‘‘පොසොන් උදාවයි මිහින්තලාවයි
මිහිඳු හිමිගෙ නාමෙයි
දහම් දිව නම් දැරු ලංකාවයි.’’
‘‘පොසොන් සඳේ රැස් සුනිල් දියන් ගෙන
නේරංජනා නදියයි
ගලන්නේ නේරංජනා නදියයි’’
බක් මාසේ වෙසක් මාසේ වගේම පොසොන් මාසය පුරාම ගම් දනව් පුරා විහිදී පැතිරෙන්නේ එම අරුත්බර හැඟුම්බර සුමියුරු නාදයයි.
හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස ප්‍රචලිත වූ ‘‘පද්ම ශ්‍රී’’ ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ සත්සර දායාදය නව ලොවට රැගෙන යාමට සෑදි පැහැදී ඉන්න ආදරණීය සංගීත පවුලේ දියණියක වන සුභානි මෙවර සැඳැල්ලට පිවිසුණා.
එතුමාගේ ආදරණීය බිරිඳ විමලා අද අප අතර නැතත් දෙටු දියණිය ප්‍රියංවදා, කනිටු දියණිය සුභානි සොහොයුරු රංජන මෙන්ම සුභානිගේ දයාබර සැමියා වන අජිත් නානායක්කාර අතීතය අවදිකිරීමට අපට සහය වුණා.
සුභාතිගෙ ජිවිතේට සංගීතය ආවෙ කොහොමද ?
මං බහ තෝරන කාලෙදිම අහන්න ලැබුණෙ තාත්තා එයාම නිපදවපු වයලීනයෙ තත් පිරිමදින මිහිරි නාදයයි.
තාත්තගෙ උපන්ගම මොරටුව, කොරළවැල්ල-මහගෙදර පුරාම ගොඩගහල තිබුණේ ඒ කාලෙ හිටිය සංගීත ශිල්පීන්ගෙ බිඳුණු වයලිනයි. ඒවා පිළිසකර කරන හැටි දැකලා ඇහිලා මට වගේම තාත්තටත් සංගීතය ගැන ආසා හිතෙන්නට ඇති.
අම්මත් ලස්සනට ගායනා කළ ශිල්පිනියක්. අක්කත්, මල්ලිත් මාත් එකතු වුණාම ගෙදරම සංගීත මණ්ඩපයක් වුණා.
තාත්තා කොහොමද සංගීතය හැදෑරුවෙ?
එදා ගමේ ඉස්කෝලෙ සංගීතය උගන්නපු ඩබ්ලිව්.ජේ. ප්‍රනාන්දු ගුරුතුමා තමයි එයාගෙ කුසලතා දැකලා අත හිත දීලා තියෙන්නෙ. තාත්තා වෘත්තිය මට්ටමට එනතුරු එතුමාගේ ආශීර්වාදය බලපාන්න ඇති.
ඒ කාලෙ ජනප්‍රිය සිංහල චිත්‍රපටයක් වුණු ‘‘අසෝක මාලා’’ හි සංගීතය අධ්‍යක්ෂණය කළ ‘‘මොහොමඩ් ගවුස්’’ ඇසුරින් තමා තාත්තාගෙ සංගීත නිර්මාණ රීතිය බිහි වුණේ.
ඒ වගේම තාත්තගෙ සමකාලීනයන් වුණු චිත්‍රසේන, ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ප්‍රේම කුමාර එපිටවෙල වගේ කලා ලෝකේ දැවැන්තයන්ගේ ආභාසයත් ලැබුණ. ඒ විතරක් නොවෙයි තාත්තා කියූ විදියට දේශීය සංගීත රීති හදාරන්නට කලා ගුරු පණීභාරත, නර්තනවේදී අල්ගම කිරි ගණිත, රංගම ගුණාමාලා, නිත්තවෙල උක්කුවා, ගල්පොත්තේවෙල සුරඹා වැනි පාරම්පරිකව එන ආචාර්යවරුන්ගේ ඇසුර බලපෑවා.
