හෙරොයින් සමඟ 6 ක් හපුතලේ දී අත්අඩංගුවට


(සමන් පාලිත නානායක්කාර)

හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 9450 සමඟ සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු හපුතලේ දී අද (15) අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය පැවසීය.

සැකකරුවන් හපුතලේ  පන්සල පාර පදිංචි  එකම පවුලේ මව දියණිය සහ පුතා වන බව පොලිසිය පැවසීය.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුව හපුතලේ නගරයේ දී සැකකරුවන් දෙදෙනෙකු  හෙරොයින් මිලිග්‍රෑම් 1050 සමඟ මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු වලට අනුව ඔවුන්ගේ නිවෙස් වල  තිබූ තවත් හෙරොයින් මිලිග්‍රෑම් 5550 ක් සමඟ ඒවා සන්තකේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මත්කුඩු ජාවාරම කොළඹ සිට මෙහෙය වූ බව කියන පුද්ගලයකු හඳුනාගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් පොලිසිය කියයි. 

ජාවාරම සිදු කිරීමේදී මුදල් ගනුදෙනු කළ බැංකු ගිණුම් පොත් ද පොලිස් භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊසී කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති  බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

මොහු කාලයක් තිස්සේ  හපුතලේ ඇතුළු ප්‍රදේශ රැසකට මත්කුඩු බෙදාහැරීමේ නිරත ව සිටී  බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරුවන් හය දෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.