1956 අප්‍රේල් මාසයේ පැවැති මහ මැතිවරණ දිනවල සහ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය පැවැති දිනය අතර ග්‍රහපිහිටීම්වල පුදුම සමානකම් දක්නට ලැබෙන අතර බලයට පත් රජයන් දෙකටම මුහුණ පෑ සිදුවීම්ද බොහෝදුරට සමානය.
1956 අප්‍රේල් මාසයේදී ගුරු ග්‍රහයා කටක රාශියේ උච්චව බුධට අඩක් අස්ලිස නැකතේ 4 වන පාදයේ පසුවිණ. සෙනසුරු ග්‍රහයා ශ්‍රී ලංකා කේන්දරයේ පවතින රජය නියෝජනය කරන 10 වැන්නාවූ වෘශ්චික රාශියේ සතුරුව ශනි සෙනසුරුටම අයත් අනුර නැකතේ 2 වන පාදයේය. 2015 ජනවාරි මස 08 දිනද, ගුරු ග්‍රහයා තම උච්ච රාශිය වූ බුධට අයත් අස්ලිස නැකතේ 4 වන පාදයේය. සෙනසුරු ග්‍රහයාද වෘශ්චික රාශියේ ඔහුටම අයත් අනුර නැකතේ 2 වන පාදයේය.
ශ්‍රී ලංකා කේන්දරයේ 10 වැන්න නියෝජනය වන වෘශ්චික රාශියේ සෙනසුරු සතුරු රාශිගත වූ විට පවතින රජයට මුහුණපෑමට නොහැකි බරපතළ ප්‍රශ්න මතු වේ. එබැවින් නියමිත දිනයට කලින් මැතිවරණයකට යාමට සිත් දේ. 1956 බලයේ සිටි එජාප රජයට 1953 පැවති හර්තාල් ව්‍යාපාරය අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාම, නායකත්වයේ තිබූ දුර්වලතා නිසා නියමිත කාලයට ප්‍රථම මහ මැතිවරණය පැවැත්විණ.
2015 ජනවාරි 08 දින ජනාධිපතිවරණයට හේතු නානා ආකාරයට විග්‍රහ කරනු ලබයි. මගේ මතය නම් සෙනසුරු ග්‍රහයා 10 වැන්නට පැමිණි පසු පවතින රජයට හිස එසවීමට නොහැකි තරම් ප්‍රශ්න මතුවන බවට ජ්‍යොතීර්වේදීන් පෙන්වා දී තිබිය හැකි බවයි. ඊට සාක්ෂි අපට ඇස් පනාපිට දක්නට ලැබිණ. 2015 ජනවාරි 08 මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන යහපාලන රජය වෙනත් කිසිම රජයකට මුහුණදීමට නොලැබුණු ප්‍රශ්නවලට මැදි වී ඇත.
1956 දී නායකත්වය ගත්තේ කලින් එජාප රජය යටතේ ඇමැතිකම් දැරූ එයින් ඉවත්ව ශ්‍රීලනිප පිහිටුවා ගත් ප්‍රභූ පංතියට අයත් වුවත්, ජාතික ඇඳුම අඳින පොදු ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රීලනිපයේ ලේකම් තනතුර දරමින් සිටි එමෙන්ම ජාතික ඇඳුම අඳින පොදු ජනතාවගේ සිතුම් පැතුම් හඳුනන ගොවි පුතෙකි.
1956 දී මහමැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රීලනිප අත ලකුණින් නොවේ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහ බලවේගය සමග වමේ නායකයින් වූ පිලිප් ගුණවර්ධන, විලියම්ද සිල්වා වැනි අයද, දක්ෂිණාංශික දේශපාලනඥයින්ද එකතුව මහජන එක්සත් පෙරමුණ නමිනි. 2015 ජනවාරි 08 ජයග්‍රහණයට උර දුන්නේ සෝභිත හිමියන් ඇතුළු වන සඟරුවනද විවිධ සංවිධාන පක්ෂ රාශියක පොදු අපේක්ෂකයෙකු වශයෙනි.
1956 දී ශ්‍රී ලංකා ප්‍රධාන දේශපාලන පක්ෂයකට විරුද්ධ පක්ෂයේ නායකත්වය හෝ නොලැබිණ. 2015 ජනවාරි මස ජනාධිපතිවරණයට පසුව අගෝස්තු මස මහ මැතිවරණයෙන්ද ප්‍රධාන දේශපාලන පක්ෂයකට විරුද්ධ පක්ෂයේ නායකත්වය හෝ නොලැබිණ. තවත් සමානකම් බොහෝ ඇත.
බණ්ඩාරනායක මැතිතුමාගේ රජය විවිධ ප්‍රතිපත්ති දරන පක්ෂ කීපයක සංවිධානයක් හේතුවෙන් මැති ඇමැති අතර මතභේද උග්‍රව පැවැතිණ. විශේෂයෙන් වමේ නායකයන් වූ පිලිප් ගුණවර්ධන මහතා ඇතුළු කීපදෙනෙකු ඇමැති මණ්ඩලයෙන් ඉවත් කිරීමට තරම් බලවත් විරෝධතා මතුවූ බව අපට මතකය. වර්තමාන රජයද එවැනි පක්ෂ කීපයක සංවිධානයකි. විශේෂයෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති දරන එජාප සහ ශ්‍රීලනිප මැති ඇමැතිවරු අතර ආරම්භයේ සිට ගැටුම් දුර දිග ගියේය. අවසානයේ මැති, නියෝජ්‍ය ඇමැතිවරු ඇතුළු කීපදෙනෙක් රජයට පිටුපා විරුද්ධ පක්ෂයට එක්වූහ.