ඊළඟට එතුමාට ඉන්දියාවේ ලක්නව් හි භාත්කණ්ඩ සරසවියෙදි ලෝක ප්‍රසිද්ධ වයලීන වාදක පණ්ඩිත් විෂ්ණු ගෝවින්ද ගුරු දේවයන්ගේ අනුග්‍රහය ලැබුණා. පණ්ඩිත් රත්න ජන්කර් වැනි උසස් පෙළේ ගාන්ධර්වයන් වෙතින් හින්දුස්ථාන්, රාගධාරී සංගීත ගායන පුහුණුව ලැබුවා.
මේ දැනුම නිසා ඉන්දිය රජයෙන් ‘‘පද්ම ශ්‍රී’’ ගෞරව නාමය ලැබුවා. එය ලැබූ මෙරටෙහි ප්‍රථම හා අද්විතීය කලාකරුවා තාත්තා විතරයි.
තාත්තාට අම්මා මුණ ගැහුණෙත් සංගීතය නිසාද?
ඔවුනෙ. ඒ දෙන්නගෙ ආදර කතාව හරිම ලස්සනයි. ඒක දෛවෝපගත සිද්ධියක් කියලා මට හිතෙනවා.
ඒ කිව්වෙ?
අම්මාගෙ මුල් නම විමලා ගුණරත්න. එයා සෞන්දර්ය විශ්වවිද්‍යාල සිසුවියක්. එදා රජයේ ලලිත කලායතනය ලෙසයි එය හැඳින්නුවෙ. අම්මා සරසවිය තුළ ජනප්‍රිය වුණේ ජනකවි ගායනයට. ගිරා මලිත්තෝ නම් ජනකවිය ලස්සනට ගැයීම නිසා එයාට අවධානය යොමු වුණාලු.
මගේ තාත්තා සෞන්දර්ය ශිෂ්‍යත්වය ලබල ඉන්දියාවට යන දා උලෙළෙදී එතුමාට මල් දමක් පලඳලා නර්තනයක් ඉදිරිපත් කරන්නට නියම වුණේ ඇයටලු. එම ගාන්ධර්ව විවාහය සිදුවුණේ 1963 අගෝස්තු 27 වෙනිදා.
දෛවෝපගතයි කියන්නෙ දෙන්නම ඉපදිලා තියෙන්නෙත් දෙසැම්බර් 05 දාකයි.
අම්මා දක්ෂ කලාකාරියක් නෙ.
නර්තනය විතරක් නොවෙයි ගායනයටත් දක්ෂයිනෙ. ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ජන ගී ගායිකාවක්. සිකුරු තරුව, චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය කරමින් එහි නාරිලතා සිංදුව ගයමින් රඟපෑවේ අම්මයි තාත්තා එක්ක ගුවන් විදුලියට ගැයූ ‘‘දැතේ කරගැට සිඹ සනහන්නට’’ යන ජන ගායනය ඉතා ජනප්‍රිය වුණා.
ප්‍රියංවදා අක්කාත්ටත් ඒ අභාසය පිහිටන්න ඇති.
ඇත්තෙන්ම මුලින්ම දෙමාපියන්ගේ කුසලතා දැකගන්න වාසනාව ලැබුණෙ එයාට. අක්කත් දක්ෂ නර්තවේදිනියක්. ඒ වගේම තාත්තා වගේම දක්ෂ සිතාර් වාදිකාවක්. එයා ගොඩක් දක්ෂ කතක් නර්තනයටයි. සිතාර් වාදනටයි. විශාරද පළමු පන්තියේ සමාර්ථයක් ලැබුවා. අද ප්‍රංශ භාෂාව පිළිබඳ කථිකාචාර්ය වරියක්.
පරපුරේ ඉදිරි ගමන වෙනුවෙන් මල්ලිටත් ලොකු වගකීමක් තියනව නේද?
අනේ ඔව්. ඒ වගකීම මල්ලි හොඳින් තේරුම් අරන් වැඩ කරනවා. තබ්ලා වාදනයට හා ගායනයටත් දක්ෂයි.
