(රංජිත් රාජපක්ෂ)
හැටන් දුම්රිය ස්ථානය සතු ඉඩමක දිරාපත් වෙමින් තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා ගලවා ඉවත් කළ යකඩ තොගයක් දුම්රිය රාජ්‍යය අමාත්‍යය සි.බී රත්නායක මහතාගේ නියෝගයක් අනුව අද (24) ගොඩගෙන මහනුවර දුම්රිය අංගනය වෙත රැගෙන යාමට දුම්රිය බලධාරින් කටයුතු කෙරිණි.
හැටන් දුම්රිය ස්ථානය සතුව තිබු සුදු අධිරාජ්‍යයවාදින් විසින් ඉදිකරන ලද ගබඩා සංකීර්ණයක් මීට වසර 4 කට පමණ ප්‍රථම ගලවා ඉවත් කිරිමේදී එම ගබඩා සංකිර්ණය ඉදිකිරිමට උපයෝගී කරගත් යකඩ තොගයක් මෙලෙස දිරාපත් වීමට ඉඩ සලසා තිබේ.
ටොන් ගණනක් පමණ බර ඇති මෙම යකඩ තොගය දුම්රිය දෙපාර්තුමේන්තුව මගින් ටෙන්ඩර්පත් කැඳවා අලෙවි කර තිබුණේ නම් දුම්රිය දෙපාර්තුමේන්තුවට විශාල ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබු බව හැටන් දුම්රිය ස්ථානයේ සේවකයෝ පවසති.
හැටන් දුම්රිය ස්ථානයේ හදිසි නිරික්ෂණ චාරිකාවක පසුගිය දා එක් වූ දුම්රිය රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා විනාශ වෙමින් තිබූ යකඩ තොගය පිළිබඳ අවධානය යොමු කර වහාම එම යකඩ තොගය හැටන් දුම්රිය ස්ථානයෙන් ඉවත් කරන්නැයි කළ නියෝගයක් මත දුම්රිය බලධාරින් විසින් ඒවා ඉවත් කර ඇත.
බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් මෙලෙස දිරාපත් වෙමින් තිබූ යකඩ තොගය ගොඩගෙන දුම්රිය වැගනයකට පටවා රැගෙන යාමට සුදානම් කර තිබේ.
දුම්රිය දෙපාර්තුමේන්තුව සතුව මෙසේ ගලවා ඉවත් කළ තවදුරටත් නඩත්තු කටයුත්තක් සදහා භාවිතා කිරිමට හැකියාව ඇති සහ විකුණා දුම්රිය දෙපාර්තුමේන්තුවට ආදායමක් ලබා ගැනීමට හැකි යකඩ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ගණනාවක දිරාපත් පවතින බව දුම්රිය සේවකයෝ පවසති.




