හමුදා සාමාජිකයෙකු ලෙස පෙනී සිටි අයෙක් මත්කුඩු සමඟ දැලේ


(කුෂාන් ජයවර්ධන)

යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු ලෙස පෙනී  ව්‍යාජ පුද්ගලයකු මත්කුඩු මිලිග්‍රෑම් 250 ක් සමඟ අද (25) කැකිරාව පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැකිරාව පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුක් අනුව සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව එහි නිලධාරියෙකු සඳහන් කළේය.

සැකකරු මත්කුඩු සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව තෙළඹියගම ප්‍රදේශයේදීය.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ගලෙන්බිදුණුවැව නාමල්පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් බවත් මොහු වෘත්තියෙන් කරණවෑමියකු ලෙස කටයුතු කරමින් සිටින අයෙකු බවත් පොලිසිය කියයි.

පොලිස් අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ තිබී යුද හමුදා බුද්ධි අංශයේ යැයි සැලකෙන ව්‍යාජ රාජකාරි හැඳුනුම්පතක් ද පොලිසිය සොයා ගෙන තිබේ. 

සැකකරු සන්තකයේ තිබී සොයා ගන්නා ලද ව්‍යාජ හැඳුනුම්පත සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර යුද හමුදාව ද ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බව කැකිරාව පොලිසියේ නිලධාරියෙක් පැවසීය.