රංජන මල්ලි කල්කටාවෙ දක්ෂ ගුරුදේවයන් කෙනෙකු වන පණ්ඩිත් ශ්‍යාමල් බෝස් ගෙන් තබ්ලාව හැදෑරූවා. අපේ ප්‍රවීණ සංගීතවේදී ඩී.ආර්. පීරිස් ගුරුතුමාගෙන් තමා මේ විෂයට අත්පොත් තැබුවෙ. ඒ වගේම එස්.ඩබ්ලිව්. රන්දුව ගුරුතුමා යටතේ ලැබූ දැනුම තුළින් විශාරද උසස් පෙළ සමාර්ථයක් ලැබුවා.
තාත්තගෙ විදෙස් සංචාරවලදි මල්ලි තමයි ප්‍රධාන සහායකයා වුණේ. දුර ගමනක් යන්නට මල්ලිට ලැබෙන බව නිසැකයි.
අමරදේවයන් වැනි දැවැන්තයෙක් පියා වීම ගැන අදහස?
එතුමා මා වෙත දෙවියන් දුන් දායාදයක් ලෙස සලකනවා. ඒ ආශීර්වාදය තමා මාව මෙතෙක් දුර අරන් ආවේ. තාත්තා මගේ කටහඬ ගැන බොහොම පැහැදීමෙන් කතා කළා. පාසල් සමයේත් මට එම අනුග්‍රහය ලැබුණා.
පියාණන් සමග මා ප්‍රථම යුග ගීය ගයද්දී වයස අවුරුදු 13යි. පස්සෙ අපි එක්වෙලා සංයුක්ත හඬපට රැසකට ගැයුව. විදෙස් සංචාරවලදිත් තාත්තා සමකාලීන ගාන්ධර්වයන් සමග කටයුතු කරන හැටි පුංචි කාලෙදි බලන් ඉඳලා මා ලොකු ආස්වාදයක් ලැබුවා.
සංගීතය කෙරෙහි ඔයාගේ කැපවීම කොහොමද ?
1995 දී තාත්‍තගෙ ආශීර්වාදය මත හින්දුස්ථාන් හි ශාස්ත්‍රීය ගායනය හදාරන්න නවදිල්ලි නුවර ‘‘ශ්‍රී රාම්’’ භාරතීය කලා කේන්ද්‍රයට ඇතුළත් වුණා වසර 10කට. වසර 6ක්ම ඉගෙන ගත්තේ සංගීතය.
ගුවන් විදුලියෙ ඒ ශ්‍රේණියෙ ගායන ශිල්පිනියක වීමට වරම් ලැබුණා. ඉන්පසු තාත්තාත් මමත් විදෙස් සංචාරවලට එක් වුණා. තාත්තාට ඇරයුම් ලැබෙන සෑම ඇසිදිසි මාධ්‍ය හමු සඳහා මාත් කැටුව ගියා.
එම පියං ඔස්සේ තමයි මං දියුණුව ලැබුවේ. තාත්තා එකම සම්ප්‍රදායකට කොටු වී සිටි කෙනෙක් නොවෙයි. පෙර අපර දෙදිග සංගීත සංයෝජනය තුලින් අපේම සංගීත රටාවක් බිහි කළා. එම පියගුණයට හා සංගීත රටාවට මං ආසයි. එහි උරුමය දැන් අපටයි. එය ඒකකාරී රිද්ම රටාවකට වඩා විවිධත්වයක් (uniqne) ඇති විශ්වීය සංගීත රටාවක්. ඒ අතින් තාත්තාගෙ සංගීත ඥනය විශ්වකෝෂයක් වගෙයි.
ඔබ කාන්තාවක් නිසා තනිවම ඉදිරියට යා හැකිද?
ඒ සඳහා තවත් වරමක් දෙවියන් මට දී තිබෙනවා. ඒ තමයි මගේ සැමියා අජිත්. එයා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. ඒ වගේම චරිතාංග රංගශිල්පියෙක්. මගේ ජනප්‍රසාදයේ සාර්ථකත්වය ඔහු තුළ ඇති කලාව කෙරේ ඇප කැපවීමේ ගුණාංගයයි.
අපට තවම දෙවියන් දරු සම්පත ලබාදී නැහැ. අපේ අනාගතයත් සංගීතයම තමයි.
අද සමාජයේ පවතින සංගීත රටා ගැන අදහස?