බණ්ඩාරනායක මැතිතුමාගේ රජය බස් ජනසතුව අඳ ගොවීන් වෙනුවෙන් කුඹුරු පනත වැනි ඉතිහාසගත ප්‍රගතිශීලී පනත් සම්මත කර ක්‍රියාත්මක කරන ලද්දේය. බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමක් නිසාද, සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා ජාතිවාදී ගැටුම් ඇති විය.
වර්තමාන රජයද විශේෂයෙන් ගොවි ජනතාව වෙනුවෙන් වැව් දහසක් සංවර්ධන ව්‍යාපාර, රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000/- න් වැඩි කරන ලදී. මාධ්‍ය නිදහස, 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති බලතල සීමා කර කොමිෂන් සභා පත්කිරීම, ජාත්‍යන්තරය ජයගැනීම, ජනාධිපතිතුමාගේ විශේෂ මැදිහත්වීම මත වකුගඩු රෝගීන් වෙනුවෙන් රෝහල් ඉදිකිරීම, රෝහල්වල එම ප්‍රතිකාර වෙනුවෙන් අවශ්‍ය ඖෂධ උපකරණ ලබාදීම, පිරිසිදු ජලය ගම් පන්සියයකට ව්‍යාප්ත කිරීම ආදිය සමග මහවැලියට නොදෙවෙනි මොරගහකන්ද වැනි මහ ජලාශ ආරම්භ කර ඇත.
බණ්ඩාරනායක රජයට මෙන්ම වර්තමාන රජයට වැඩ වර්ජන, විරෝධතා, සත්‍යග්‍රහ ආදියට දිනපතා මුහුණ පෑමට සිදුවිණ. ඊට හේතුව ගුරු ග්‍රහයාද සතුරු රාශිගතවීමයි. බණ්ඩාරනායක රජයට වඩා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයට බලවත් විරෝධතා, ස්වභාවික විපත්, හදිසි අනතුරු, වංචා දූෂණ චෝදනාවන්ට හේතුව රාහු ග්‍රහයා සතුරු රාශිගතව සිටීම විය හැකිය.
1956 සැප්තැම්බර් මාසය වන විට ගුරු ග්‍රහයා මිත්‍ර රාශියක වෘශ්චිකයේ වන අතර සෙනසුරු ග්‍රහයා ධනු රාශියේය. 2015 ඔක්. 11 දා වන විට ඊට සමාන අන්දමට ගුරු වෘශ්චික රාශිගත වන අතර, සෙනසුරු ධනු රාශියේය. සත්‍ය අසත්‍යතාවය පරික්ෂණ අවසන් වන තුරු කිව නොහැකි වුවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලස්මක් ගැන රටම ගිනිගෙන ඇත.
එදා බණ්ඩාරනායක මහතා ඝාතනය වූයේ එතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමතීමට යාමට සූදානම්ව සිටි අවස්ථාවකය. මෙදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමතීමට යාමට පෙර ඝාතන සැලසුම් ප්‍රචාරය විණ. පෙර පිනකින් බණ්ඩාරනායක මැතිතුමාට මෙන් ජනාධිපතිතුමාට විපතක් සිදු නොවිණ.
බණ්ඩාරනායක ඝාතනය පිළිබඳ එවකට සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නම තවමත් කියැවේ. වර්තමානයේ ඊට සම්බන්ධ ප්‍රධානියා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු අගමැති වූයේ විජයානන්ද දහනායක මහතාය. ඔහු එක රැයෙන් ඇමැතිවරුන් ගෙදර යැවීය. රට පාලනය කිරීමට අපොහොසත්වූ එතුමා නියමිත කාලයට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. මෙම ඔක්තෝබර් මස 11 වැනි දින ගුරු වෘශ්චික රාශියට ගමන් කළ පසු 1960 මුල් භාගයේදී පැවැති ග්‍රහ තත්ත්වයට බොහෝ දුරට සමාන වේ. එවැනි පෙරළි සිදුවේද? ගුරු වෘශ්චික රාශිගතවීම නම් පෙරළි රැසකට හේතු වන බව කිව හැකිය.
2019 මාර්තු මස 07 දින පෙ.ව. 10.07 ට මෙතෙක් සතුරු රාශි දෙකක ආපස්සට ගමන් කළ රාහු ග්‍රහයා මිථුන රාශියේ මීන රාශියට යයි. එබැවින් 2019 මාර්තු 07 ට පෙර දේශපාලන ලෝකයේ පෙරළි රැසක් සිදුවෙනු ඇත.
ජ්‍යොතීර්වේදී
හංවැල්ලේ ඇස්. සිරිවර්ධන
113 සී. ජයන්ති පාර, දොම්පේ.