අදටත් පත්තුවෙන රාජසිංහ රජුගේ කාලතුවක්කුව


හංවැල්ලේ රාජසිංහ සටන්බිම

 

මැදගොඩ දේවාලය

 

 

ලාංකීය වංශකතාව තුළ පෘතුගීසින්ට එළව එළවා පහර දුන්නෙකුහැටියට සීතාවක රාජසිංහ රජු ප්‍රසිද්ධය. රජවීමට මත්තෙන් ටිකිරි කුමරු හැටියට සීතාවක හමුදාව මෙහෙයවමින් කළ මුල්ලේරියා සටනින් පෘතුගීසින්ට අන්ත පරාජයක් හිමි විය. මුල්ලේරියා වෙලේ එක දිගට පැය දහසයක් මේ සටන පැවැති බව සඳහන් වේ. එයින් පෘතුගීසි භටයන් එක්දහස් හයසීයක් මැරුම් කෑ බවත්, එය පෘතුගීසින් පෙරදිගදී ලද දරුණුම පරාජයක් බවත් ඉතිහාසගතය.   


සීතාවක සිට කෝට්ටේ රාජධානියට ගොස් පෘතුගීසින්ට පහර දෙන්නට තරම් හයියක් ටිකිරි කුමරුට විය. මේ ඉතිහාසය වෙනම කථා කළ යුත්තකි. අප කතා කරන්නේ එකී ඉතිහාසය තුළ යටවී ගිය මතු නොවුණු කතාවකි. 


“සීතාවක රාජසිංහ රජු මිය ගියාට පස්සේ එතුමා දේවත්වයෙන් අදහන්න මේ සීතාවක, කෝට්ටේ අවට මිනිස්සු පුරුදු වුණා. එතුමාගෙන් තමන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් ලැබෙන බව මේ ගම්මු විශ්වාස කරනවා. අදටත් ගනේගොඩ දෙවි හාමුදුරුවෝ කියල අපි හඳුන්වන්නේ මේ මියගිය සීතාවක රාජසිංහ රජුගේ දේව ආත්මය යි.” යනුවෙන් අපට කීවේ ඓතිහාසික මැදගොඩ සිද්ධ ගනේගොඩදොළහ පත්තිනි දේවාලයේ පාරම්පරික කපු මහතකු වන සම්පත් අප්පෝ (සිසිර රණසිංහ) මහතාය. ගනේගොඩ දෙවියන් ලෙස දේවත්වයට පත් වූ සීතාවක රාජසිංහ රජුගේ දේව ආත්මය ගැන ද රසබර කතා සීතාවක ප්‍රදේශයේ ඇත. 


අප මැදගොඩ පත්තිනි දේවාලය සොයා පැමිණියේ වෙනත් කතාවක් සොයාගෙනය. සීතාවක රාජසිංහ රජුට අයත් කාලතුවක්කුවක් මැදගොඩ දේවාල‌ය සතුව ඇත. මේ කාලතුවක්කුව අදටත් මහා සද්දෙට පත්තුවේ. පැරණි රාජකීය උරුමයෙන් පූජා කෙරුණු මේ කාලතුවක්කුව මැදගොඩ දේවාලයේ පෙරහර සමයේ දී චාරිත්‍රානුකූලව එළියට ගැනෙයි. මැදගොඩ දේවාලයේ පෙරහර ආරම්භ කරනුයේ මේ තුවක්කුවේ වෙඩි හඬ මධ්‍යයේ ය. පෙරහර සමයට මෙහි එන ඕනෑම කෙනෙකුට මේ සීතාවක රාජසිංහ රජුගේ පත්තුවෙන කාලතුවක්කුව දැක බලා ගත හැකිය. ඉතිහාසය අනුව ගත්කල සීතාවක රාජසිංහ සමය ලෙස පිළිගන්නේ (ක්‍රි.ව. 1581-1593) කාල සමයයි. මේ තුවක්කුව ද ඒ තරම් පැරණි ඉතිහාසයකට උරුමැතිය. 


රාජකීය සටන් ශූරයෙකු වූ සීතාවක රාජසිංහ රජුගේ යුද ශක්තියේ පැතිකඩක් මේ කාලතුවක්කුව නිරූපණය කරයි. එවැනි උසස් තාක්ෂණයක් භාවිත කොට පෘතුගීසින්ට පහර දෙන්නට තරම් ශක්තියක් එකල සිංහල හමුදාව සතු විය. එකී යුගය හා සසඳන කළ කඩු, මුගුරු, හෙළි වලින්ම සටන් කලා නොව පෘතුගීසින්ට මුහුණ දිය හැකි යුද මෙවලම් සීතාවක රාජසිංහ රජු සතු වූ බවට මැදගොඩ දේවාලයේ ඇති ජීවමාන සාක්ෂිය ම වැදගත් වේ. ඇතැම් විද්වතුන් පවසන පරිදි මෙම කාල තුවක්කුව මුල්ලේරියා සටනටද යොදා ගත්බව පැවසේ. 


මේ රාජකීය කොටන තුවක්කුව රාජසිංහ රජු මැදගොඩ දේවාලය ට පරිත්‍යාග කළේ ඇයි? එයත් විශේෂ කරුණකි. මැදගොඩ දේවාලය ආරම්භය සටහන් වන්නේ සීතාවක රාජසිංහ රාජ සමයෙනි. දැනට දේවාලයේ ප්‍රධාන කපු මහතුන් ලෙස ගාමිණී රණසිංහ මහතාත්, සිසිර කුමාර රණසිංහ මහතාත් කටයුතු කරයි. 

 

සීතාවක රාජසිංහ රජු පුජා කළ කාල තුවක්කුව

 


සීතාවක රාජසිංහ රජු හා මුසු වන දේවාලයේ කතාව සහ මේ කාලතුවක්කුව ඇතුළු රජු කළ පූජාවන් ගැන සිසිර කුමාර මහතා අපට කීවේ මෙවැන්නකි. 


“මේ දේවාලය ළඟ ඉඳන් බැලු‍‍වම කැලණි ගඟට ලොකු දුරක් නැහැ. අර පේන ගස් ටිකෙන් පල්ලෙහා තියෙන්නේ ගඟ. සීතාවක රාජසිංහ රජතුමා එයාගේ ගමන් බිමන් වලට කැලණි ගඟ බොහෝ දුරටභාවිත කළ කෙනෙක්. රජතුමා යුද්දෙකට යද්දිත් ගඟ දිගේ තමයි, අඟු‍‍ල්වල ඇමැතීන් ඇතුළු රාජකීය පිරිස් සමග ගිහින් තියෙන්නේ. කතාවේ හැටියට සීතාවක රාජසිංහ රජතුමා ගඟ දිගේ ඉහළට රුවන්වැල්ල පැත්තට යද්දී මේ මැදගොඩ ඇල්ල කියන තැනදි අඟු‍‍ල නතර වෙලා තියෙනවා. අඟු‍‍ල ඉස්සරහට යන්නත් බැරි ආපහු යන්නත් බැරි විදිහට අඟු‍‍ල හිර වෙලා. ඉතින් මැති ඇමැතීන්තුමන්ගේ අඟු‍‍ල්වලින් බැහැලා මොකද උනේ කියලා හොයා බලා තියෙනවා.” සම්පත් අප්පො කතාව කියයි... 


ඔරුව නතර වීමට තරම් විශේෂයෙන් පේන හේතුවක්ද නැත. රජුගේ ඔරුව ඉදිරියට යන්නේද නැත. වෙනත් කළ හැක්කක් ද නැත. අවට වටපිටාවම ඉඹුල් නා ආදී රූක්ෂ ගස් වලින් පිරී ගිය මහ කැලයකි. ඉන් පසු මැති ඇමැතීන් කැලෑවේ ඇවිදිමින් පාරක් පිළිබඳ සෝදිසි කර තිබේ. මෙසේ සෝදිසි කරමින් කැලේ මීටර කීපයක් එද්දී විශාල රූක්ෂ ගසක් ඉදිරිපිට පහනක් දැල්වෙනු දැක තිබේ. මෙතැන පහනක් දැල්වෙනවා. මේ අවට කවුරුන් හෝ ඇති.. අවට බලන විට සුදු වුණු රැවුල බඩ දක්වා වැවුණු සුදු හිසකේ ගුලියක් මෙන් ගැටගැසූ සීයා කෙනෙක් දැක තිබේ. මේ සීයාට පැමිණි පිරිස තමන්ට වූ අකරතැබ්බය කියා හුන්හ. 


“දරුවෝ මේක පත්තිනි මෑණියන්ගේ බැල්ම තියෙන ඉසව්වක්. රාජසිංහ රජතුමාට මෙතැනට එන්න කියන්න. තමන් යන යුද්ධය ජයග්‍රහණය කරලා ඇවිත් මෙතැන පත්තිනි මෑණියන්ට පූජාවක් පවත්වනවා කියලා භාරයක් වෙලා පහනක් පත්තු කරන්න කියන්න’’ කියලා. සීයා ගේ කීම අනුව රාජපුරුෂයෝ මේ බැව් අඟු‍‍ලේ සිටි රාජසිංහ රජුට දන්වා උන්හ. රජු කැලේ අතරින් ඇමැතීන් සමග මහා රූක්ෂ පිරුණු පහන දැල්වෙන තැනට පැමිණ ඇත. ඉන්පසු රජතුමා මෙහි පහනක් දල්වා වයෝවෘද්ධ සීයා ලවා භාරයක් වී තිබේ. 
“මම මේ යන යුද්ධය ජයගෙන නැවත ගමට එන්නට ලැබේවා. එසේ ආපසු මේ ස්ථානයේ පත්තිනි මෑණියන්ට පුද පූජා පැවැත්වීමට මෙහි දේවාලයක් ඉදිකර ගම්වරයක් ද පුදමි’ යි භාරයවිය. රජතුමා නැවත ගොස් අඟු‍‍ලට නැගි විට අඟුල කිසිත් නොවූ ගානට ඉදිරියට ගමන් කර තිබේ. රාජසිංහ රජු යුද්ධය දිනා පැමිණ තමන් පොරොන්දු වූ භාරය එපරිදිම ඉෂ්ට කර තිබේ. 


රජතුමා පත්තිනි දෙවියන් උදෙසා පූජා පැවැත්වීමට ගඟ අසල ගල් කණු මත නා ලෑලි අතුරා දේවාලයක් ඉදි කොට දේවාලයේ කටයුතු වලට ගම්වරද පූජා කර තිබේ. කපුමහතුන්ට වෙනම ගම්වරද, රෙදිපිළි සෝදන අයට වෙනම ගම්වරද, හේවිසි තේවා සඳහා වෙනම ගම්වරද, පාවාඩ උඩුවියන් අල්ලන අයට වෙනම ගම් වරද වශයෙන් පූජා කර තිබේ. 
පසුකාලීනව බෝගල පතලේ කටයුතු කළ මහතෙකු මැදිහත්වී දේවාලය විශාල කොට ඉදි කරවා ඇත. අදත් මැදගොඩ පත්තිනි දේවාලයට ගිය විට විශාල නා රුක්ෂ කැලය අතරේ වසර සිය දහස් ගණනක් පැරණි යැයි කිව හැකි යෝධ ඉඹුල් ගසක් දැක ගත හැකිය. මේ යෝධ ඉඹුල් ගසේ මුල මිනිසුන් අටක් දහයකට බැදිය නොහැකි තරම් විශාලය. මේ දේවාලය සහිත භූමියේ ඉපැරණි බවට මේ ද හොඳ සාක්ෂියකි. දේවාලය ඉදි වූ පසු නවගමුවේ සිට ඇළි කිඹුලකු පිට මේ ස්ථානයට රනින් වූ දේවාභරණ වැඩම කර ඇති බවද සිසිර රණසිංහ කපු මහතා අපට කීය. 

 


සීතාවක රාජසිංහ රජතුමා තමන් සතුව තිබුණු කාලතුවක්කුවක් තමයි දේවාලයේ පෙරහර මංගල්‍ය ආදී කටයුතු වලට පූජා කරලා තියෙන්නේ. එදා පටන් මේ කාලතුවක්කුව අද දක්වාත් ඉතා හොඳින් මහත් වූ ශබ්දයෙන් යුතුව ආරක්ෂා වී තිබෙනවා. අදටත් මේ තුවක්කුවෙන් නානුමුර මංගල්‍යයට වෙඩි දෙකක් තියෙනවා. රන්දෝලි පෙරහර මංගල්‍යය ආරම්භයට වෙඩිල්ලක් තියෙනවා. 


තුවක්කුවට වෙඩි බේත් දාලා කොටලා තුවක්කුවේ පුංචි කනක් (සිදුරක්) තියෙනවා. එතැනට ගින්දර ළං කලාම විශාල හඬක් නගමින් මේ තුවක්කුව පත්තු වෙනවා. මේක ලීයෙන් හදපු එකක්. පේන විදිහට නාලීයෙන් කළ එකක් වෙන්න ඕනේ. සීතාවක රාජසිංහ රජු පූජා කළ ඓතිහාසික වටිනාකමක් තියෙන තුවක්කුවක් නිසාත්, කාලයත් සමග නාලීය වුණත් ශබ්දය එක්ක දෙදරීමට ලක් වන නිසාත්, යකඩ පට්ටමක් පමණක් සුළුවට යොදලා ආරක්ෂා කරගෙන යනවා.” සිසිර කපු මහතා අපට කීය. 


මැදගොඩ පත්තිනි දේවාලය ඉදිකළ සීතාවක රජු මිය ගිය පසුව ගනේගොඩ දෙවියන් යැයි ප්‍රසිද්ධ වූ බැවින් සිද්ධ ගනේගොඩ දොළහපත්තිනි දේවාලය ලෙස අද මෙම දේවාලය හඳුන්වනු ලබයි. පුරාතනයේ සිට අනුහස් පිරුණු මැදගොඩ දේවාලය ඓතිහාසික යටගිය උරුමය තවමත් කියාපායි. මෙහි යන අයට අවිස්සාවේල්ල නගරයට ගොස් තල්දූව හරහා අමිතිරිගල පාරේ ගොසින් මැදගොඩ දේවාලයට යා හැකිය. 


විශේෂ ස්තූතිය - වෛද්‍යාචාර්ය පරාක්‍රම සේනානායක මහතාට 

 

 

සටහන/ ඡායාරූප
අසංක ආටිගල