සමූපාකාර රෝහලේ වෛද්‍යවරයා ඉවත් කළාට වන්දි ගෙවන්න වෙයි


(උපාලි ආනන්ද)

අනුරාධපුර සමූපකාර රෝහලේ ස්ථාන බාර වෛද්‍ය නිලධාරිවරයා  එම තනතුරින් ඉවත් කිරීම නීති විරෝධි බව තීරණය කළ කම්කරු විනිශ්චයාධිකරණ සභාපති සහ අතිරේක මහේස්ත්‍රාත් මොනිකා ගුණවර්ධන මහත්මිය පැමිණිලිකරුට 2,90,000 වන්දියක් ගෙවනැයි අනුරාධපුර සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිතියේ කළමනාකාරිත්වයට නියෝග කළාය.

සීමා සහිත අනුරාධපුර විවිධ සේවා සමූපකාර සමිතියේ කළමනාකාරිත්වය  අයුක්ති සහගත  සහ අසාධාරණ අයුරින් තමා ඉවත් කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍ය ඩබ්ලිව්. අතපත්තු මහතා අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ අනුරාධපුර කම්කරු විනිශ්චයාධිකරණයේ සභාපති සහ අතිරේක මහේස්ත‍්‍රාත් මොනිකා ගුනවර්ධන මහත්මිය අනුරාධපුර සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිතියේ කළමනාකාරිත්වයට ඉහත නියෝග කළාය

අදාල වන්දි මුදල පැමිණිලිකාර වෛද්‍ය  අතපත්තු මහතාට ලබා ගැනීමට හැකි වන පරිදි මසක් ඇතුළත අනුරාධපුර සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයේ තැන්පත් කළ යුතු බව ද  වගඋත්තරකාර අනුරාධපුර විවිධ සේවා සමූපකාර සමිතියට  තවදුරටත් නියෝග කළාය.

අනුරාධපුර සමූපකාර රෝහලේ ස්ථාන බාර වෛද්‍ය නිලධාරි  අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ් අතපත්තු මහතා නීතිඥ යුරේකා පෙරේරා මහත්මිය මාර්ගයෙන් අනුරාධපර කම්කරු විනිශ්චයාධිකරණයට ඉදිරිපත් කල පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ලබා දෙමින් විනිසුරු මොනිකා ගුනවර්ධන මහත්මිය එම නියෝගය ලබා දුන්නාය.