
“පිං දහම් හරියට කළා. මගේ ගිහි කල සැමියා මුණගැහුණාට පස්සේත් අපි දෙන්නා හරියට පිංකම් කළා. ඒ දේවල් කළා කියලා කවදාවත් මහණ දම් පුරනවා කියලා අදහසක් තිබුණේ නැහැ. අපි විවාහ වුණේ යාළුවෙලා. ලස්සන ආදර කතාවක් තිබුණා. විවාහ වුණාට පස්සේ අපි ජීවත් වුණේ වැලිමඩ කැප්පැටිපොළ එරබද්ද ප්‍රදේශයේ. ගිහි ජීවිතේ දුකත් වින්දා.සැප සතුටත් උපරිමයෙන් ම වින්දා. පුතා කුසට ආපු දවසෙත් බැඳීම කියන දේ තවත් තදින් අල්ල ගත්තා. මව් පදවිය ලැබුවාට පස්සේ මගේ එකම සිහිනය වුණේ පුතාට සැපවත් ජීවිතයක් ලබා දෙන එක. අපි උපතින්ම සල්ලිකාර මිනිස්සු නෙමෙයි. ඒ කාලේ අපිට ලොකු ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ . පුතාට සැපවත් ජීවිතයක් දෙන්න ඕන නිසා, පුතාට අවුරුදු 3 දි - එයාව තාත්තා ට දාලා මට විදේශ ගත වෙන්න වුණා. මම සෞවුදියේ රෝහලක අවුරුදු 9 ක පමණ කාලයක් සේවය කළා. වසර 9 ක් විදේශ ගත වුණා කියලා ගෙදර ආර්ථික ප්‍රශ්න විසඳුණේ නැහැ. අපිට ඉන්න ගෙයක් වත් තිබුණේ නැහැ. පොල් අතු පැලක තමයි මගේ පුතා ඉපදුණේ . මම විදේශ ගත වෙලා අවුරුදු 4 ක් විතර යද්දි සාමාන්‍ය තත්ත්වයේ නිවසක් තනා ගත්තා. ඊට පස්සේ පුතා අධ්‍යාපන කටයුතු අවසන් කරලා කොරියන් විභාගේ ලියලා වසර 5 කට කොරියාවට ගියා. පුතා විදේශ ගත වුණාට පස්සේ අපි ආර්ථික අතින් ගොඩාක් ශක්තිමත් වුණා.”
“පුතා විදේශ ගත වෙලා ඉඳලා ඇවිල්ලා ඒ මුදල් ආයෝජනය කරලා මහා පරිමාණයෙන් රෝස මල් වගාවක් ආරම්භ කළා. රෝස මල් වගාව තමයි අපේ ජීවිතවලට ආර්ථික වාසනාව ගෙනාවේ. සෑහෙන්න කාලයක් අපේ ජීවිත ගෙවුණේ මල් එක්ක. සැප සම්පත් උපරිමයෙන් ම වින්දා. මල් නිසා අපේ ජීවිතේ ගොඩාක් වෙනස් වුණා. මුදල් ජීවිතේට ගලා ගෙන ආවා. පමණටත් වඩා ඉපයූවා. ආර්ථික අතින් කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. හැම දේම තිබුණා. යාන වාහන ගෙවල් දොරවල් හැම දේම තිබුණා. අප ටාගට් පස්සේ දිව්වා. විවාහ ජීවිතේ සතුටින් ගෙව්වා. ඒ හැම දේම ලැබිලාත් හිතේ මොකද්දෝ අඩුවක් දැනුණා. හොයන සතුට ඒ සල්ලි ඇතුළේ නැහැ කියලා එක තැනකදි හිතුණා. ඔය අතරෙ 2016 වසරේ දි අහම්බෙන් තිත්තගල්ලේ ආනන්දසිරි හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ලැබෙනවා. උන්වහන්සේ ගේ ධර්ම දේශනා දිගටම අහන කොට අපි සොයන සතුට තියෙන්නේ ධර්මය තුළයි කියලා වැටහුණා. පස්සේ පුතාටයි මටයි හිතුණා උන් වහන්සේව මුණ ගැහිලාම කතා කරන්න. පුතායි, මමයි, ගිහි කල සැමියායි අපි තුන් දෙනාම ටික කාලයක් එක දිගට බණ දේශනා ඇහුවා. කොච්චර සල්ලි හම්බ කරත් සතුට තියෙන්නේ වෙන තැනක කියලා අපි තුන් දෙනාටම දැනුණා. හැබැයි මහණ වෙනවා කියලා හිතේ ලොකුවට බලාපොරොත්තු ඇති වුණේ නැහැ.”
ප්‍ර මුලින්ම මේ ගමන එන්න තීරණය කරන්නේ කවුද ?
“මුලින්ම මහණ දිවියට යන්න අදහස එන්නේ පුතාට. පුතා මට දවසක් කිව්වා අම්මේ මම මේ මාර්ගය තෝර ගන්නවා කියලා. මට ඒ වෙලාවේ පුංචිවත් දුකක් දැනුණේ නැහැ. මම ආශීර්වාද කළා. මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණ දවස තමයි පුතා මහණ වෙන්න තීරණය කරපු දවස. හැබැයි තාත්තා ගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. මගේ එකම හීනේ මගේ පුතා නිවන් මාර්ගය අවබෝධ කරගන්නවා දකින එක”.
