ආදරේ ලැබෙනවට කවුද අකමැති දේවි සුරේන්ද්‍ර


දේව් සුරේන්ද්‍ර එහෙම නැත්තම් ගොඩක් ප්‍රේක්ෂකයෝ අඳුරන දෙවෙනි ඉනිමේ ධනුක කියන්නේ තාරුණ්‍යයේ හදවත් බොහෝමයක් සොරාගත් කඩවසම් රංගන ශිල්පියෙක්. ඔහු මේ දවස්වල ටෙලි නාට්‍යයට අමතරව වේදිකාව එක්කත් කාර්‍යබහුල වෙලා කියලා දැනගන්න ලැබුණා. ඉතින් අපි හිතුවා මෙවර සඳැල්ල කතාබහට ඔහුව එකතු කරගන්න.

ප්‍ර මේ දවස්වල අලුත් විස්තර මොනවද?

මේ දවස්වල මම අලුත් වේදිකා නාට්‍යයක රඟපානවා. ඇත්තටම මේ තමයි මම රඟපාන පළවෙනි වේදිකා නාට්‍යය. රෝමය ගිනි ගනී 2, ඊමේල් කුමාරයා කියලා. මේක අලුත් අත්දැකීමක් මගේ රංගන ජීවිතයට ලැබුණු. මේ වෙද්දි ෂෝ කිහිපයක් සාර්ථකව කරලා ඉවරයි. ඊට අමතරව ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම් කරලා තියෙනවා. හැබැයි තවම විකාශය වුණේ නැහැ. 

ප්‍ර ටෙලි නාට්‍යය සහ වේදිකාව කියන්නේ ලොකු වෙනසක්. කොහොමද ඒ අභියෝගයට  මුහුණ දෙන්නේ?

ඔව්, ඇත්තටම ලොකු අභියෝගයක්. හැබැයි ඒවගේම තමයි වේදිකාවෙන් ලැබෙන්නෙත් මාර අත්දැකීමක්. හරියට නිකන් පාසලකට ගියා වගේ දැනෙන්නේ.  රඟපාන විදිහ වුණත් ටෙලි නාට්‍යවලට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ වුණත් වේදිකාව කියන්නේ  ඇත්තටම මට ලැබුණු ලොකු අවස්ථාවක්. ඒ වගේම මට හොඳ චරිතයකුත් ලැබිල තියෙනවා. මගේ වටේ හොඳ පිරිසකුත් ඉන්නවා. ඉතින් මම හරි ආසාවෙන් වේදිකාවේ රඟපානවා. 

ප්‍ර හදිස්සියෙම ඇයි ටෙලි නාට්‍යවල ඉඳලා වේදිකාව පැත්තට යන්න හිතුවේ?

ඇත්තටම විශේෂ හේතුවක් නැහැ. කලින් ඉඳන්ම මට ආසාව තිබ්බා. හැබැයි මට මගේ වැඩත් එක්ක කාලය වෙන් කරගන්න  අමාරු වුණා. මොකද වේදිකාව කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් පෙර පුහුණුවීම් කරලා කැප වෙන්න ඕනේ. ආවට ගියාට කරන්න බැහැ. ඉතින්  දැන් මම ඒ වෙනුවෙන් කාලය වෙන් කරගෙන තියෙනවා. ඒ නිසා දැන් මම ඒ වෙනුවෙන්  මහන්සි වෙලා වැඩ කරනවා.  

ප්‍ර මොන වගේ ප්‍රතිචාර ද ලැබෙන්නේ?

ගොඩක් අය කියන දෙයක් තමයි, මම ටෙලිනාට්‍යවල හිටියට එයාලා හිතලා නැහැ ඇත්තටම මම වේදිකාවේ රඟපායි කියලා. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාරත් එක්ක මමත් මට පුළුවන් උපරිමෙන් හොඳට වැඩ  කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.  

ලැබෙන ප්‍රතිචාර එක්ක ගැහැනු ළමයින්ගෙත් වැඩි ආකර්ෂණයක් ලැබෙනවා ඇති.

ඔව්, ගොඩක් අයගෙන් ආදරේ ලැබෙනවා. ඒ ගැන හරිම සතුටුයි. ඒක ඇත්තටම එක අතකට ආශීර්වාදයක් කියලා මම හිතන්නේ. කවුද ඉතින් අකැමැති  හැමෝම ආදරේ කරද්දි.  

ප්‍ර ඒ අතර ප්‍රේම ආරාධනාත් ලැබෙනවද? 

ඔව්, ඒ වගේ දෙක තුනකුත් ලැබුණා. හැබැයි ළඟදි නම් එහෙම යෝජනාවක් ආවේ නැහැ. 

ප්‍ර දේව් කොහොමද ආදරේ දකින්නේ?

මට ආදරේ කියන්නේ හරිම ලස්සන, ඒ වගේම හරිම සුන්දර හැඟීමක්. ඒක ලැබුණොත් හොඳයි, නොලැබුණොත් මාර දුකයි කියලා මම හිතන්නේ.

ප්‍ර ආදරේදී ගැහැනු ළමයා ගැන මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ? බලන සුදුසුකම් එහෙම තියෙනවද?

