’’යටිතල පහසුකම් නැතිව පළාත් පාලන ආයතන පිහිටුවීම ගැටලුවක්’’


(රංජිත් රාජපක්ෂ)          
            
යටිතල පහසුකම් සම්පූර්ණ නොකර අලුතින් පළාත් පාලන ආයතන පිහිටුවීම හේතුවෙන් තම සේවාවන් නිසි ලෙද ඉටු කරගත නොහැකි වී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධි නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය.
 
හැටන් දික්ඔය නගර සභාව , කොටගල ප්‍රාදේශිය සභාව, මස්කෙලිය සහ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවල පවතින අඩුපාඩුකම් පිළිබදව සොයාබැලීම සදහා අද(11)  හැටන් ලක්ෂ්මි මහල් ශාලාවේ එම නගර සභාවේ සහ ප්‍රාදේශීය සභා වල සභාපතිවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අතරතුරදී ඒ මහතා මේ බව කීය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියාසිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන රාජ්‍යය ප්‍රතිපත්තියට අනුකූලව පළාත් පාලන ආයතනවල අඩුපාඩුකම් සපුරාලීමට තමන් කටයුතු කරන බවයි.
 
මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනක පිහිටි පළාත් පාලන ආයතන ප්‍රධානින් සමග ඉදිරියේදි සාකච්ඡා කරන බවත්, හැටන් ප්‍රදේශයෙන් අද(11) දින එම වැඩසටහන ආරම්භ කළ බවත් හෙතෙම පැවසීය.
 
මෙම අවස්ථාවට පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් , හිටපු පළාත් සභා මන්ත්‍රි එස්.බී. රත්නායක යන මහත්වරු ද සහභාගී වූහ.