ප්‍ර ගිහි කළ මවක් ලෙස මෙහෙණින් වහන්සේටත් පුතණුවන් සම්බන්ධයෙන් බලාපොරොත්තු ආසාවල් ගොන්නක් තියෙන්න ඇති..... එකම පුතුට හොඳ විවාහයක් කරල දීලා දරු මුණුපුරන් මිනිබිරියන්, බලන්න වගේ පෘථග්ජන ආසාවල් තිබෙන්නට ඇති. ?
“ඇත්තටම ගිහි කළ මවක් විදිහට එවැනි හීන නොතිබුණාම නෙමෙයි. ඒත් මම නිතරම පුතාගේ අදහස්වලට මුල් තැන දුන්නා. ලෞකිකව තව තවත් බැඳිම් ඇලීම් ගොඩ ගහගන්න රුචි බවක් මට එයා ගෙන් පෙනුණෙත් නැහැ .
ප්‍ර සම්ප්‍රදායික අම්මලා වගේ නොවී අප මෙහෙණින් වහන්සේ දැරුවේ වෙනස් අදහසක් බැව් පේනවා. තමන්ගේ දරුුවා ලොකු සල්ලිකාරයෙකු කරන්න , වෛද්‍යවරයෙකු කරන්න, ඉංජිනේරුවෙකු කරන්න උත්සාහ කරන සමාජයක තමුන්ගේ එකම දරුවා ගේ අත්හැරීම ඔබ වහන්සේ ප්‍රගුණ කළේ කොහොමද?
“ඕනම අම්මා කෙනෙකුට ඇතිවන ඒ වගේ හීන බලාපොරොත්තු සාමාන්‍යයයි. නමුත් මම පුතාගේ අනාගතය මේ ලස්සන ගමනේ යනවට ගොඩාක් කැමති වුණා. තාත්තා කෙනෙකුටත් වඩා දරුවා කියන හැඟීමත් එක්ක අම්මා කෙනෙක් විදිහට එන එවැනි අදහස් මුල් කාලේ හිතට ආපු අවස්ථා ආයාසයෙන් නැති කරගනිමින් මම ධර්මය අවබෝධ කරගෙන වෙනස් විදියට සිතමින් ඉදිරියට ආවා.”
සතුටින් සෙනෙහසින් පිරි ගිහි ජීවිතේ අතහැර ඉන් නික්මෙන්නට හැකි නම්- එය සැබවින්ම සංසාරික පිනක් යැයි උන් වහන්සේ සිතන්නීය.
“පුතාගේ අත්හැරීම එක්ක මටත් මේ සැප සම්පත් හැම දේම අතාරින්න ශක්තියක් ආවා. තවත් මොකද මේ දේවල් පොදි බදින්නේ කියලා හිතුණා. අවසානයේ මමත් පුතා මහණ දිවියට ඇතුළු වන දිනයේම මහණ දිවියට අතුළත් වෙන්න තීරණය කළා. පුතායි මමයි මහණ වුණු වෙලාවේ සැමියාට මහා වේදනාවක් දැනුණු සෙයක් පෙනුණා. නමුත් වේදනාව බැඳීම ගමනට බාධාවක් නිසා මම ඒ මොහොතේ හිත දැඩි කරගත්තා. පසුව මමයි පුතායි මහණදම් පුරලා වසරකට පසුව ඔහුත් මහණ දිවියට ඇතුළත් වුණා. හැම කෙනෙකුටම සිතූ පමණින් කසාවතක් පොරවන්න බැහැ. ඒකට සසරේ කරපු යම් පුණ්‍යකර්මයක් තිබිය යුතුමයි.”
“අපි මුදල් පස්සේ හඹාගෙන ගියා. අපි ජීවිතේ සල්ලි එකතු කළා. සම්බන්ධතා ගොඩනඟා ගත්තා. මව්පියන්ට ජීවිතේ හමුවන පළමු බැඳීම තමයි දරුවන්, දෙමාපියන්ට නම් දරුවන්. පුංචිම තැනින් පටන් අරන් ජීවිතේ සැප සම්පත්වල උපරිමයටම ගිහින් ධනවත් වෙලා අවසානයේ සියල්ල අතහැර දාලා ආපු මේ ගමනේ පුදුම සතුටක් දැනුණේ. අපි මහන්සියෙන් එක්රැස් කරපු සියලු ධනය දන් දුන්නා. ගොඩාක්ම අපේ ධනය බුද්ධ සාශනයේ අභිවෘද්ධිය සඳහා පූජා කළා. වාහන පන්සලට පූජා කළා. දුප්පත් අයට ගොඩාක් උදව් කළා.”
ප්‍ර අද ගෙවන ජීවිතේ ඔබ වහන්සේ සතුටින් ද?
“හිස මුඩුකරලා සිවුර දරාපු දවසේ මම ලොකු හුස්මක් ගත්තා. ඒක පුදුමාකාර සැහැල්ලු හුස්මක්. පුදුමාකාර නිදහසකින් අද දිවිය ගෙවනවා.”
නදීශා අතුකෝරළ
ජයමාල් චන්ද්‍රසිරි