සුදුසුකමක් කියන්නේ ඉතින් එහෙම ලොකු දේවල් නැහැ. මුලින්ම දැක්කම ලස්සන වෙන්න ඕනෙ. ඒ වගේම පොඩ්ඩක් ඉගෙන ගත්ත කෙනෙක් වුණොත් හොඳයි. බලමු ඉතිං කවුරුහරි හම්බුනොත්. 

ප්‍ර ක්ෂේත්‍රයට ආපු විදිහත් මතක් කළොත්?

මේක මම ගොඩක් අයට කියලා තියෙනවා. මගේ ගෙවල් නුවර. මම ගියේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට. මගේ යාළුවො කොළඹ ඇවිල්ලා හිටියා රස්සා කරන්න. ඒත් එක්කම යාළුවො සෙට් එකම ක්‍රිකට් ගහපු චාමර කපුගෙදරගෙ ගෙදර ඇවිල්ල හිටියා. එහේ ඉන්න කාලේ රොෂේන් ඩයස්ගේ මොඩ්ලින් ක්ලාස් ගියා. මොඩ්ලින් ක්ලාස් ගිහිල්ලා ස්ක්‍රීන් ටෙස්ට් ගිහිල්ලා එතැනින් මට කොමර්ෂල් එකක් කරන්න ලැබුණා. ඊට පස්සේ මට ක්ෂේත්‍රය ගැන ආසා හිතෙනවා. ඒ අනුව මම මහේන්ද්‍ර පෙරේරා ගුරුතුමා ළඟට ඉගෙන ගන්න යනවා. එහෙම තමයි අවස්ථාව ලැබෙන්නේ. මම නිරූපණයෙන් තමයි ක්ෂේත්‍රයට එන්නෙ. හැබැයි මේ වෙන කොට නම් නිරූපණය කරන්නේ නැහැ. මොකද ඒකට ගොඩක් කැපකිරීම් කරන්න ඕනේ. හැබැයි photoshoot වලට එහෙම නම් සහභාගී වෙනවා. 

ප්‍ර රංගන ජීවිතයෙ හැරවුම් ලක්ෂ්‍ය වුණේ කොතනද?

ඒක මම හිතන්නේ ලංකාවම දන්නවා. දෙවෙනි ඉනිම නාට්‍යයේ ධනුක කියන චරිතය තුළින් තමයි මාව ගොඩක් අය අඳුරගන්නේ. මගේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ ඒ චරිතය. ඒක ගොඩක් අය බලපු ටෙලි නාට්‍යයක්. මොකද මම කලිනුත් සජීවී වැඩසටහනක් කළා අවුරුදු පහක් විතර. ඒ කාලෙත් මට පොඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා. හැබැයි ධනුක නිසා ලංකාවේ කොහේ ගියත් හැමෝම වගේ මාව අඳුරගන්න පටන් ගත්තා. 

ප්‍ර අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවද?

ඔව්, මේ වන කොටත් නිර්මාණ දෙකක රූගත කිරීම් කළා. හැබැයි තාම විකාශය වුණේ නැහැ. එකක් නම් බොහෝ විට මේ මාසේ අන්තිම හරි ඊළඟ මාසෙ මුල වගේ හරි විකාශය වෙයි. ඊට  අමතරව දෙරණ නාළිකාවෙ විකාශය වන සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ අරෝෂ කියන චරිතයට රංගනයෙන් දායක වෙනවා. 

ප්‍ර රිදී තිරය ගැනත් කිව්වොත්?

මම මගේ පළවෙනි චිත්‍රපටිය කළා "කම්බිලි" කියලා ගිය අවුරුද්දේ. ඒකත් වෙනමම අත්දැකීමක්. මොකද ලොකු තිරයේ අපිව දකිද්දි දැනෙන හැඟීම ඇත්තටම මාරයි. ඒක මට කියන්න වචන නැහැ.

ප්‍ර ටෙලි නාට්‍යය, වේදිකාව සහ සිනමාව කියන තුනෙන් දේව් වැඩිපුරම කැමති?

මම තුනටම කැමතියි. මොකද තුනේම රඟපෑමක් තියෙන්නේ. ලේසි නැහැ. රංගනය කියන්නේ මගේ වෘත්තිය. ඉතින් මම ඒ තුනටම එක  සමානව  කැමතියි.

ප්‍ර මොන වගේ ඉදිරි බලාපොරොත්තුවක් ද තියෙන්නේ?

ලැබෙන චරිත හොඳට කරගෙන හැමෝමත් එක්කම සතුටින් ඉන්න එක තමයි මගේ බලාපොරොත්තුව. 

ප්‍ර පවුලෙ අයවත් මතක් කරමු.

මට ඉන්නවා අයියලා දෙන්නයි නංගියි. අම්මයි තාත්තයි. දෙවෙනි අයියයි නංගියි නම් දැන් ඉන්නෙ රට. ලොකු අයියා තමා ගෙදර ඉන්නේ අම්මයි තාත්තත් එක්ක. ලොකු අයියට ඉන්නවා ලස්සන පොඩි බබාලා දෙන්නෙක්. ඒ දෙන්නට මම ගොඩක් ආදරෙයි. ඒ වගේම ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබෙනවා මගේ වැඩ ටික කරගෙන යන්න. ඇත්තටම එයාලා මම කරන වැඩ දැකලා සතුටු වෙනවා. ඒක මට ලොකු ශක්තියක්.

කෞශල්‍යා ලක්ෂානි