අක්බාර් උත්තර භාරතය පුරා තම අණසක පතුරුවයි


ඉන්දියාව අත්පත් කරගත් මූගල් මෙහෙයුම 5  

 

අක්බර්ගේ පාලනයෙන් වැඩි කාලයක් ගතවූයේ යුද කටයුතු සඳහාය. ප‍්‍රථමයෙන් තම අභ්‍යන්තර සතුරන් මැඩපැවැත් වූ ඔහු පසුව අසල රාජ්‍ය අත්පත් කර ගැනීමට පියවර ගත්තේය. ඔහු කෞටිල්‍යගේ අර්ථශාස්ත‍්‍රයේ දැක්වෙන පරිදි රජකු නිරතුරුව තම රාජ්‍යය පුළුල් කළ යුතුය යන ප‍්‍රතිපත්තියේ පිහිටා යමින් දිග්විජයේ නිරත විය. ක්‍රි.ව. 1564 වන විට ඇෆ්ඝනිස්තානය, පංජාබය, උත්තර ප‍්‍රදේශය, බිහාරය, මාල්වා රාජ්‍යය, ලොඩ්වානය සහ කුඩා රාජ්පුත් රාජ්‍ය කිහිපයක් යටත් කර ගැනීමට ඔහුට හැකි විය. තවදුරටත් යටත් කර ගැනීමට ඉතිරිව තිබුණේ ගුජරාටය, රාජස්ථානය, බෙංගාලය හා කාශ්මීරය පමණි. ඔහු පළමුවෙන් රාජස්ථානය දෙසට යොමු විය. 

රාජ්පුත්හි ශක්තිය රඳා පැවතියේ ඔවුන්ගේ රණශූරත්වය නිසා පමණක්ම නොව එය පිහිටා තිබූ ආකාරයද ඊට බලපෑවේය. ඔවුන්ගේ සියලු බළකොටු කඳු මුදුන්හි පිහිටා තිබූ අතර ඒවා පහසුවෙන් බිඳහෙළිය නොහැකි විය. රාජ්පුත්වරුන්ගේ වැදගත්ම බළකොටුව වූයේ මේවාරයේ පිහිටි චිතෝර් බළකොටුවය. දරුණු සටනකින් පසු චිතෝර් බළකොටුව අත්පත් කර ගැනීමට අක්බාර් සමත් විය. ක්‍රි.ව. 1570 වන විට රාජස්ථානයේ වැදගත් බළකොටු සියල්ල අක්බාර් අත්පත් කරගෙන තිබිණි. 


අක්බාර් අත්පත් කරගන්නා ලද වැදගත්ම ප‍්‍රදේශය වූයේ ගුජරාටයයි. ස්වාධීන ඉස්ලාම් රාජ්‍යයක් ලෙස පැවැති ගුජරාටය ධනවත් රාජ්‍යයක් විය. එම රාජ්‍යය හා පෘතුගීසීන් අතර දියුණු වෙළෙඳාමක් පැවැතියේය. එහෙයින් ගුජරාටය අත්පත් කර ගැනීම අක්බාර්ගේ ඊළඟ සිහිනය විය. ක්‍රි.ව. 1569දී කලංජරය යටත්කරගත් අක්බාර් ගුජරාටය අත්පත් කර ගැනීමට සූදානම් විය. වරක් හුමායුන් ගුජරාටය අත්පත් කර ගෙන සිටියද පසු කාලයේ එය ඔහුගෙන් ගිලිහී ගියේය. එවක ගුජරාටයේ අවුල් වියවුල් බහුලව පැවතිණි. නාමික සුල්තාන්වරයකු වූ තුන් වැනි මුසාෆර් ෂා ට ප‍්‍රාන්ත අධිපතීන් මැඩපැවැත්විය නොහැකි විය. ඔහුගේ පාලනය නොරිස්සූ එම අධිපතීන්ගෙන් එක් අයෙක් ගුජරාටය ආක‍්‍රමණය කරන ලෙස අක්බාර්ගෙන් ඉල්ලා සිටියේය. ක්‍රි.ව. 1572දී අක්බාර් අහමදබාද් නගරයට ඇතුළු විය. එවිට තුන් වැනි මුසාෆර් ෂා ඔහුට යටත් විය. අක්බර් ඔහුට හොඳින් සැලකීය. ඉන්පසු ඔහු සුරාත් වෙත ගමන් කළේය. ක්‍රි.ව. 1573 පෙරවාරියේ සුරාත් නගරය වැටලූ අවස්ථාවේ දරුණු සටනක් ඇතිවිය. අවසානයේ සුරාත් නගරය අක්බාර්ට නතු විය. 


