( තිළිණි ද සිල්වා )
මේ වනවිට පැතිර යන මෙම වසංගතය හේතුවෙන් ලෝකය පුරා සංචාරක කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්වීම ලංකාවටද බලපා ඇති බැවින් සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ තමන්ට සහන සලසන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කොරෝනා වසංගතය පාලනය වීමත් සමඟ සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවත් , එහිදී ක්ෂේත්‍රයේ නිරතව සිටින අයට සහන ලබා දීම සඳහා ඉදිරියේ දී කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නංවාලීමට රජය කඩිනමින් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දේ.
ඉකුත් පෙබරවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් සංචාරකයින් 207,507 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එම සංඛ්‍යාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 252,033 ක්වූ සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී සංචාරකයින් මෙරටට පැමිණීම 17.7% ක අඩුවී ඇතැයි ද එම අධිකාරිය පැවසීය.
පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදා මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් ද මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අතර ඉන්පසුව සුළු හා මධ්‍ය පරිමාණ හෝටල් ව්‍යාපාරිකයන්, සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ට විවිධ සහන ලබා දීමට පියවර ගැණින.
සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබා දීම, ලීසිං පහසුකම් යටතේ ලබා ගත් සංචාරක බස් රථ වලට ලීසිං පහසුකම් ගෙවීමට සහන කාලයක් ලබා දීම රජය පියවර ගෙන තිබිණි.