සබරගමු සරසවියේ පීඨයක් පොලිතීන්වලින් තොර කලාපයක් කෙරේ


(අජිත්ලාල් ශාන්තඋදය සහ විශේෂ වයි.ඒ.එස්. වීරවංශ)
 
සබරගමු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන සහ පරිසර අහිතකර දෑ වලින් තොර කලාපයක් කිරීමේ පළමු පියවර තැබූ බව පීඨාධිපති ආචාර්ය අතුල ඥානපාල මහතා පැවසීය.
 
ඒ අනුව වරක් පමණක් භාවිතකරන පොලිතීන්, ප්ලාස්ටික් ජනවාරි පළමුවැනිදා සිට එම පීඨය තුළ භාවිතා කිරීම නවතා දැමූ බව ද පීඨාධිපතිවරයා පැවසුවේය.
 
පීඨාධිපති ආචාර්ය අතුල ඥානපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි දිරා නොයන ප්ලාස්ටික් පිටුදැකීම ආරම්භ කළ ලංකාවේ විශ්ව විද්‍යාල පීඨ අතරින් පළමුවැන්න සබරගමු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය බවයි.
 
මේ වසර අවසානය වනවිට සියලු ප්ලාස්ටික් සහ පොලිතින් ඉවත් කර හරිත පීඨයක් බවට පත් කරන බවද පීඨාධිපතිවරයා  කීවේය.
 
කළමනාකරණ පීඨයෙන් ‘පරිසර හිතකාමී ව්‍යාපාර කළමනාකරණය’ නමින් සිව් අවුරුදු නව ව්‍යාපාර අධ්‍යයන පාඨමාලාවක්ද ආරම්භ කර ඇති බව පැවසූ පීඨාධිපතිවරයා ඒ තුළින් පරිසර හිතකාමී, පොලිතීන් ප්ලාස්ටික්වලින් තොරව ව්‍යපාර පවත්වාගෙන යන ආකාරය උපාධි අපේක්‍ෂකයන්ට උගන්වන බව ද කීවේය.