ගුජරාටය අත්පත් කරගත් අක්බාර් ඉන්පසු බෙංගාලය දෙසට යොමු විය. එවක බෙංගාලයේ පාලකයා වූයේ සූර් පාලනයෙන් පසු පාලනය අත්පත් කරගත් සුලෙයිමාන් කරරානිගේ පුත‍්‍රයා වූ දාවුද්ය. ක්‍රි.ව. 1574දී දාවුද්ට එරෙහිව සටන් කිරීමට අක්බාර් තීන්දු කළේය. ඔහු ඒ සඳහා යුද්ධයක් සඳහා සුදුසු නොවන කාලයක් වූ වැසි සමය තෝරා ගත්තේය. ගංගා නදිය ඔස්සේ යටිගං බලා ගිය අක්බාර්ගේ සේනා පැට්නාවෙන් හා හජීපූරයෙන් දාවුද් පන්නා දැමීය. දාවුද් ඔරිස්සාවට පසුබැස්සේය. ක්‍රි.ව. 1575දී අක්බාර් හා දාවුද් අතර තුකාරෝයිහිදී සටන් ඇවිළිණි. අක්බාර්ට යටත් වූ දාවුද් ඔරිස්සාවට පසුබැස්සේය. මාස කිහිපයකට පසු දාවුද් යළි අක්බාර් සමඟ යුද වැදුණේය. ක්‍රි.ව. 1576දී රාජ්මහල් සටනේදී ඔහු අක්බාර්ගේ හමුදාව වෙතින් පරාජය වී මරණයට පත් විය. බෙංගාලය මූගල් පාලනයට නතු විය. එහෙත් ඇතැම් ප‍්‍රදේශ බලවත් ප‍්‍රාන්ත පාලකයන් යටතේ ස්වාධීන රාජ්‍ය ලෙස පැවැතිණි. ඩෙකා, වික‍්‍රම්පූර්, ජෙසොර් එවැනි ස්වාධීන පාලනයක් ලෙස පැවැති ප‍්‍රාන්ත අතුරින් ප‍්‍රධානය. 


ඇෆ්ඝනිස්තානයේ උස්බෙග්වරුන්ගේ බලය වර්ධනය වීම මූගල් පාලනයට තර්ජනයක් විය. එවක මූගල් රාජ්‍යයේ සිටි බලවත්ම අභ්‍යන්තරික සතුරන් වූයේ අක්බර්ගේ රාජ්‍ය සේවයේ නිරතව සිටි උස්බෙග්වරුන්ය. උස්බෙග් විශාල පිරිසක් යුද සේවයට එක්ව සිටියහ. අක්බර්ගේ රණශූර සෙන්පතියන්ගෙන් වැඩි පිරිසක් උස්බෙග්වරුන් වූහ. අක්බාර්ගේ ඥාතීන් වූ මීර්සාවරුද අක්බාර්ට හිසරදයක් බවට පත්ව සිටියහ. එසමයේ කාබුල්හි පාලකයා වූයේ අක්බාර්ගේ සහෝදරයා වූ හකීම් මීර්සාය. ඔහු අවස්ථා ගණනකදීම අක්බාර්ට එරෙහිව කුමන්ත‍්‍රණ කළේය. අක්බාර් අවස්ථා ගණනකදීම ඔහුට සමාව දුන් අතර කාබුල් ප‍්‍රදේශය අත්පත් කර ගැනීමට උනන්දු නොවීය. ක්‍රි.ව. 1585දී හකිම් මරණයට පත් වූ හෙයින් අක්බාර් එහි පාලනය මාන් සිං වෙත පැවරීය. 