මේ කාලේ සංගීතය තුළ මෙන්ම රසිකයා තුළත් විශාල පිබිදීමක් ඇතිවෙලා. සාම්ප්‍රදායික වගේම ඒකාකාරී රටාවලින් මිදී විවිධ සම්ප්‍රදායන් අධ්‍යාපනය කිරීමට තරුණ අය පෙලඹිලා..
අපේ ගීත මුල් යුගයේ පෝෂණය වුණේ ඉන්දියානු සංගීතයෙන් බව රහසක් නොවෙයි. ඒවා තවමත් ජීවමානයි. ඒ තුළින් අප නවමං සොයා යා යුතුයි. නව මාධ්‍ය රටා අප ගවේෂණය කළ යුතුයි. ඉදිරියේදී යූ. ටියුබ් නාළිකාවක් හදන්න මාත් කටයුතු කරනවා.
මොනවද ඉදිරි බලාපොරොත්තු?
තාත්තා නිතරම කිව්වෙ ‘‘අලුත් අලුත් දෑ නිපදවීම තුළින් දියුණුව සැලසෙන බවයි.’’ ඒ නිසා අනුකරණය, අනුගමනය හා සම්ප්‍රදාය තුළම හිරවී නොසිට නව නිමැවුම් බිහිකළ යුතුයි.
මගේ ස්වතන්ත්‍ර නිර්මාණ අතර ජනගත වූ කිහිපයක් තමා ‘‘මෙඝ යටින්’’ “සඳ කුමරුවනේ’’ “රන්දා කිතු ගොස්” ‘‘ලොවින් සමාවක්’’ “නිවුණු අමයුරු” ආදී ගීත .
මා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරනවා. ඒ නිසා කළමනාකරණය ඉතා අසීරුයි. නමුත් මේ වසර නිමාවෙද්දී මගේම නිර්මාණ කිහිපයක් සඳහා තනු නිර්මාණය කර ජනගත කිරීමට උත්සාහ දරනවා.
ඒ කියන්නෙ ඒක පුද්ගල ප්‍රසංගයක්ද?
ඔබ හරි ඊට අමතරව කරන ‘‘ප්‍රසාද ප්‍රසංගය’’ සඳහා මගේ සමකාලීන ගායන ශිල්පිනියන් වන අනුරාධා නන්දසිරි හා මංජුලා රත්නායක සමග ඇපකැප වෙනවා. මෙම ප්‍රසංගය සම්බන්ධීකරණයට දායක වන ලෙස අමරදේවයන්ගේ රසික ජනතාවට ඇරයුම් කරනවා.
මේ මස එනම් ජුනි 14 වෙනිදා ‘‘අමරණීය සැන්දෑව’’ නම් අපේ ප්‍රසංගය යළිත් නෙළුම් පොකුණ රඟහලේදී ජනගත කිරීමට කටයුතු කරනවා.
අලුත් සංගීත පරපුර ගැන ඔබේ අදහස
අති දක්ෂ තරුණ පරම්පරාවක් බිහිවෙමින් පවතිනවා නමුත් හැඩ අනුකරණයටත් අනුන්ගේ සිංදුවල අනන්‍යතාව ප්‍රකාශ නොකර තමන්ගේ කරගෙන මුදල් ඉපයීම අරමුණ කරගත් පිරිසකුත් ඉන්නවා. අනුන්ගේ ගී හදාරලා තරගවලදී ගැයුවට වරදක් නෑ. නමුත් පැරණි ශිල්පීන්ට නිසි ගෞරවයක් දිය යුතුයි.
තම හදවතට එකඟව රසික ආදරය දිනාගැනීමට නම් ස්වතන්ත්‍ර නිර්මාණ බිහි කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ දරුවන් නියෝජනය කරන ‘‘දෙවැනි පරපුර’’ නම් සංවිධානයකුත් අපි පිහිටෙව්වා. ඒ තුළින් නවතම මුහුණුවරකින් රසිකයන් වෙත වින්දනීය ආශ්වාදයක් දෙන්නට පුළුවන් වේවි.
එම කුසලය තාත්තා වැනි ප්‍රබුද්ධ සංගීතවේදීන් විශ්වයේ කොතැනක හෝ හිඳ අනුමෝදන් වෙනවා ඇති.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි