ශිෂ්‍යත්වය සමත් දරුවන් පෝෂිත පාසල්වලට ගන්නැයි මාතර උද්ඝෝෂණයක්


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


මාතර වෙහෙරගම්පිට ඕල්කට් විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් පෝෂිත පාසල් වලට ඇතුළත් කර ගන්නැයි ඉල්ලා දෙමාපියන් පිරිසක් තම දරුවන් ද සමඟ මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය තුලට කඩා වැදීමත් සමග  අද  (12) එම විද්‍යාලය තුළ  දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.
 
එම පිරිස පාලනය කිරීමට මාතර පොලීසියේ නිලධාරීන්ද කැදවීමට සිදු විය.
 
 මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 145 සීමාව පසු කළ සිසුවියන් සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබුණි.
 
ඒ අනුව එම ලකුණු සීමාව පසු කල දැරියන් පාසලට ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණය ද අද  (12) පැවැත්වීමට නියමිතව තිබු අතර මෙම සිද්ධියත් සමග එම සම්මුඛ පරීක්ෂණය ද අවලංගු කිරීමට සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී එස්. සිරිබද්ධන මහත්මිය කටයුතු කළාය.
 
විරෝධතාවයේ නිරත දෙමාපියන් හා දරු දැරියන් පැය දෙකකට වැඩි කාලයක් එම විද්‍යාලයේ විදුහල්පති කාර්යාලයේ දොරටුව අවහිර කර ගෙන උද්ඝෝෂණය කළහ. 
 
පොලීසිය ඔවුන් ඉවත් කිරීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.
 
පසුව එම ස්ථානයට මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන මහතා හා මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා හර්ෂණී ආරියරත්න මහත්මිය පැමිණියහ.
 
ඔවුන් දෙපාර්ශ්වය සමග සාකච්ඡා කර අවසානයේ එකඟතාවයකට පැමිණියේය.
 
ඒ අනුව 06 ශ්‍රේණිය සදහා පෝෂිත පාසල් වලට ලමුන් ඇතුලත් කර ගැනීම තාවකාලිකව නතර කරන බවටත් අසාධාරණයට පත් දරුවන් වෙනුවෙන් අභියාචනා ලබා ගෙන සාධාරණයක් ඉටු කර දෙන බවටත් මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා හර්ෂණී ආරියරත්න මහත්මිය පොරොන්දු වීමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.