ඇෆ්ඝනිස්තානයේ කන්දහාරය වෙළෙඳාමට හා යුද්ධෝපාය අතින් ඉතා වැදගත් ප‍්‍රදේශයක් විය. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එම ප‍්‍රදේශය රැකගැනීම අත්‍යවශ්‍ය වූයේය. සෑම වසරකම භාණ්ඩ පටවාගත් ඔටුවන් 14,000ක් පමණ කන්දහාරය ඔස්සේ ඉන්දියාවේ සිට පර්සියාවට ගමන් කළෝය. බටහිර සිට ඉන්දියාව වෙත වැටී තිබූ මාර්ගයද කන්දහාරය ඔස්සේ වැටී තිබිණි. එහෙයින් සෑම අතින්ම කන්දහාරය සුවිශේෂී ස්ථානයක් විය. 
කාබුල් නගරය දිල්ලි අධිරාජ්‍යයේ කොටසක්ව පැවැති සමයේ ඉන්දියානු හා පර්සියානු පාලකයෝ කන්දහාරය අත්පත් කර ගැනීමට මහත් සටනක් කළෝය. එවක කන්දහාරය පැවැතියේ පර්සියානු අධිරාජ්‍යයේ කොටසක් ලෙසිනි. පර්සියාවේ ෂා රජු විවිධ අර්බුද රැසකට මුහුණ දී සිටි හෙයින් කන්දහාරය ආක‍්‍රමණය කිරීමට අක්බාර්ට පහසු විය. ක්‍රි.ව. 1595දී එය අක්බාර් යටතට පත් වන විට ඔහු කාශ්මීරයත්, සින්ද් ප‍්‍රදේශයත් බාලූචිස්තානයත් මූගල් රාජ්‍යයට ඈඳාගෙන තිබිණි. 


අක්බාර් පාලන සමයේ රාජ්‍ය ආදායම උපයා ගැනීම සඳහා අස්වැන්නෙක් කොටසක් රජයට ලබා දීම, ගොවි බද්ද හා තක්සේරු ක‍්‍රමය යනුවෙන් ක‍්‍රම තුනක් භාවිත විය. ඔහු තම පාලනයට නතුව තිබූ ප‍්‍රදේශ පළාත් පහළොවකට බෙදා තිබිණි. මෙම පළාත්වලට නසීම් යන නිල නාමයෙන් හැඳින්වුණු ප‍්‍රධානියෙක් විය. දිවාන්, බක්ෂි, කාසි සහ සාදර් නමින් ඔහු යටතේ නිලධාරීන් පිරිසක් වූහ. නඩුහබ ඇතිවීම රජුට එතරම් ප්‍රිය නොවීය. හින්දු නඩුහබ හින්දු ආගමික නීතිය යටතේද, ඉස්ලාමීය නඩුහබ එම නීතිය යටතේද විසඳනු ලැබීය. 


සුන්නි නිකායික ඉස්ලාම් භක්තිකයකු වූ අක්බාර් පසු කාලයේ නිදහස් ඉස්ලාම් භක්තිකයකු විය. සෑම ආගමකටම සම තැන් දුන් ඔහුගේ මන්දිරයේ ඉස්ලාම්, හින්දු, පාර්සි, ජෛන, ක්‍රිස්තියානි වැනි විවිධ ආගම්වලට අයත් නියෝජිතයෝ නිතර සාකච්ඡාවල නිරත වූහ. අක්බාර් ඉන්දියාවේ දේශපාලනික එක්සත්භාවය හා සංස්කෘතිකමය වෙනස්කම් රැසක් කිරීමට මූලික විය. ඔහුගේ ප‍්‍රතිපත්ති ජාතික ප‍්‍රතිපත්තියක් වූ අතර එය තුර්කි-මූගල් සම්ප‍්‍රදායට වඩා ඉන්දියානු ලක්ෂණවලින් සපිරි ප‍්‍රතිපත්තියක් විය. ඔහු සැමට ආගමික නිදහස ලබා දුණි. හින්දු ජනයා වෙත පනවා තිබූ අණපනත් ඉවත් කළ ඔහු විවිධ බදු අවලංගු කළේය. ඔහුගේ රාජ්‍ය පාලනය සිවිල් හා හමුදාමය යන පාලන ක‍්‍රම ද්වයේම මිශ‍්‍රණයක් විය. බාබුර්ගෙන් ඇරඹි මූගල් පාලනය අක්බාර් සමස්ත ඉන්දියාව පුරා ව්‍යාප්ත කළේය. අවි බලයෙන් ගොඩ නැඟූ මූගල් පාලනය ක‍්‍රමයෙන් ජන සම්මත පාලනයක් ලෙස තහවුරු විය. ඉස්ලාම් භක්තිකයන්ගේ පරම සතුරන් වූ රාජ්පුත් වංශිකයන් ද රාජ්‍ය පාලනයට එක්කර ගනිමින් ඔවුන් හා සමගියෙන් කටයුතු කිරීමට අක්බාර් ක්‍රියා කළේය. හින්දූන් මුස්ලිම් පාලනයට සිය කැමැත්තෙන් සහය දැක්වීමට ඉදිරිපත් වූයේ එම සමගිය නිසාය. 


අක්බාර් ස්ත්‍රී ලෝලියකු විය. ඔහුට විශාල අන්තඃපුරයක් තිබූ අතර ඔහු ප‍්‍රථමයෙන් විවාහ වූයේ තම ඥාති සොහොයුරියක සමඟය. බයිරම් කාන්ගේ වැන්දඹු බිරියද, ජායිපුර් පාලකයා වූ බිහාර් මල්ගේ දියණියකද, ෂික් අබ්දුල් වසීර්ගේ බිරිය හා ඛාන්දේශ් පාලක දෙවැනි බහාදූර් ෂාගේ දියණියද, බිකනර් හා ජයිසල්මේර් රාජ්පුත්වරුන්ගේ දියණියන් දෙදෙනාද ඔහු අඹුකමට ගත්තේය. 


අක්බාර්ගේ රාජ්‍ය පාලනයේ 40 වැනි වසර එළැඹෙද්දී සමස්ත උත්තර භාරතය පුරා මූගල් අණසක පතුරුවන්නට ඔහුට හැකි විය. එකල ඉන්දියාවේ මුහුදුබඩ ප‍්‍රදේශයන්හි පෘතුගීසීන් විසින් බළකොටු ඉදිකර තිබිණි. අක්බාර් හා පෘතුගීසීන් අතර වෙළෙඳ ගනුදෙනු මෙන්ම ගැටුම්ද ඇති විය. ඔහු පෘතුගීසීන්ගෙන් අවි ආයුධ ලබා ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය. පෘතුගීසීන්හට ශක්තිමත් නාවික බලයක් පැවැති හෙයින් ඔවුහු අක්බාර් එතරම් නොතැකූහ. අක්බර් ඇතුළු ඩෙකාන් රාජ්‍ය කිහිපයක් පෘතුගීසීන් පලවා හැරීමට උත්සාහ කළද එය අසාර්ථක විය. 


අක්බාර්ගේ ජීවිතයේ අවසන් සමය කටුක කාල පරිච්ෙඡ්දයක් ලෙස සැලකිය හැකිය. වැඩිමහලු පුත‍්‍රයා වූ සලීම් රාජ්‍ය පාලනයට ලෝභීව තම පියාගේ මරණය අපේක්ෂාවෙන් පසුවිය. වරක් ඔහු අක්බාර් අගනගරයෙන් බැහැරව සිටි අවස්ථාවක රාජ්‍යය පැහැර ගැනීමට උත්සාහ කළේය. එය අසාර්ථක වූ කල්හි ඔහු අලහබාදය අත්පත් කරගෙන ස්වාධීන පාලකයකු වීමට උත්සුක විය. පුත‍්‍ර ස්නේහය නිසා ඔහුට අවවාද කිරීමට ගිය අක්බාර් සමඟ සලීම් සටනට එළැඹිණි. එවිට අක්බාර් ඔහු ඔරිස්සාවේ හා බෙංගාලයේ පාලකයා ලෙස පත් කළේය. පසුව පිය පුතු දෙපළ සමාදානයට පත් වූහ. 


ක්‍රි.ව. 1605 ඔක්තෝබර් 17 දා අක්බාර් මිය ගියේය. මිය යෑමට කෙටි කලකට පෙර ඔහු තම වැඩිමහලු පුත් සලිම්හට රාජ්‍යය බාර කළේය. ඔහුගේ අනෙක් පුත‍්‍රයන් දෙදෙනා වූ දානියෙල් සහ මුරාද් අකාලයේ මිය ගොස් සිටි හෙයින් ඉතිරිව සිටියේ සලීම් පමණි. එම වසරේ ඔක්තෝබරයේ සලීම් නුරුදීන් මහමුද් ජහාන්ගීර් පදීෂා ඝාසි නමින් මූගල් අධිරාජ්‍යයේ පාලකයා ලෙස අභිෂේක ලැබීය. 

 

 


මතු සම්බන්ධයි 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා